Disney FOX මිලට ගනී

මාර්තු 28, 2019

ඩිස්නි යනු දශක ගණනාවක් පුරා රූපවාහිනී සහ සිනමා නිර්මාණ ප්‍රිය කරන්නන්ගේ මුවග රැඳුනු නාමයකි. 1923 වසරේදී ඩිස්නි සමාගම පිහිටුවන ලද්දේ වෝල්ට් ඩිස්නි සහ රෝයි ඔලිවර් ඩිස්නි නම් දෙසොහොයුරන් විසිනි. ආරම්භයේදි ඩිස්නි බ්‍රදර්ස් ලෙසින් නම් වී පසුව ඩිස්නි ස්ටුඩියෝ, වෝල්ට් ඩිස්නි ප්‍රඩක්ෂන්ස් ලෙසින් නම් වී පසුව වෝල්ට් ඩිස්නි ලෙසින් නම් වූයේ 1986 වසරේදීයි. ලොකු පොඩි කාගේත් ආදරය දිනූ මිකී මවුස්ගේ උපත සිදුවන්නේ ද ඩිස්නි සමාගමේදීයි. 1928 වසරේ දී මුල්වරට මීකි මවුස් පැමිණියේ Steamboat Willie නම් කාටූන් මාලාවෙනි. මිකී මවුස්ගේ චරිතයට හඬ මුසු කළේ ඩිස්නි සමාගමේ නිර්මාතෘ වෝල්ට් ඩිස්නි විසින්. ඩිස්නි තම පළමු කතානාද චිත්‍රපටය ලෙසින් Snow White and the Seven Dwarfsඵ තිරගත කළේ 1937 වසරේදීයි. පිනෝකියෝ, ෆැන්ටාසියා (1940), ඩම්බෝ (1941) මෙන්ම පසු කාලීනව ඩිස්නි එළි දැක්වූ සින්ඩරෙල්ලා, ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්, පීටර් පෑන් වැනි චිත්‍රපට ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කර ගැනීමට සමත් විය.

