මැතිවරණය අබියස අගමැති මෝදි චරිතය සිනමාවට

PM Narendra Modi
අප්‍රේල් 4, 2019

මේ දිනවල බොලිවුඩයේ කතාබහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිබඳවයි. ඕමන්ග් කුමාර් විසින් අධ්‍යක්ෂණය කළ PM Narendra Modi චිත්‍රපටය හෙට (අප්‍රේල් 05) සිට තිරගත කිරීමට නියමිතව තිබීම එයට හේතුවයි. මෙම තිරගත කිරීම පිළිබඳ නිවේදනය පසුගිය කාලයේ ඉන්දියාව තුළ විවාදයට තුඩු දුන් කරුණක් බවට පත් වූයේ අප්‍රේල් 11 වැනිදා ආරම්භකර අප්‍රේල් 19 වැනිදා තෙක් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය හේතුවෙනි. මේ නිසා නවදිල්ලි මැතිවරණ කාර්යාලය විසින් චිත්‍රපට නිර්මාණ කණ්ඩායමට මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට සඳහන් කරමින් නිවේදනයක් පවා නිකුත් කෙරිණි.

PM Narendra Modi චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ, බිලියනයක් මිනිසුන්ගේ කතාව නම් තේමාව යටතේ වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාවයි. එහි දැක්වෙන්නේ, නරේන්ද්‍ර මෝදි ගුජරාත් ප්‍රාන්තයේ මහඇමති වීමෙන් අනතුරුව සිය දේශපාලන දිවියේ ඉන්දියාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා දක්වා පැමිණි ගමනයි. භාරතීය ජනතා පක්ෂය මෙම චිත්‍රපටයට කිසිදු සම්බන්ධයක් නොමැති බව සඳහන් කළ ද චිත්‍රපටයේ පෝස්ටර් නිකුත් නිකුත් කිරීම වෙනුවෙන් වූ උත්සවය සඳහා දේශපාලඥයන් රැසක් සහභාගි වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා අතර විය. මෙම චිත්‍රපටය හේතුවෙන් ඉන්දීය ජනතාවගේ මැතිවරණ මනාප සටහන් කිරීමේ වෙනසක් වනු ඇති බවටත් ඇතැමුන් මත පළ සිටියි. එසේම ඉදිරි මැතිවරණය ද අගමැති නරේන්ද්‍ර මෝදිහට තීරණාත්මක මැතිවරණයක් වී තිබේ. එයට හේතුව ඔහු නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය වසර ගණනක් පුරා බලය පතුරුවා සිටි මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථානය සහ චතිස්ගගාර් ප්‍රාන්ත පසුගිය මැතිවරණයෙන් පරාජයට පත් වීමයි. කෙසේ නමුත් PM Narendra Modi චිත්‍රපටයේ නිෂ්පාදකවරයකු වන සන්දීප් සිංග් පවසන්නේ, මෙය දේශපාලන සිනමා නිර්මාණයක් නොවන බවයි. එසේම මැතිවරණ නීති උල්ලංඝණය කර තිබේ නම් නඩු මඟට පිවිසෙන ලෙසත් ඔහු දන්වා සිටියි. "අපි මේ චිත්‍රපටය නිර්මාණය කළේ අපේ මුදල්වලින් වලින් මිස භාරතීය ජනතා පක්ෂයේ දායකත්වයකින් නොවෙයි. මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ, විරුද්ධ පක්ෂයේ සාමාජිකයන් බව අපි හො½දින් දන්නවා. මේ චිත්‍රපටයට මෙතරම් බිය ඔවුන් තම ජනතාවට කළ සේවය පිළිබඳ විශ්වාසයක් නොමැති වීමයි" සන්දීප් පවසනවා.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භකර තිබෙන්නේ, මේ වසරේ ජනවාරි මාසයේදීයි. අප්‍රේල් මාසයේදී තිරගත කිරීමට ඉතාම කෙටි කාලයකින් චිත්‍රපටය නිර්මාණය කිරීම ද බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තවත් කරුණක් විය. චිත්‍රපටය තුළ මෝදි චරිතය වීරත්වයෙන් දක්වා ඇති බවත් විචාරකයන් පෙන්වා දේ. මෝදි මහ ඇමති ධුරය හෙබවූ කාශ්මීර සටන් සමයේ 2002 වසරේදී මුස්ලිම් ජාතිකයන් දහසකට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් පියවරක් නොගැනීම සම්බන්ධයෙන් එකල චෝදනා රැසක් එල්ල වී තිබූ අතර මෙම සිදුවීම යටපත් වන අයුරින් දර්ශන පෙළක් මෙම චිත්‍රපටයට එක් කර ඇති බව විචාරකයන් පෙන්වා දේ. ඔවුන් පවසන්නේ, කාශ්මීරයේ රූගත කළ දර්ශන පෙළක් සමඟින් "ඉන්දියානුවන් ත්‍රස්ත බියට බිය නැහැ. ත්‍රස්ත බිය ඉන්දියානුවන්ට බිය යි" යන ප්‍රකාශය අතිශයෝක්තියක් බවයි. මාධ්‍යවේදීන් පිරිසක් අගමැති මෝදිගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු ද එය අතිශයෝක්තියක් බව පිළිගෙන තිබේ. එපමණක් නොව මෙම චිත්‍රපටයේ මෝදි චරිතය ගොඩනැංවීමට ඔහුගේ ජීවිතයේ අතීතයේ ඇතැම් සිදුවීම් පවා ප්‍රබන්ධ ලෙසින් වෙනස්කර ඇති බව විචාරක අදහස් අතර වේ.

