Feedback

Week of ජූලි 16, 2020

ප්‍රශංසනීයයි ගත් තීන්දුවට
ජූලි 16, 2020 ~ සරත් රණසිංහ ~ මාළිද

පසුගිය වසර කිහිපය තුළ හිතුමතේ නවතා දමන ලද ජාතික ගුවන්විදුලියේ වෙළෙඳ සේවයෙහි ප්‍රචාරය වූ මතකයේ රැඳුණ ගී සහ ගී නිම්නාදය, අමරණීය ගී නැවත ප්‍රචාරය කිරීම පිළිබඳව වර්තමාන සභාපතිතුමාටත් මෙයට අදාළ නිලධාරීන්ටත් අපගේ භක්ති ප්‍රණාමය පුද කර සිටිමු.

 

 

ශලනි තාරකා රංගනය අපූරුයි
ජූලි 16, 2020 ~ නිමල් කුලසේකර ~ අඟුලාන

ගිරිදේවි ටෙලි නාට්‍යයේ ආශාගේ චරිතය තුළින් අප හමුවට එන ශලනි තාරකාගේ රංගනය ඉතාමත් අපූරුයි. ඇය එම චරිතය මැනවින් තේරුම් ගෙන රඟපා ඇත.

ඉදිරියේදී හිතට දැනෙන මෙවන්  චරිත රඟපෑමට ඇයට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

ශලනි තමන්ට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස ද වැඩි කරගෙන ඇත. ඇගේ රංගනය නිසාවෙන් දක්ෂ චරිතාංග නිළියක් බව ඇය තවදුරටත් පසක් කර ඇත. ශලනි තාරකා කලා ලොවේ සැබෑම තාරකාවකි. 

 

ඇගයුම් පැසසුම් ලැබූ සිබිල්
ජූලි 16, 2020 ~ රෝෂිනී ඩිල්රුක්ෂි ගෝමස් ~ මොරටුව, කටුබැද්දේ

සිබිල් නැන්දා උපන්නේ 1928 ඔක්තෝබර් 31 වෙනිදාය. අඛණ්ඩව වසර 70 පමණ චිත්‍ර ශිල්පිනියක්, ලේඛිකාවක් ලෙසින් අප සාහිත්‍ය ලෝකයට සේවයක් කළාය. කලා කීර්ති සිබිල් වෙත්තසිංහ දෙස්, විදෙස් සම්මාන රැසක් ලැබීය. පළ කර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 200 ටත් අධිකයි. සුන්දර ළමා කතා රැසක් ළමා ලෝකයට තිළිණ කළාය. 70  දශකයේ දී සරසවියට කුසුමලතා රචනා කළාය. ලේක්හවුස් ආයතනයේ ඇයගේ සේවය වසර 28 කි. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර ධර්මපාල වෙත්තසිංහ සමඟ විවාහ වූ ඇයගේ කුඩ හොරා කතාව ලෝකයෙන්ම තෙවැනි ස්ථානයට පත් විය. 2003 දී සාර්ක් සම්මානය ඇයගේ දුවන රැවුලට හිමි වුණා. ඇයට නිවන් සුව පතමි.

 

 

ජාතික ගුවන් විදුලියට මල් මිටක්
ජූලි 16, 2020 ~ චන්ද්‍රලතා හපුආරච්චි ~ මණ්ඩාවල

අතීතයේ සිට අපට තිබෙන එකම සම්පත නම් ජාතික ගුවන්විදුලි සේවයයි. එය ද වෙළඳ සේවය හා ස්වදේශීය සේවය වශයෙනි. අරුණැල්ලේ සිට සෙත් පිරිතෙන් පටන් ගෙන බුදු බණ, දහම් විසුරුවා හරිමින් එදා සිට මේ දක්වාම මහා පර්වත රාජයකු  සේ විරාජමානව ලක්වැසි අප හට විශාල මෙහෙවරක යෙදෙමින් සිටී. මේ සේවා දෙකේහි  සිට අපව අමතන්නෝ ද තම වාග් මාලාව ඉතා සංවරව, සන්සුන්ව තබා ගැනීම ගැන ද මගේ, අපේ සතුටට හේතුවක් වී ඇත.