පසුගිය සතියේදී ලෝක විනෝදාත්මක ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා විය. එනම් වෝල්ට් ඩිස්නි සමාගම විසින් ට්වෙන්ටි ෆස්ට් සෙචත්රි ෆොක්ස් සමාගමේ වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 71.3ක මුදලකට මිලදී ගෙන ඇති පුවතයි. ලෝක ප්‍රමුඛ චන්ද්‍රිකා විකාශන සමාගමක් වන ස්කයි (Sky) ආයතනය තුළ ඇති ෆොක්ස් සමාගමේ කොටස් 39% මෙන්ම ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් (20th Century Fox) චිත්‍රාගාරය ද එයට ඇතුළත් වේ. මේ සමඟින් ලෝක චිත්‍රපට, රූපවාහිනි නිර්මාණ සහ අන්තර්ජාල ක්ෂේත්‍රය තුළ ඩිස්නි සමාගම සතු හිමිකාරිත්වය තව තවත් වර්ධනය වී තිබේ.මේ වන විට සිනමා ක්ෂේත්‍රයේ මාවල් වීරයන් ඇසුරින් චිත්‍රපට නිර්මාණය කරමින් මාවල් චිත්‍රගාරය ද සුවිශේෂි ස්ථානයක් ලබා ගෙන සිටින අතර මාවල් චිත්‍රකතා මෙන්ම මාවල් චිත්‍රාගාරය ද වෝල්ට් ඩිස්නි සමාගම විසින් මිලදී ගනු ලැබූයේ 2009 වසරේදීය. මාවල් පමණක් නොව පික්සර්, ලුකස් ආර්ට් චිත්‍රපට ආයතනද වෙනම ක්‍රියාත්මක වුවත් එම ආයතනවලද සැළකිය යුතු කොටස් ප්‍රමාණයකට ඩිස්නි හිමිකාරිත්වය දරණු ලබයි. එසේම මේ වන විට ෆ්ලොරිඩා, කැලිෆෝනියාව, ජපානය, හොංකොං ඇතුළුව ලොවපුරා ඩිස්නි උද්‍යාන අටක් නිර්මාණය කර තිබේ. ඒබීසී එන්ටටේන්මන්ට් ඇතුළත්ව ඊස්පීඑන් හි කොටස් 80%ක්, හුලූ කොටස් 30%ක්, ඒ ඇන්ඩ් ඊ කොටස් 50%ක් සහ වයිස්හි කොටස් 10%ක් ලෙසින් පවතින ඩිස්නි සමාගමට ‍ෆොක්ස් සමාගමේ කොටස් ද එක් වීමෙන් තමන් සතු වත්කම් ඉහළ අගයක රඳවා ගැනීමට ඩිස්නි සමාගම සමත් වී ඇත. ෆොක්ස් සමාගමේ කොටස් ද මිලදී ගැනීම සමඟින් ඩිස්නි සතු මෙම හිමිකාරීත්වය ඔස්සේ ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් යටතේ නිර්මාණය වුණු රූපවාහිනි නිර්මාණ මෙන්ම චිත්‍රපට සියල්ලේ අයිතිය ඩිස්නි සමාගම සතු වේ. ලොව මෙතෙක් ඉහළම ආදායම් ලද චිත්‍රපටය ඇවටර් ඇතුළුව ඉහළම ආදායම් ලද චිත්‍රපට දහයේ ලැයිස්තුවේ ස්ටාර් වෝස් VII,දි ඇවෙන්ජර්ස්, ඇවෙන්ජර්ස් එජ් ඔෆ් අල්ට්‍රන්, ෆ්‍රෝසන් සහ බියුටි ඇන්ඩ් ද බීස්ට් යන චිත්‍රපට හයක අයිතිය ද ඩිස්නි සමාගමට හිමියි. එපමණක් නොව මාවල් චරිත ද ඇතුලුව ලොව ජනප්‍රිය සුපිරි වීර මෙන්ම සුරංගනා චරිත රැසක හිමිකාරීත්වය ද ඩිස්නි සතු වන අතර බ්ලු ස්කයි ඇනිමේෂන්හි රියෝ සහ අයිස් එජ් චිත්‍රපට මාලාවන්හි සියලුම චරිත ද ඒ අතරට ඇතුළත් වේ.

මෙතෙක් කලක් ෆොක්ස් හිමිකාරීත්වය දැරූයේ ලෝකයේ විශාලතම පුවත් සහ චිත්‍රපට අධිරාජ්‍යයා බවට පත්වී සිටි 88 වියැති රූපට් මර්ඩොක් විසිනි. ලොව අංක එකේ රූපවාහිනි හා පුවත්පත් හිමිකරුවා ලෙසින් නම් ලද රූපට් මර්ඩොක් වෙතින් මේ වනවිට ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් හිමිකම ඉවත් වී ගිය ද ෆොක්ස් නිවුස් සහ ෆොක්ස් ස්පෝර්ට් අයිතිය සතු වී තිබේ. ඒ අනුව Times සහ the Sun පුවත්පත් මාධ්‍ය ආයතන අයිතිය තවදුරටත් මර්ඩොක් සතුව පවතී. පසුගියදා සිදු වූ මෙම ෆොක්ස් ගනුදෙනුව සමඟින් ලොව සිනමා කර්මාන්තයෙන් 33.8%ක් ඩිස්නි සමාගම සතු වන අතර මුදල් වටිනාකම අනුව ගත් කළ එය ලෝක සිනමා කර්මාන්තයෙන් 1/3ක අගයක් වේ. ඩිස්නි මෙම පියවර ගෙන තිබෙන්නේ අන්තර්ජාලය තුල දී චිත්‍රපට හා ටෙලි නාට්‍ය මාලා ළබාදීමේ ලොව ප්‍රමුඛතම ආයතනය වන නෙට්ෆ්ලික්ස් ආයතනය සමඟින් තරග කිරීමේ අදහස ද ඇතිව බව විචාරක අදහසයි. නෙට්ෆ්ලික්ස් මේ වනවිට රටවල් 190 ක පමණ ක්‍රියාත්මක අතර මිලියන 148 ට අධික පිරිසක් එහි සාමාජිකත්වය දරති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.