කුඩා ළමයින්ගේ ආදරය දිනූ Dumbo

මාර්තු 14, 2019

මාන කොකුන් රෑනක් විසින් දුම්රියක යන සර්කස් කණ්ඩායමක සිටින සතුන්ට දරුවන් රැගෙන එනු ලැබෙයි. එම සතුන්ගෙන් එකෙකු ඇතින්නක වන ජම්බෝ මහත්මිය වෙතට ද පිරිනැමෙයි. ඒ කුඩා අලි පැටවෙකි. විශාල කන් ඇති මේ අලි පැටවා ඉක්මනින් අනිකුත් සතුන්ගේ උපහාසයට ලක්වේ. නමුත් ජම්බෝ මහත්මිය ඉතා ආදරයෙන් තම දරුවා රැකබලා ගනී. මේ අලි පැටවා ඩම්බෝ ලෙසින් නම් වේ.

සර්කස් නැරඹීමට පැමිණෙන කුඩා ළමයින් පිරිසක් ඩම්බෝට හිරිහැර කරති. මේ තත්ත්වය නොඉවසන ජම්බෝ මහත්මිය මෙම ළමයින්ට පහරදීමට සැරසේ. මේ හේතුවෙන් බලධාරින් ඇය සර්කස් කණ්ඩායමෙන් ඉවත් කිරීමේ තීරණයට එළඹේ. අනෙකුත් අලි සාමාජිකයන්ගේ පිළිසරණක් නොමැති ඩම්බෝ තනි වේ. සර්කස් සඳහා යොදා ගන්නා ඩම්බෝ කුඩා හෙයින් සැමවිටම පිරමිඩ සර්කස් දර්ශනයේදී ඉහළින්ම සිටින්නා බවට පත්වීමට සිදු වෙයි. තම කාර්යයභාරය නිසි ලෙස කරගැනීමට අපොහොසත් වන ඩම්බෝ නිසා අනෙකුත් අලි සාමාජිකයෝ නිරන්තරයෙන් කලබලයට පත් වෙති. මේ හේතුවෙන් බලධාරින් විසින් ඩම්බෝ විහිළු චරිතයක් බවට බවට පත් කර සෑම දර්ශනයකදීම උඩ සිට බිම වැටීමට සළස්වයි. ඩම්බෝ තවත් අසරණ වෙයි. මේ අතර එක් සර්කස් දර්ශනයකදී ආසාමාන්‍ය දෙයක් සිදු වේ. එනම් ඩම්බෝ උඩ සිට විශාල කන් ආධාරයෙන් පියැඹීමයි. හෙලන් ඇබර්සන් සහ හැරල්ඩ් පර්ල් විසින් නිර්මාණය කරන ලද ඩම්බෝ චරිතය ඇසුරෙන් 1941 වෝල්ට් ඩිස්නි විසින් නිෂ්පාදිතව තිරගත වූ ඩම්බෝ කාටුන් චිත්‍රපටයේ කතාව මෙසේ විය. එදා මෙදාතුර කුඩා ළමයින්ගේ ආදරයට පත් ඩම්බෝ දශක අටකට ආසන්න කාලයක් ගෙවා නැවතත් 2019 මාර්තු මස 29 වැනිදා ලොව පුරා තිරගත වන්නේ පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් ලෙසිනි. වෝල්ට් ඩිස්නි සමාගම විසින් එය නිෂ්පාදනය කර ඇත. විනාඩි 130ක ධාවන කාලයකින් යුක්ත මෙය චාර්ලි ඉන් ද චොක්ලට් ෆැක්ටරි, ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ටිම් බර්ටන්ගේ අධ්‍යක්ෂණයකි. කොලින් ෆෙරල්, මයිකල් කීට්න්, ඩැනී ඩෙවොටෝ, ඊවා ග්‍රීන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. හොලිවුඩ් චිත්‍රපට ගණනාවක සංගීත අධ්‍යක්ෂණය කර ඇති ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ එල්ෆ්මාන්ගේ සංගීතයෙන් ඔපවත් වුණු මෙම චිත්‍රපටය ජස්ටින් ස්පින්ගර්, ඒරන් කෘගර්, කැටර්ලි ග්‍රෝන් ෆෙල්ඩර් සහ ඩෙරෙක් ෆ්‍රේ ගේ නිෂ්පාදනයකි.

අලුත් චිත්‍රපටයේ කතාව පැරණි කතාවට සමාන නොවුණද එහි ප්‍රධාන තේමාවේ කිසිදු වෙනසක් නොවීම විශේෂයකි. ස්ක්‍රීන්රන්ට් වෙබ් අඩවිය මෙම චිත්‍රපට දෙකෙහිම දක්වන පොදු පණිවුඩය මෙසේ වේ. තමන් පිළිබඳ විශ්වාස කරන්න. තමා ඇතුළාන්තයේ ඇති විශේෂත්වය ගැන විශ්වාස කරන්න. එයින්ම තමන්ගේ උපරිමයට ළඟාවන්න. සමහරවිට අපගේම දක්ෂතා දුර්වලතා ලෙස දක්වා සමාජය අපට පීඩා කරනු ඇත. අප පළවා හරින්නට උත්සාහ දරනු ඇත. නමුත් අප අනන්‍ය කරන්නේද ඒ විශේෂත්වයන්මය. 2019 වසරේ ඩිස්නි සමාගම විසින් පරිගණක සජීවිකරණයේ චිත්‍රපට 05ක් රැගෙන ඒමට සූදානම් වී ඇති අතර ඇලඩින්, ෆ්‍රෝසන් 2, ටෝයි ස්ටෝරි 4, ලයන් කිං අනෙකුත් චිත්‍රපට අතර වේ.

   

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.