Feedback

Week of සැප්තැම්බර් 10, 2020

ලතා මංගේෂ්කාර්ට සුබ උපන් දිනයක්
සැප්තැම්බර් 10, 2020 ~ ඩඩ්ලි ගෝමස් ~ මොරටුව, කටුබැද්දේ

භාරතීය ගිත කෝකිලාව වූ ලතා මංගේෂ්කාර්ගේ නාමය ජනප්‍රිය වූයේ ‘මහල්’ සිනමාපටයේ එන ‘අයෙගා ආයෙ බාලා’ ගීතයේ මාධුර්යය සමඟිනි. මුලදී ඇය අපගේ රුක්මණී දේවිය මෙන් ගයන ගමන් රඟපෑමෙහි ද නිරත විය. ඇය උපන්නේ 1929 සැප්තැම්බර් 28 වෙනිදාය. භාරතයට සම්පතක් වූ ඇය  වැඩිම ගීත ගණනාවක් පටිගත කළ ගායිකාව වශයෙන් 1974 දී ගීනස් වාර්තාවක් තැබුවාය. සුවහසක් සිත් සතන් තම හඬින් සැනසූ එතුමියට නිදුක්, නිරෝගි සම්පත ප්‍රාර්ථනා කරමි.

මොරටුව, කටුබැද්දේ

ඩඩ්ලි ගෝමස්

රොබින් ප්‍රනාන්දුට

ඕනෑම චරිතයක් ගැඹුරු අර්ථ සම්පාදනය වන ආකාරයේ සංයමයෙන් හා ශික්ෂණයෙන් යුතුව රඟපෑ හැකි නළුවෙක් ලෙස ප්‍රකට රොබින් ප්‍රනාන්දු තමන්ටම ආවේණික  සටන් ක්‍රමයක් ලාංකික සිනමාවට දායාද කරන ලද නළුවෙකි. ඒ වගේම සටන් අධ්‍යක්ෂවරයෙකි. ඔහු ලාංකික සිනමාවේ පායන ලද දිදුලන තරුවකි. ඔබට චිරං ජයතු.

ප්‍රේමසිරි නාරසිංහ

මාතර

පෙම් කුමරා ඔබයි

සදා නොමියෙන රංගනයෙන් එදා හන්තානේ සිතුවම්පටයෙන් සිනමාවට පිවිසි විජය කුමාරතුංගයනි, අදටත් ඔබේ අඩුපාඩුව සිනමාවට බෙහෙවින් පෙනේ. එදත් අදත් සිනමා දිවියේ කැපී පෙනුණ පෙම් කුමරා ඔබයි.

එච්. ඩී. වසන්ත කුමාර

මග්ගොන 

ලකී ඩයස් කලාවෙන් දුරස් වෙලාද?

එදා  අනූව දශකයේ සුනිල් ආරියරත්නයන්ගේ වජිරා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ලකී ඩයස් අද  කලා ලොවෙන් ඈත් වෙලාදෝ කියලා අපට සිතේ. එදා නිරූපමාලා ටෙලි නාට්‍යයෙන් ප්‍රකට කළ රංගන කුසලතාවය අමතක කළ නොහැකිය.

සංක්‍රාන්ති සමය, ඉරට අඬන මල්, හිමි අහිමි ටෙලි නාට්‍ය තුළින් රසික  හදවත් ඇද බැඳගත් ලකී ඩයස් අහිංසා, කුල ගෙදර, මධුසමය, පාර දිගේ, සිරි මැදුර චිත්‍රපට තුළින් කළ රංගන ප්‍රතිභාව අදටත් ප්‍රේක්ෂකයන්ට අමතක නොවේ.