 

සරලව දිවි ගෙවන තනිකඩයා
ජූලි 16, 2020 ~ ඩඩ්ලි ගෝමස් ~ මොරටුව

ප්‍රසංග වේදිකාවේ ගායකයෙක්, නළුවෙක්, කැමරා ශිල්පියෙක්, අංශ කිහිපයක්ම නියෝජනය කරන දයාන් විතාරණයන් සද් ක්‍රියාවන්ට පූර්ණ සහයෝගය දෙමින් අසරණයන්ට පිහිට වන චාම් ඇඳුමින් සැරසී ගත් සරල යහපත් කලාකරුවෙකි. 2002 දී සුසුම් පවන් සලයි සංගීත තැටිය එළිදක්වමින් ගායන ලෝකයට පිවිසුණි.  වැටෙන් එහා ගීතය ගැයීමෙන් පසුව ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙකු විය.

මෙම අති දක්ෂ කැමරා ශිල්පියාගේ කැමරාවට හසු  නොවුණ  සිනමාවේ නළුවෙකු, නිළියක නොමැති තරම්ය. එසේම ඒවා සියල්ල ජීවමාන ස්වරූපයක් ගනී. දයාන් විතාරණ වැනි ප්‍රබුද්ධ කලාකරුවෙකු රටට ආදර්ශයකි. ඔබට නිදුක් නිරෝගී බව ලැබේවායි මම ඉත  සිතින් පතමි.

 

සමුගත් සිබිල් නැන්දා
ජූලි 16, 2020 ~ ඉඹුල්ගොඩ අබේසිංහ ශ්‍රියානි ජයසිංහ ~ අලව්ව

දශක ගණනාවක් තිස්සේ ළමා මනසට ළමා ලෝකයට අපූරු රසවත් කතාන්දර ලියමින් චිත්‍ර ඇන්ද ඇය සිබිල් වෙත්තසිංහ නම් අපූරු ශිල්පිනිය ළමයින් සමඟ අප ද අතහැර ගොස් ඇත. මෙවන් ශිල්පිනියක් යළි අපට කවදා හමුවේවිද කියා කිව නොහැකිය. ඇයට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

 

වසන්ගතයේ සමුගත් කලාකරුවෝ
ජූලි 16, 2020 ~ සුසිලා පතිරාජ ~ උස්වැටකෙයියාව

ලොවේ පවත්නා වසංගතකාරී කාලය තුළ අප සැමගෙන් වෙන් වූ තිස්ස නාගොඩවිතාන, ජයන්ත රත්නායක, ශ්‍රීලාල් අබේකීන්, තිස්ස විජේසුරේන්ද්‍ර ඇතුළු මෙලොව හැරගිය අනෙකුත් කලාකරුවන්ගේ අභාවයන් වෙනුවෙන් රසික අපගේ සාතිශය සංවේගය මෙසේ සටහන් කරමු.

ඔබ සැමට නිවන්  සුව.

 

සේනාධීර ඇගැයූ ජාතික රූපවාහිනියට
ජූලි 16, 2020 ~ ජගත් චන්ද්‍රසිරි පූජා ජගත්සිරි ~ පස්යාල

 ‘ජීවිත සටන’ චිත්‍රපටයෙන්  සිංහල සිනමාවට පිවිසි සේනාධීර රූපසිංහ නම් ප්‍රතාපවත් රංගනවේදියා අපේ සිනමාවටට කළ මෙහෙය ගැන කිසිදු අගැයීමක් ඔහු ජීවත්ව සිටියදීවත් ඔහු මිය යාමෙන් පසුවත් සිදු  නොවූ බව සේනාධීර රූපසිංහයන්ට ආදරය කළ රසික ප්‍රජාව දනී. එහෙත් පසුගිය දිනෙක අපේ ජාතික රූපවාහිනිය ඔහුව අගය කළ ‘ආලකමන්දාව‘ වැඩ සටහන ඉතා අනගි වැඩ සටහනක්  වූ බව අවිවාදයෙන් පැවසිය හැකිය. කිසිදා යටපත් කළ නොහැකි ඔහුගේ රුව, ඔහු රඟපෑ චිත්‍රපට කොටස් ද සමඟින් එය ඉදිරිපත් කළ ආකාරය හරි අගේය. හරියට බලා සිටියා වගේ ඔහුගේ පවුලේ ජීවන  තොරතුරු ඔහුගේ දියණිය ද සමඟින් එක්ව මාධ්‍යවේදී ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා ගෙනහැර පෑවේ පුදුම සහගත  ලෙසය. කාහටත් අමතකව සිටි ඒ  සොඳුරු රංගනවේදියා ගැන ජාතික රූපවාහිනිය කළ අමිල මෙහෙයට සේනාධීර රසික ප්‍රජාව මෙන්ම ඥාති අපගේ ද උපහාරය පිරිනමමු.

