කාන්තාවන් ගැන චිත්‍රපටයක්

90 ml
පෙබරවාරි 28, 2019

90 ml  දෙමළ චිත්‍රපටය කාලයක පටන් ඉන්දීය සිනමාවේ කතාබහට ලක් වූ චිත්‍රපටයක්. අනීටා උදීප් විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කළ 90 ml  චිත්‍රපටය පිළිබඳ කතාබහ ඇති වූයේ එහි ශ්‍රේණිගත කිරීම සමඟින්.

ඉන්දීය සිනමාවේ චිත්‍රපට ශ්‍රේණිගත කිරීම යටතේ ඉහළ තලයේ අධික පිරිවැයක් දරා මනා සංයුතියකින් නිම කරන චිත්‍රපට ඒ ශ්‍රේණියට අයත් වේ. එම චිත්‍රපටවලට රංගනයෙන් දායක වන්නේ සිනමාවේ ජනප්‍රියතම නළු නිළියන් වන අතර ඒ සෑම චිත්‍රපටයක්ම පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපට වේ. බී ශ්‍රේණියේ චිත්‍රපට බොහොමයක් වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපට ලෙස සැලකෙන අතර තරමක අඩු පිරිවැයකින් නිම කෙරෙන එම චිත්‍රපටවල ඉහළ තලයේ ජනප්‍රිය තරු දකින්න ලැබෙන්නේ ද නැත. ඉතාම අඩු පිරිවැයකින් නිර්මාණය කෙරෙන චිත්‍රපට සී ශ්‍රේණියට අයත් වෙයි. 90 ml  චිත්‍රපටය ද මුලදී බී ශ්‍රේණියට ඇතුළත් කර තිබූ නමුත් එහි අඩංගු වූ වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන ඉවත් කිරීමෙන් පසු ඒ ශ්‍රේණියේ චිත්‍රපටයක් ලෙසින් පෙබරවාරි 22 වැනිදා සිට තිරගත කිරීමට නියමිතව තිබුණි. එම පුවත පිළිබඳ අවධානය වැඩි වූයේ මෙහි ප්‍රධාන නිළි ඔවියා විසින් අන්තර්ජාලයට නිකුත් කළ ප්‍රකාශයක් සමඟින්. "තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් 90 ml  චිත්‍රපටය තිරගත කරන දින වෙනස් වී තිබෙනවා. ඔබගේ උනන්දුව පෙර පරිදිම රඳවා ගන්න. මාර්තු පළමු වැනිදා සවස පහේ දර්ශනයේදී හමු වෙමු" යන ප්‍රකාශය ඉංග්‍රීසි බසින් ඇය රචනාකර තිබුණේ එහි ඇතුළත් සියලුම ඒ අකුරු කැපිටල් ලෙස දක්වමින්.

ඕවියා හෙලන් සමඟින් ඇන්සන් පෝල්, විජේ වසන්ත්, නිතින් සත්‍යා, අරවින්ද් ආකාශ් ආර්.ජේ බාලාජි, මොනීෂා රාම්, ශ්‍රී ගෝපිකා, බෝමු ලක්ෂ්මි රංගනයෙන් දායක වන මෙහි දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සිලම්බරාසන් (සිම්බු) සහ ප්‍රභූ දේවාගේ විශේෂ දර්ශනයන් ද ඇතුළත්. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ ද සිලම්බරාසන් විසින්. අධ්‍යක්ෂිකා අනීටා සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ 90 ml  චිත්‍රපටය කාන්තාවන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ වුවමනාවන් ආසාවන් පිළිබඳ කියන චිත්‍රපටයක් බවයි. 90 ml  චිත්‍රපටය රැල්ලක් බවට පත්වනු ඇති බව අනීටාගේ අදහසයි. මෙය අනීටා විසින් වසර 10ට පසුව ඉදිරිපත් කරන වෘත්තාන්ත චිත්‍රපටය යි. "ඉන්දියාවේ සාමාන්‍ය කාන්තාවන්ගෙන් 80%ක් මෙම චිත්‍රපටය නරඹනු ඇති බවට මම විශ්වාස කරනවා. මගේ ඉලක්කය තරුණ ප්‍රජාව. ඒ අතර පරිගණක ඉංජිනේරු අංශය විශේෂ වෙනවා" අනීටා පවසනවා.

ඉන්දීය සිනමාවේ කතාබහට ලක් වූ කාන්තා සිනමා අධ්‍යක්ෂවරියන් අතරේ අනීටා උදීප් නම ද සුවිශේෂි වේ. ලොස් ඇන්ජලීස්හි ‍ලොයෝලා මේරිමවුන්ට් විශ්වවිද්‍යාලයේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ තුන් වසරක පාඨමාලාවක් හදාරන අතරතුර ඇයහට ස්ටීවන් ස්පිල්බර්ග් සමඟින් ඔහුගේ චිත්‍රපටවල ද කටයුතු කිරීමට අවස්ථාව උදාවිය. අනීටා විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ Knock Knock, I'm looking to Marry!  චිත්‍රපටය 2003 වසරේදී තිරගත කෙරුණි. 2006 වසරේදී තිරගත කෙරුණු පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වූ Gulliver's Travel සහ 2009 වසරේදී තිරගත කෙරුණු ම්භතඪප 100 ද තිරරචනය කර අධ්‍යක්ෂණය කෙරුණේ ද ඇය විසින්. චිත්‍රපට අධ්‍යක්ෂවරියක පමණක් නොව ගායිකාවකද වන අනීටා දෙමළ, හින්දි සහ තෙළිඟු චිත්‍රපට වෙනුවෙන් පසුබිම් ගීත ගායනයෙන් දායක වන අතර Mugangal  නමින් දෙමළ පොප් ගී එකතුවක් ද නිකුත් කළාය.

 

  

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.