කිරුළක් වෙනුවෙන් කාන්තාවන් දෙදෙනෙකුගේ සටනක් Mary, Queen of Scots

පෙබරවාරි 7, 2019

Mary, Queen of Scots ස්කොට්ලන්තයේ මේරි රැජනගේ කතාවයි. 1542 වසරේදී ස්කොට්ලන්තයේ ලිනිලිත්ගෝ හිදී උපත ලද ස්කොට්ලන්තයේ පස්වන ජේම්ස් රජුගේ එකම දියණිය වන මේරි වයස අවුරුදු 16දී ප්‍රංශයේ දෙවන ප්‍රැන්සිස් රජු සමඟින් විවාහපත් වන අතර වයස අවුරුදු 18දී සැමියාගේ වියෝවෙන් පසු යළිත් තම මව්බිම වන ස්කොට්ලන්තය වෙත පැමිණෙන්නීය. ඒ වෙනත් අරමුණකින් නොව තමන්හට උරුම ස්කොට්ලන්ත කිරුළේ අයිතිය දිනා ගැනීම වෙනුවෙනි.

නමුත් මේ වන විට ස්කොට්ලන්තය සහ එංගලන්තය පළමුවැනි එළිසබෙත් රැජනගේ බලය යටතේ පැවතීම හේතුවෙන් ස්කොට්ලන්තයේ රාජකීයත්වය දිනා ගැනීම වෙනුවෙන් මේරිහට පළමුවන එළිසබෙත් රැජන සමඟින් උණුසුම් සටනකට පිවිසෙන්නට සිදුවේ.

මෙම සටන මධ්‍යයේ මේරි අබිමුව තවත් අභියෝගයකි. ස්කොට්ලන්ත කිරුළ වෙනුවෙන් විවාහය අනිවාර්ය වී ඇත. නමුත් මේරි තම ජීවිතයේ නිදහස් බව උපරිමයෙන් අපේක්ෂා කරන තැනැත්තියකි. එනිසා ස්කොට්ලන්ත කිරුළ හමුවේ යළිත් විවාහ දිවියට පිවිසීම මේරිහට අභියෝගයකි. ජීවිතය සහ ආදරය අතරේ රජ කිරුළ වෙනුවෙන් ඇය සටන් කරන්නේ කෙසේද?

ඉතිහාසය වෙනස් කළ ස්කොට්ලන්ත කිරුළ වෙනුවෙන් කාන්තාවන් දෙදෙනකු අතර ඇති වූ මෙම සටන Mary, Queen of Scots නමින් දැන් රිදී තිරයේ දිගහැරී ඇත. පසුගිය ජනවාරි 18 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරෙන Mary, Queen of Scots අධ්‍යක්ෂණය කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂිකා ජොසී රූක් විසිනි.

ඉතිහාසඥයකු සහ චරිත කතා රචකයකු වූ ජෝන් ගයි විසින් රචිත 1542 සිට 1567 දක්වා ස්කොට්ලන්තය පාලනය කළ මේරි රැජනගේ චරිතාපදානය ඇසුරින් Mary, Queen of Scots චිත්‍රපටය නිර්මාණය වී ඇත.

සෝර්ස් රෝනන් ‍මේරි රැජන ලෙසත්, මාග්‍රට් රොබී පළමු එළිසබෙත් රැජන ලෙසත් මෙහි චරිත නිරූපනය කරන අතර ගයි පියර්ස්, ඩේවිඩ් ටෙනන්ට්, ජැක් ලෝඩ්න්, ජෝ ඇල්වින් ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණය කරති.

රොටෙන් ටොමැටෝස් පොදු විචාරය පවසන්නේ, මෙම චිත්‍රපටය ඉතිහාසයේ නොසන්සුන් කාල පරිච්ඡේදයක සිදු වූ දේශපාලන ක්‍රීඩාවක් කරළියට ගෙන එන්නේ ඊට දායක වූ දක්ෂයන්ට තම ශිල්ප දැක්වීමට හොඳ තෝතැන්නක් ද සපයා දෙමින් බවයි.

චිකාගෝ සන් ටයිමිස් හි විචාරක රිචඩ් රෝපර් පවසන්නේ, චිත්‍රපටය තුළ එකිනෙක නොගැළපෙන සිද්ධි බහුලවීම නිසා කතාව අහඹු බවක් දක්වන බවයි. බලය ඇසුරේ ඉපදුනු කාන්තාවන්ගේ ලෝකය ගවේෂණය කරන චිත්‍රපටයක් ලෙසින් මෙය, එවන් කාන්තාවන් දෙදෙනකුගේ අරගලය මනාව ගෙනහැර දක්වන බවද විචාරක අදහස් අතර වේ.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.