 

 

වියැකුණ කූජනය
ජූලි 16, 2020 ~ රියර් අද්මිරාල් (විශ්‍රාමික) පාලිත වීරසිංහ ~

මිදුලේ අඹ  ගසක වැසු කෝකිලයෙකු හඬින් ගයන

කූජනයට වශී වුණෙමි සරිගම රස මිහිර මැවෙන

දැයක් නිබඳ මන්මත් කළ කොවුලිඳු ගී සර වියැකුන

සිහිවින ඒ අසුබ පුවත ගී ලොව උඩු යටිකුරු වුණ

අත්පොත්  තැබුවෝ කවුුද ගී ගයනට කොවුලකු හට?

ගැයුණ මියුරු ගී රාවෙකි ලිහිණි-ගිරා හඬ යට කොට

ආදර, සිරිඟර, සෝබර නෙක ගී සර පෙරදැරි කොට

මැවී මහරු ගී සෑයක් තැබූ රසික ආදරයට

‘දීපශිඛා’ සම්මානය සුරතින් ගත් පින්තූරය

තරු අතරට තරුවක් විය මන පිනවන පරිනාහය

‘මොහමද් රාෆිට‘ සම කළ ‘එල්විස්’ වන් ශෘංගාරය

මිනිසෙක් විය සැම කලෙකම පළ කළ නිරහංකාරය

ගායකයෙකි අඳුනාගත් උපතින් සර සප්තකයම

නායකයෙකි ගී තරු මැද පොබ කළ ගී මංචකයම

‘හදවත්-රත්තරන්’ කියා පටබැඳගත් නමක මහිම

‘පෙරළුණ බලකණුව‘ ඔහුය ගී සිරිතක රැඳුණ අරුම

ඔහු ගී ගැයූ වසර ගණන - මියැද ගෙවුණු වසර ගණන

දැන් සම - සම වී ඇතිමුත් කෝ වෙන හඬ ඔහු පරදන?

අදත් එදා මෙන් හදබැඳි ගී රාවය පිළිරැව් දෙන

ජෝතිමත්ව සවන රැඳේ කොවුල් සරින් මන්මත් වුණ

 

ගී ලොව සක්විති ජෝති 

ආදරණීය ජෝති ඔබ මිය ගොස් වසර 33 කි. මිනිසත්කම උතුරා පිටාර ගලා ගිය මිනිසෙක් සිටියා නම් ඒ ඔබ පමණයි. ඇසෙන ඇසෙන ගීතයක් පාසා තාම ජීවත් වෙලා ඉන්නවා කියලා හිතෙනවා. ගී ලොව සක්විති කලා ලොව මිනිපහන ඔබමයි ජෝති!

අතුල රම්‍යසිරි

පානදුර

සුපර්ණා බලන්න දෙන්න
ජූලි 16, 2020 ~ පාලක සමන් පෙරේරා ~ හැඳල අල්විස් ටවුම පාරේ

කොරෝනා උවදුර අප රටට බලපෑ විට ලොක්ඩවුන් කිරීමට අවස්ථාව දී සෑම සිනමා ශාලාවක් වසා දැමීමට සිදු වූවා. එය වසා දමන විට දුලීකා මාරපනගේ ‘සුපර්ණා’ චිත්‍රපටය ප්‍රදර්ශනය අඩපණ වූ බැවින් ප්‍රේක්ෂකයන් හට එය නැරඹීමට නොහැකි වූවා. මේ වන විට සිනමා ශාලාවන් විවෘතව ඇති බැවින් නැවත ‘සුපර්ණා’ චිත්‍රපටය නැරඹීමට සිනමා ශාලා තුළ දී අවස්ථාව දෙන මෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිමි.

