මාවල් සිනමා විශ්වයේ සුපිරි වීරවරිය

Captain Marvel
මාර්තු 7, 2019

මාවල් සිනමා විශ්වයට සුපිරිවීරවරියක් එක්වන්න සූදානම්. ඇය මාවල් සිනමා විශ්වයට එක් වන්නේ හෙටට යෙදෙන (මාර්තු 08) කාන්තා දිනය සමඟින් වීමත් විශේෂයි. ඇය කැප්ටන් මාවල් හෙවත් කැරොල් ඩැන්වර්ස් ලෙසින් හැඳීන්වෙයි. මාවල් චිත්‍රකතා ඔස්සේ කැරොල් ඩැන්වර්ස් අමෙරිකානු චිත්‍රකතා ලොවට පිවිසියේ 1968 වසරේදීයි. රෝයි තෝමස් සහ ජීන් කෝලන් විසින් එම චරිතය නිර්මාණය කිරීමෙන් අනතුරුව මාවල් චිත්‍රකතා තුළ ඇයගේ චරිතය මාවල් මහත්මිය (1977), බිනෙරි (1982), වෝබර්ඩ් (1998) ලෙසින් පැමිණ කැප්ටන් මාවල් ලෙසින් නම් වූයේ 2012 වසරේදීයි.

මේ අලුත් වීරවරිය පැමිණෙන Captain Marvel  චිත්‍රපටය හෙට සිට ලොවපුරා තිරගත වීමට නියමිතයි. එය ගෙන එන්නේ 1990 දශකයේ සිදුවීම් පෙළක් සමඟින් වූ කතාවක්. අමෙරිකානු ගුවන් හමුදා පියාසර නිලධාරිනියක වූ කැරොල් ඩැන්වර්ස් හට සුවිශේෂ බලයක් හිමි වන්නේ අනතුරකදී ඇයගේ ජාන සමඟ පිටසක්වළ ජීවින්ගේ ජාන මිශ්‍ර වීමෙන්. පිටසක්වල ජීවින් කණ්ඩායම් දෙකක් අතර චක්‍රාවාට යුද්ධයක් ඇතිවන අවස්ථාවක් අලළා කැප්ටන් මාවල් කතාව නිර්මාණය වී ඇත.

මාවල් චිත්‍රකතා ඇසුරින් නිර්මාණය වන පළමු සුපිරි වීරවරියගේ වික්‍රමය වන්නේ ද මෙයයි. ඇනා බෝඩ්න් සහ රයන් ෆ්ලෙක්ගේ අධ්‍යක්ෂණයක් වන කැප්ටන් මාවල්හි කැරොල් ඩැන්වර්ස් චරිතයට පණ පොවන්නේ ඔස්කාර් සම්මාන ලාභි 29 හැවිරිදි අමෙරිකානු නිළි බ්‍රියේ ලාර්සන් විසින්. ඇය සමඟ එක්ව වීරක්‍රියාවල යෙදෙන්නේ ඇවෙන්ජර්ස් රහස් ඒජන්සියක ප්‍රධානියෙකු වන නික් ෆියුරි. සුපුරුදු පරිදි එම චරිතයට පණ පොවන්නේ සැමුවෙල් එල් ජැක්සන්. ඔවුන් සමඟින් බෙන් මෙන්ඩෙල්සන්, ජිමෝන් හොන්සොව්, කී පීස්, ලෂානා ලින්ච්, ගෙමා චාන්, ඇනීට් බෙනින් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. මාවල් චිත්‍රපටවල කවුරුත් බලා සිටින ජනප්‍රිය චිත්‍රකතා චරිත රැසක් මැවූ ස්ටැන් ලී ද මෙහිදී දැක ගැනීමට අවස්ථාව ලැබීම සතුටුදායක පුවතකි.

කැප්ටන් මාවල් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත්වූ දින සිටම ලොවපුරා සිනමාලෝලීන්ගේ ආකර්ෂණය දිනාගැනීමට හැකි වූ අතර මාවල් ආයතනයේ ජනප්‍රියතම චිත්‍රපට අතරට ‍ මෙම සිනමාපටයත් එකතුවනු ඇතිබවට සිනමා විචාරක මත ද පළ විය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී IMDb  දර්ශකයේ සඳහන් වී තිබුණේ වැඩිම කතාබහට ලක්වන 2019 වසරේ පැමිණෙන චිත්‍රපටය ලෙසින්. Captain Marvel  චිත්‍රපටයෙන් පසුව කැරොල් ඩැන්වර්ස් සුපිරිවීරවරිය ලබන අප්‍රේල් මාසයේදී තිරගත කෙරෙන  Avengers චිත්‍රපටයේදීත් ඔබ හමුවීමට නියමිතයි.

  

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.