ඉඹුල්ගොඩ අබේසිංහ

ශ්‍රියානි ජයසිංහ

අලව්ව   

 ‘මතක ස්වර’ හරිම අගෙයි

 ‘ස්වර්ණවාහිනී’ නාළිකාවෙන් දිනපතා උදෑසන 8.00 - 8.30 දක්වා විකාශය කරන ‘මතක ස්වර’ සංගීතමය වැඩ  සටහන මඟින් ලංකාවේ 60-70-80-90 යන දශකවලදී ජනප්‍රිය වූ ගායකයකු හෝ ගායිකාවක මැදිරියට ගෙන්වා අතීත තොරතුරු මතකයට නංවා දෙමින් තමාගේ රසවත් ගීත පෙළක් ගැයීමට අවස්ථාවක් සලසා දී ප්‍රේක්ෂකයින් මන්මත් කරන අගේ ඇති වැඩසටහනකි.

කෑගල්ලේ තටාකය පාරේ 

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල 

ශ්‍යාම්ගේ පැමිණීම සුවිශේෂයි

ප්‍රතිභාන්විත නළුවන් හිඟ මෙවන් කාලයක ශ්‍යාම් ප්‍රනාන්දු නම් රංගන ශිල්පියාගේ සිනමා සම්ප්‍රාප්තිය සැබැවින්ම සුවිශේෂිතය. මෑතකදී ඔබ රඟපෑ ‘ඇවිලෙන  සුලුයි’ චිත්‍රපටයේ සංකීර්ණ රංගනයක් ඉදිරිපත් කරමින් මෙරට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ අවධානයට පාත්‍ර වීම සතුටට කරුණකි. ශ්‍යාම් ඔබට මගෙන් සුභපැතුම්.

කෙනත් පෙරේරා

ජාඇල 

සමුගැන්ම විශාල පාඩුවක්

අපට කියවීමට තව තවත් ආරාධනයන් එක් කරමින් පැණි වළලු තීරු ලිපිය සෑම සතියකම නැවුම් රසයක් අලුත් හැඟීමක් නොඅඩුව අත්කර දෙමින් සිටී. ජපානයේ ශ්‍රී ලංකා තානාපතිව සිටි මහාචාර්ය ගංගානාත් දිසානායකයන්ගේ වියෝවීම අප සැමට මෙන්ම රටට ද සිදු වූ විශාල පාඩුවකි. එතුමන්ගේ සමුගැනීම ගැන  රසික අපගේ කනගාටුව.

සුසිලා පතිරාජ

උස්ටැටකෙයියාව 

ප්‍රේක්ෂක අප අන්දුන් කුන්දුන්

දැනට විකාශය වන සමහර හොඳ ආරම්භයක් ඇති ටෙලි නාට්‍ය හිටි හැටියේ අවසාන වන්නේ නොසිතන ආකාරයටය. ‘බිතු සිතුවම්’ ටෙලි නාට්‍ය ඊට හොඳම උදාහරණයකි. අතරමඟදී සමහර චරිත වෙනස් වී වෙන නොගැළපෙන අය ඒ චරිත කිරීමට පටන් ගෙන නාට්‍ය ‘කා’ දමයි. හිටි හැටියේ අලුත් චරිත මතු වේ.

 ‘ඇය’ ටෙලි නාට්‍යයට ද එම ඉරණම උදා වී ඇත. ඒ නිසා ප්‍රේක්ෂක අප අන්දුන් කුන්දුන් වී ඇත.

මානෙල් චන්ද්‍රසේන

බොරැල්ල 

 ‘ක්වින්ස්’ දෙන්න ගාල්ලට

එදා සිලෝන් තියටර්ස් සමාගමට අයත්ව තිබූ ගාල්ල නගරයේ ක්වින්ස් සිනමාහල වසරකට වැඩි කාලයක සිට වසා දමා ඇත. අලුත්වැඩියාවක් ද නොපෙනේ. 80 දශකයේ ක්වින්ස්, සරසවි, ප්‍රින්ස්, ප්‍රින්සස් වශයෙන් ගාල්ලට සිනමා ශාලා හතරක් තිබුණි. අද එය ප්‍රින්ස් සිනමාහලට පමණක් සීමා වී ඇත. එදා එම සිනමා ශාලා හතරෙහිම එක විට චිත්‍රපට පෙන් වූ අතර පෙන්වන චිත්‍රපටය අනුව අති  සාර්ථක ආදායම් වාර්තා ද තැබීය. දකුණු ලක අග නගරය වන ගාල්ලට එක සිනමා ශාලාවක් පමණක් තිබීම බලවත් පාඩුවකි. හැකි ඉක්මනින් අප හට ක්වින්ස් සිනමා ශාලාව ලබා දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