 

ස්වාධීන රූපවාහිනී නාළිකාවට
ජූලි 16, 2020 ~ විමලසේන හපුතන්ත්‍රි ~ අත්තනගල්ලේ

කලකට ඉහතදී විකාශය වූ හරවත් වූ ටෙලි නිර්මාණ නැවතත් විකාශය කරමින් නව සභාපති සුදත් රෝහණ මහතා විසින් ගන්නා ලද පියවර අගය කරනු ලබන අතර ඒ සඳහා වෙහෙසෙන  සියලු දෙනාට ශුභාසිංසන පිරිනමමි.

 

රඟන රැඟුම් තාත්විකයි දුලීකා
ජූලි 16, 2020 ~ කෙනත් පෙරේරා ~ ජාඇල

සෑම චරිතයක්ම දක්ෂ ලෙස රඟපාමින් අප නෙත් පින වූ දුලීකා මාරපන ඔබ යම් චරිතයක් කරද්දී අවස්ථාවට උචිත පරිදි මුහුණින් හැඟීම් ප්‍රකාශ කිරීම ඉතාමත්ම තාත්විකයි. ඔබ මෑතකදී රඟපෑ ‘සුපර්ණා’ චිත්‍රපටයේ රඟපෑම් ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ඔබට මගෙන් සුභපැතුම්.

 

සිනහව ඉතිරි කළ මර්සි
ජූලි 16, 2020 ~ සරත් සේනාධීර ~ ජාඇල

මඩේ ලගින තාරාවන් නාවන්නද මං ගීතය ඇසුණු විටදී අප මතකයට නැගෙන්නේ විකට නිළිය මර්සි එදිරිසිංහයි. වේදිකා නාට්‍ය කිහිපයක රඟපෑ මර්සි වඩාත් ප්‍රේක්ෂකයන් අතරට ආවේ ඇනස්ලි, බර්ටි, සැමුවෙල් යන විකට තුන් කට්ටුව ඉදිරිපත් කළ විනෝද සමය තුළිනි. මුවන් පැලැස්ස, හන්දිය ගෙදර ගුවන් විදුලියේ හඬ කවන ලද මර්සි චිත්‍රපට රාශියක විවිධ චරිත නිරූපණය කළාය. මර්සි අප අතරින් සදහටම සමුගෙන වසර හයකි. සිනහව ඉතිරි කළ අප අතහැර ගියත් ඔබේ රුව, හඬ තාමත් මතකය. 

 

විශ්ව කෝෂයක් බඳු එඩ්වින් ආරියදාස ශූරීන්ට
ජූලි 16, 2020 ~ එච්. ඉන්ද්‍රපාල ~ මුංහේන

දේශහිතේශී කලා කීර්ති ශ්‍රී එඩ්වින් ආරියදාස  සූරීන්ට හිමි වන්නේ ගෞරවනීය ස්ථානයකි. දෙස් විදෙස් තුළ පවත්නා සමාජ දේශපාලන සංස්කෘතික විද්‍යා නාට්‍ය සහ නානාවිධ විෂය සඳහා එතුමා සතු දැනුම විශ්ව කෝෂයක් බඳුය. දේශීය සහ විදේශීය සිනමාව ගැන හසළ අවබෝධයකින් පිරිපුන් එතුමා මෙරට ප්‍රධාන සිනමා සම්මාන උලෙළවල සාමාජිකයකු ලෙස කළ මෙහෙය නිම කළ නොහැකිය. ලේඛන කලාවට එතුමා රුසියෙකි. දැනුමින්  සපිරි එතුමා මහා ප්‍රාඥයෙකි. ලක් දෙරණ තුළ පරමාදර්ශී චරිතයක් වූ එඩ්වින් ආරියදාස ශූරීන්ට අප සැම එක්ව චිර ජීවනය සහිත දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

 

Week of ජූලි 16, 2020