දැලක පැටළුණු යුවතිය

නොවැම්බර් 8, 2018

The Girl in the Spider's Web

 

ත්‍රාසය රැගත් අපරාධමය චිත්‍රපට නැරඹීමට කැමැත්තක් දක්වන්නන්හට අලුත්ම සිනමාපටයක් හොලිවුඩ් රිදී තිරයේ දිගහැරෙන්න නියමිතයි. The Girl in the Spider's Web  නමින් එය හෙට (නොවැම්බර් 09) වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ කෙරෙනවා. The Girl in the Spider's Web  චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ ඒ නමින්ම ස්වීඩන ජාතික මාධ්‍යවේදියෙකු මෙන්ම ලේඛකයකු වන ඩේවිඩ් ලාගේර්ක්‍රාන්ස්ට් විසින් රචිත කෘතිය යි.

The Girl in the Spider's Web  කෘතිය, ඉහළ අලෙවි වාර්තා සනිටුහන් කළ අපරාධ කතා රැගත් සම්මානනීය නවකතා කෘති පෙළක සිව්වැන්නයි. මිලේනියම් නම් එම කෘති පෙළෙහි  The Girl with the Dragon Tattoo (2005), The Girl Who Played with Fire (2006),The Girl Who Kicked the Hornets' Nest  රචනා කර තිබෙන්නේ ස්වීඩන ජාතික ලේඛකයකු වන ස්ටීව් ලාර්සේසන් විසින්.  The Girl in the Spider's Web(2015), The Girl Who Takes an Eye for an Eye (2017)  කෘති ඩේවිඩ් ලාගේර්ක්‍රාන්ස්ට් විසින් රචනා වී තිබේ. මෙම කතා පෙළෙහි ප්‍රධාන වන චරිත දෙකකි. ඕනෑම සිදුවීමක් පිළිබඳ සවිස්තරාත්මක දෘෂ්ටිමය මතකයක් හිමි, සමාජ ඇසුරෙන් අඩු, තම දිවියේ විසිවැනි දශකයේ සිටින ලිස්බෙත් සැලෙන්ඩර් සහ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන මයිකල් බ්ලොම්ක්විස්ට් එම චරිත ද්විත්වය යි.

මෙම කෘති ඇසුරෙන් ස්වීඩන සහ හොලිවුඩ් චිත්‍රපට නිර්මාණය කර තිබේ. The Girl with the Dragon Tattoo, The Girl Who Played with Fire,The Girl Who Kicked the Hornets' Nest  කෘති ඇසුරෙන් ස්වීඩන චිත්‍රපට ත්‍රිත්වයක් එම නමින්ම තිරගත වී ඇති අතර The Girl in the Spider's Web  චිත්‍රපටයට පෙර 2011 වසරේදී The Girl with the Dragon Tattoo කෘතිය ඇසුරෙන් එම නමින්ම චිත්‍රපටයක් නිර්මාණය කෙරුණි. ඩේවිඩ් ෆ්‍රන්චර් විසින් අධ්‍යක්ෂණය කෙරුණු එහි මයිකල් බ්ලොම්ක්විස්ට්ගේ චරිතයට පණ දුන්නේ බ්‍රිතාන්‍ය නළු ඩැනියෙල් ක්‍රෙග් විසිනි. ලිස්බෙත් සැලෙන්ඩර්ගේ චරිතයට පණ දුන්නේ අමෙරිකානු නිළි රූනි මාරා. 2012 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේදී ඇයගේ එම රංගනය හොඳම නිළිය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ද ඇතුළත් විය. අමෙරිකානු ඩොලර් මිලියන 90ක වියදමෙන් නිර්මාණය කළ එය අමෙරිකානු ඩොලර් මිලියන 232.6ක ආදායමක් වාර්තා කළා.

The Girl in the Spider's Web  චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ උරුගුවේ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ෆ්‍රෙඩ් අල්වාරේස් විසින්. 40 හැවිරිදි වියේ පසුවන ෆ්‍රෙඩ් විසින් Evil Dead (2013), Don't Breathe (2016 චිත්‍රපට ද අධ්‍යක්ෂණය කර තිබේ. ලිස්බෙත් සැලෙන්ඩර් සහ මයිකල් බ්ලොම්ක්විස්ට් ප්‍රධාන චරිත ද්විත්වයට මෙවර පණ පොවන්නේ බ්‍රිතාන්‍ය නිළි ක්ලෙයරි ෆෝයි සහ ස්වීඩන ජාතික නළු ස්වේරියර් ගුඩ්නෙසන් විසින්. පසුගිය ඔක්තෝබර් මාසයේ තිරගත කිරීම ඇරඹි ජ්ඪපඵබ ර්චද චිත්‍රපටයේ නීල් ආම්ස්ට්‍රෝන්ගේ පළමු බිරිය ජැනට් ශියරොන්ගේ චරිතයට පණ පොවන්නේ ද ක්ලෙයරි ෆෝයි විසිනි.

The Girl with the Dragon Tattoo  චිත්‍රපටයේදී මයිකල්හට නැති වී ගිය ගෞරවය ලබා ගැනීමට අවස්ථාවක් හිමිවන්නේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ ඥාති දියණියකගේ අභිරහස් මරණය විසඳීමට අවස්ථාව හිමිවීමත් සමඟිනි. මෙවර The Girl in the Spider's Web  චිත්‍රපටයේදී මයිකල් සහ ලිස්බෙත් රහස් ඔත්තුකරුවන්ගේ ජාලයක් සොයා ගන්නා අතර ඒ ඔස්සේ අන්තර්ජාල අපරාධරුවන් සහ රජයේ දූෂණ වංචා රැසක් අනාවරණය කර ගැනීමට ද අවස්ථාව උදා වේ.

The Girl in the Spider's Web  චිත්‍රපටයට IMDb  දර්ශකයේ 5.8/10ක් හිමි වී ඇති අතර රොටෙන් ටොමැටෝස්හි විචාරක මනාපය 73%ක් හිමි වී තිබේ. මෙහි ලිස්බත් චරිතය නිරූපණය වෙනුවෙන් ක්ලෙයරි ෆෝයි සහ අධ්‍යක්ෂ ෆ්‍රෙඩ් අල්වාරේස් වෙත විචාරකයන්ගේ ප්‍රශංසාව පිරිනමා ඇත. ලිස්බෙත් සුරතල් කාන්තාවක නොවණ ද ඇය යාන්ත්‍රික චරිතයක් නොවන බව මෙම චිත්‍රපටයේදී අධ්‍යක්ෂවරයා මනාව තේරුම් ගෙන ඇති බව ඔවුන්ගේ අදහසයි. අධ්‍යක්ෂවරයාගේ එම තේරුම් ගැනීම ලිස්බත්හට ඔල්වරසන් දීමට මෙන්ම ආදරය කිරීමට ද හැකි වන අන්දමේ වීරවරියක් ලෙසින් නිර්මාණය කර ඇති බව විචාරකයෝ පවසා සිටිති. ක්‍රියාදාම පිළිබඳවද විචාරක ප්‍රශංසාව හිමි වී ඇති අතර එම ක්‍රියාදාම ජවනිකා නරඹන්නන්ගේ ආතතිය ඉහළ නංවනු ඇති බවද සඳහන්. කෙසේ නමුත් ඩැනියෙල් ක්‍රෙග් සහ රූනි මාරා නොමැති අඩුව ද විචාරක අදහස් අතර වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.