කල්‍යාණ ජයනෙත්ති

උණවටුන

 පැරණි චිත්‍රපට නැද්ද පෙන්වන්න  

1970 ව දශකයේ හිටපු දක්ෂ අධ්‍යක්ෂවරුන් වන ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ජේ. සෙල්වරත්නම් වැනි අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දකින්නට බලාපොරොත්තු වෙමි. හිරු නාළිකාවෙන්, දෙරණ නාළිකාවෙන් හෝ වෙනත් නාළිකාවලින් සිංහල පැරණි චිත්‍රපට අද දක්නට නැත. ඒ ගැන අපේ කනගාටුව. විදේශ චිත්‍රපට පමණක් දවල්ට විකාශය කරන්නේ ඇයිද යන්න ගැටලුවකි.

ගල්ගමුවෙන් රසික පිරිසක්

ගීතානි, කාන්ති, වීනා ප්‍රදීපා ඔබ කදිම ආදර්ශයකි

කිසිදු අනුන්ගේ ගීතයක් නොගැයූ ප්‍රදීපා ධර්මදාස තම ස්වතන්ත්‍ර නිර්මාණවලින් මෙතෙක් ආ ගමන් මඟ දෙස ආපසු හැරී බැලීමෙන් අපට පෙනෙන්නේ අනුන්ගේ ගීත ගයා ජනප්‍රියවීමට දඟලන වර්තමානයේ ඇතැම් නව පරපුරේ ගායිකාවන්ට ඔබ කදිම ආදර්ශයන් බවයි. ඒ වගේම ඔබේ උගත්කම, සංවර බව, නිහතමානිකම අගය කළ යුතුයි. වෙනත් ශිල්පිනියන්ගේ ගීත නොගයන ඔබේ ගීතවලින් සිංහල සංගීත  ක්ෂේත්‍රයට කරන මෙහෙවරට මාගේ ගෞරවය පුද කරමි.

ජයන්ත අමරතුංග

පොළොන්නරුව 

පැරැණි සිංහල චිත්‍රපට කෝ?

1970 දශකයේ තිරගත වූ සිංහල පැරණි චිත්‍රපට දැන් හිරු නාළිකාවේවත් දෙරණ නාළිකාවේවත් දැකගන්නට නොමැත. ඒ ගැන අපේ බලවත් කනගාටුව. ගාමිණී, විජය, ටෝනි, ජෝගේ චිත්‍රපට දැන් පෙන්වන්නේ නැත්තේ ඇයි? අපි වගේ පරණ රසිකයෝ තවමත් ජීවත්ව ඉන්නා බව මතක් කරන්නට කැමැතියි. එදා තිරගත වූ චිත්‍රපට සුසී, ආත්ම පූජා, කළු දිය දහර, රෝමියෝ ජුලියට්, හොඳයි නරකයි, මේ වගේ පරණ චිත්‍රපට දහවල් 1.00 ට පමණ අපි හිරු නාළිකාවෙන් හෝ දෙරණ නාළිකාවෙන් දැකගන්නට ආසයි.

ශාන්ති මානෙල්

කැකිරාව 

චුලක්ෂි රණතුංගට

මෑත කාලයේ ලොවේ විවිධ ඉසව් සොයා යන නව පරපුරේ නිළියක් වශයෙන් චුලක්ෂිව හඳුන්වා දිය හැකිය.

