බලකොටුව වෙනුවෙන් දිවි දුන් සීක් විරුවෝ

මාර්තු 14, 2019

1897 වර්ෂය ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයක් වන අතර එකල ඉන්දීය ප්‍රාන්ත පාලනය කරන ලද්දේ බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාව  (British India Army) හෙවත් ඉන්දියානු වැසියන්ගෙන් සමන්විත වූ බ්‍රිතාන්‍යයට යටත් හමුදාවක් විසිනි. වත්මන් පකිස්තානයට අයත් සරාගරී නම් කුඩා ගම මෙම හමුදාවේ 36 වැනි සීක් රෙජිමේන්තුව යටතේ පැවති අතර ගිරිදුර්ගයක් වූ මෙම ප්‍රදේශය 1897 සැප්තැම්බර් 11 වැනි දින වන විට ඉහත රෙජිමේන්තුවේ භටයින් 21 දෙනෙකුගෙන් සමන්විත වූ බලකොටුවක්ව පැවතුණි. මෙම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා වූයේ, හවිල්දාර් (සාජන්ට්) ඉෂාර් සිං නම් වූ සීක් ජාතිකයා ය.

ඇෆ්ගනිස්තාන සම්භවයක් සහිත පකිස්තාන ජාතිකයන් වන පෂ්තුන්වරුන් විසින් මෙම බලකොටුව අත්පත් කරගැනීමට නොයෙක් විට උත්සාහ දැරුවද ඒ සෑම උත්සාහයක්ම අසාර්ථක වී තිබේ. කෙසේ නමුත් උක්ත සැප්තැම්බර් 11 වැනිදා පෙරවරු 9.00ට පමණ පෂ්තුන්වරුන් දහසකගෙන් පමණ සමන්විත භට පිරිසක් මෙම බලකොටුව වටකර ඇති බවට එහි වූ මුර භටයින් දැනුම් දුන්න ද ප්‍රහාරයකට මුහුණදීමට උපකාර ඉල්ලා යැවූ පණිවුඩයන්ට යහපත් ප්‍රතිචාර නොලැබුණු බවත් සඳහන් වේ. මේ අතර තමන්ට යටත්වන ලෙස පෂ්තුන්වරු විසින් සීක් ජාතික භටයින්හට නොයෙකුත් පොරොන්දු ලබා දුන්නද ඔවුන් ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇත. මරණය දක්වා සටන්වැද තම කාර්යභාරය වූ සරාගරි බලකොටුව රැක ගැනීම 21ක් තරම් කුඩා කණ්ඩායමක් වූ සීක් භටයින් සිය අභිප්‍රාය කරගැනීම පමණක් නොව අවසන් යුද සෙබළා දක්වාම බලකොටුව රැකගෙන සටන් වැදීම මෙම කුඩා කණ්ඩායම සමත් වී ඇත. අතිශය වීරත්වයක් විදහා පෑ සටනක් ලෙස මෙම සටන ඉන්දීය ඉතිහාසයට එක් වී තිබේ.

1897 වසරේ සරාගරී සටන නමින් ඉන්දීය ඉතිහාසයට එක් වුණු මෙම සටන ඇසුරෙන් හින්දි සිනමාපටයක් රිදී තිරයේ දිග හැරීමට නියමිතය. Kesari  ලෙසින් නම් වන එහි හවිල්දාර් ඉෂාර් සිං ලෙසින් පණ පොවන්නේ අක්ෂේ කුමාර් විසිනි. අක්ෂේ සමඟින් පරිනීති චොප්රා, මීර් සර්වාර්, වනීෂ් භාරද්වාජ්, ජස්ප්‍රීත් සිං, විවේක් සයිනි ඇතුළු පිරිසක් Kesari චිත්‍රපටයේ රංගනයෙන් දායක වී ඇත. මාර්තු 21 වැනිදා සිට තිරගත කෙරෙන Kesari  කරන් ජොහාර් ඇතුළුව අරුණ භාතියා, හිරූ යාෂ් ජොහාර්, අපූර්වා මෙහෙතා, සුනීර් ඛේතර්පාල්ගේ නිෂ්පාදනයකි. Kesari  අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඉන්දීය සම්භවයක් ඇති පන්ජාබ් ජාතික අධ්‍යක්ෂ අනුරාග් සිං විසිනි. ඔහු විසින් රචිත Jatt and Juliet, Punjab 1984 Yarr Annmelle  පන්ජාබි සිනමාවේ වැඩිම ආදායම් ඉපයූ නිර්මාණ ලෙස ඉතිහාසයට එක් වී ඇත. අනුරාග් සිං පන්ජාබ් සිනමා උලෙළ තුනකදී හොඳම අධ්‍යක්ෂ ලෙසින් සම්මානයට පාත්‍ර වී තිබේ.

  

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.