PM Narendra Modi චිත්‍රපටයේ මෝදි චරිතයට පණ පොවන්නේ, බොලිවුඩ් නළු විවේක් ඔබ්රෝයි විසිනි. මීට පෙර එම චරිතයට බොලිවුඩ් නළු පරේෂ් රාවල්ගේ නමද යෝජනා වී තිබුණි.

භාර්ඛා බිෂ්ත්, බෝමන් ඉරානි, සරීනා වහාබ්, ප්‍රශාන්ත් නාරායන්, මනෝජ් ජෝෂි, අක්ෂාත් ආර්. සලූජා, ඉම්රාන් හස්නී ඇතුලු පිරිසක් ද මෙහි අංගනයෙන් දායක වී සිටිති. අනිරුද් චෞලා, හර්ෂ් ලිම්භාචියා සහ විවේක් ඔබ්රෝයි විසින් මෙහි දෙබස් රචනය කර ඇති අතර තිරරචනය ද විවේක් ගෙනි. නිෂ්පාදනය සුරේෂ් ඔබ්රෝයි, සන්දීප් සිංග්, ආනන්ද් පණ්ඩිත් සහ ආර්චනා මනීෂ් විසින් සිදුකර ඇත.

1950 වසරේ සැප්තැම්බර් මස 17 වැනිදා මුම්බායිහි වද්නගර්හිදී උපත ලද නරේන්ද්‍ර මෝදි වර්ණාසි නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර 2001 වසරේදී ගුජරාති ප්‍රනාත්යේ මහඇමති ධුරයට පත් විය. මෝදි ගාන්චි තෙලී (තෙල් හිඳීන්නන්ගේ) නම් කුලයේ ළමයින් 6 දෙනෙකුගෙන් යුතු පවුලක තෙවැන්නා විය. කුඩා කල වද්නගර් දුම්රිය පොළ අසල පියාගේ තේ කඩයේ අත්උදව්කරුවකු වූ මෝදි පසු කාලීනව වද්නගර් බස් රථ නැවතුම්පල අසල වැඩිමහල් සහෝදරයා සමඟින් තේ කඩයක් ආරම්භ කළේය. කුඩා වියේදී ඉතා අසීරු දිවියක් ගත කළ ද මෝදි පාසලේ දීප්තිමත් ශිෂයෙකු ලෙස කැපී පෙනුණි. ඔහු පාසල් විවාද කණ්ඩායමේ කැපී පෙනෙන කථිකයෙක් ද විය. වයස අවුරුදු 8දී රශ්ත්‍රිය ස්වයම්සේවක් සංග් නම් සංගමයට බැඳී කටයුතු කළ මෝදිගේ දේශපාලන ගමන ආරම්භ වූයේද එතැනිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.