දක්ෂ නිරූපණ ශිල්පිනියක්, රූප රැජිනක් ලෙස ප්‍රකට කළ ප්‍රතිභාවම ඇයට සිනමාවේ දොරගුළු විවර වීමට හේතු සාධක විය.

මෑත කාලයේ ඇය රඟපෑ චරිත අතර විජයබා කොල්ලය චිත්‍රපටය අපිට සිහි වෙයි. ඉදිරියේදී තිරගත වීමට නියමිත මිදුණ විශ්වය, ශ්‍රී වික්‍රම යන චිත්‍රපටවලින් ඇයගේ හැකියාව වඩ වඩාත් අපට දැක ගත හැකි වනු ඇත. ක්ෂේත්‍රයේ දිගු ගමනකට ඔබට සුභපැතුම්.

ඩබ්. කේ. මොහාන්

මහවැලි සී කලාපය

උදාරි පෙරේරාට

මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වූ ඉතාමත්ම ආකර්ෂණීය නිළියක් වශයෙන් උදාරි පෙරේරා හඳුන්වා දිය හැක.

උදාරිගේ හැකියාව අංශ ගණනාවක්ම වටා නිර්මාණය වී තිබේ. රූ රැජිනක් ලෙස ක්ෂේත්‍රය ජය ගත් ඇය බහුවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ චරිතයකි.

චිත්‍රපට නිළියක වශයෙන් ඇය ඉදිරියේදී මිස් ජෙනිස් චිත්‍රපටය හරහා අපට දැක ගත හැක. මීට අමතරව ඇය විවිධ විනිශ්චය මණ්ඩලවල සාමාජිකාවක් වශයෙන් ද කටයුතු කරනු ලැබේ. දක්ෂතා රැසක් උරුම කර ගත් උදාරිගේ කලා කටයුතු ද රටට දායාද කිරීමට කාලයයි මේ.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය 

 

අනු ශූරතාව දිනූ මිල්ටන් මලවිට

මෙවර දෙරණ 60 + තරඟාවලියේ අනු ශූරතාවය දිනාගත් සරසවි රසිකයෙකු වූ මිල්ටන් මලවිආරච්චිට සුබපැතුම්.

දයාරත්න ගනේගොඩ

කැලණිය

මතක ස්වරට කාලය මදි

ස්වර්ණවාහිනිය මඟින් සතියේ දින 05 තුළ උදෑසන 8.00 ට ප්‍රචාරය කරන මතක ස්වර වැඩ සටහනට ගෙන එන ඇතැම් ගායක / ගායිකාවන්ට ලබා දෙන කාලය නම් කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ප්‍රේක්ෂකයන් අසීරුතාවයට පත් කර එය රස විඳීමට බාධා වන අයුරින් කාලය අඩු කර කප්පාදු කර දැමීම ගැන ඇත්තේ කනගාටුවකි. එක් කලා ශිල්පියෙකු වෙනුවෙන් විනාඩි 45 ක් වත් වෙන් කරන්නේ නම් වඩා හොඳය. 

නෙත්මී චමත්කා බංඩාර

පොළොන්නරුව

 

ප්‍රවෘත්ති අතර දැන්වීම් හිසරදයක්

ගුවන්විදුලිය, රූපවාහිනිය එක දිගට තොරතෝංචියක්  නොමැතිව වෙඳෙ දැන්වීම් ප්‍රචාරය කරන බව පෙනේ. එය අපට නරඹන අසන ප්‍රේක්ෂකයන්ට, ශ්‍රාවකයන්ට මහත් හිරිහැරයකි. තවද ගුවන්විදුලි සංස්ථාවත් ප්‍රවෘත්ති විකාශනයේදී එක එක අනුග්‍රාහකයන් ඉදිරිපත් කොට ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමෙන් ප්‍රවෘත්තිවලට අවධානය යොමු කර සිටින අපට හිසරදයකි.

ආතර් ජයකොඩි

බෙලිහුල්ඔය

Week of සැප්තැම්බර් 10, 2020