Namaste England

නොවැම්බර් 8, 2018

Namaste England පසුගිය ඔක්තෝබර් 18 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරෙන හාස්‍ය රැගත් ප්‍රේමණීය හින්දි චිත්‍රපටයක්. පරිනීති චොප්රා සහ අර්ජුන් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කෙරෙන එය 2007 වසරේ තිරගත කෙරුණු Namastey London  චිත්‍රපටයේ මීළඟ චිත්‍රපටය ලෙසින් නිර්මාණය වී තිබෙනවා.

Namaste England චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Namaste London  චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විපුල් අම්රුතල් ෂා විසින්. Aankhen, The Race Against Time, London Dreams, Action Replay  මීට පෙර විපුල්ගේ සිනමා අධ්‍යක්ෂණයන්. Namaste London චිත්‍රපටයට දායක වූ නළු නිළියන් වූයේ අක්ෂේ කුමාර්, කත්‍රිනා කයිෆ්, රිෂී කපූර්, ක්ලයිව් ස්ටැන්ඩෙන් ඇතුලු පිරිසක්. ලන්ඩනයේ බටහිර පන්නයට හැදී වැඩුණු තරුණියක වන ජැස්මීත් ඉන්දීය තරුණයෙකුහට විවාහකර දීම හා සබැඳුණු කතා පුවතක් එහි ඇතුලත් ඉන්දීය රුපියල් මිලියන 310ක පිරිවැයක් දරා නිර්මාණය කළ එය ඉන්දීය රුපියල් මිලියන 714ක ආදායමක් වාර්තා කළා. Namastey London චිත්‍රපටය නිර්මාණය වූයේ අක්ෂේ කුමාර්ගේ මිතුරෙකු අත්විඳී සැබෑ ජීවිත අත්දැකීමක් පාදකකොට ගෙනයි. මෙවර Namaste England චිත්‍රපටයේ කතාව පරම් සහ ජැස්මීත් වටා ගෙතී තිබෙනවා.

පරම් කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් සරසවි අධ්‍යාපනය ලබා පන්ජාබයේ කුඩා ගමක කෘෂිකාර්මික කටයුතු සමඟින් දිවි ගෙවන තරුණයෙක්. පරම් තම මිතුරන් සමඟින් විසර්ජන් නම් මිතුරා හමුවීමට යන විටදී ජැස්මීත් නම් තරුණිය හමු වේ. ජැස්මීත් හොඳීන් අධ්‍යාපනය ලද අධිෂ්ඨානශීලි තරුණියක වේ. ඇයගේ සීයාගේ මතය නම් තරුණියක විවාහ වී දරුවන් හදාවඩා ගනිමින් නිවෙසේ සිටිය යුතු බවයි. එහෙත් රැකියාවක නිරත වීමේ බලාපොරොත්තුවෙන් සිටින ඇයට උපකාර කරන්නේ පරම්.

පරම්ගේ මාපියන් විසින් ජැස්මීත් වෙත විවාහ යෝජනාවක් ගෙන එන අතර එතැනදී ද සීයා පවසන්නේ විවාහයෙන් පසු ජැස්මීත් රැකියාවක නිරත නොවිය යුතු බවයි. විවාහයෙන් පසු ලන්ඩනයේ පදිංචි වීමට බලාපොරොත්තු වන ජැස්මීත්ගේ අදහසට පරම් උපකාර කරන්නේ කෙසේ ද යන්නත් ඒ වෙනුවෙන් දෙදෙනා මුහුණ දෙන අභියෝග, පරම්ගේ කැපකිරීම් දැකගත හැකි වන්නේ Namaste England චිත්‍රපටය නැරඹීමෙන්. මෙහි තිරරචනය කෙරුණේ Namaste London  චිත්‍රපටයේ තිරරචනය කළ සුරේෂ් නෙයිර් සහ රිතේෂ් ෂා විසින්.

මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ මනාන් ෂා, භාද්ෂා, රිෂී රිච් විසින්. ජනප්‍රිය ගීත රචන ජාවේද් අක්තාර් විසින් රචිත ගීත ගායනයට රාහත් ෆතේ අලී ඛාන්, අතීෆ් අස්ලාම්, අන්තාරා මිත්‍රා ඇතුළු පිරිසක් දායක විය. ඉන්දියාවේදී මෙන්ම ප්‍රංශයේ පැරිස් සහ ලන්ඩනයේදී රූගත කළ Namaste England චිත්‍රපටය නිර්මාණයට ඉන්දීය රුපියල් කෝටි 55ක් පමණ වැයකර ඇත. Namaste England චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹූ අර්ජුන්ගේ මිත්තණිය එහි ප්‍රධාන නිළිය පරිනීති චිත්‍රපටයට සේම සැබෑ ජීවිතයේ සහකාරිය ලෙසත් තමාට හොඳීන් ගැළපෙන්නේ යැයි පවසන බව අර්ජුන් බොම්බේ ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියා.

   

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.