විජේ සේතුපති කාන්තාවක කළ Super Deluxe

විශිෂ්ට සිනමා අත්දැකීමක්
අප්‍රේල් 11, 2019

ත්‍යාගරාජන් කුමාරරාජා විසින් අධ්‍යක්ෂණය කළ Super Deluxe  චිත්‍රපටය මාර්තු 29 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළේය. ස්ත්‍රී - පුරුෂ භාවය සහ සදාචාරය පිළිබඳ කතාබහට ගැනෙන චිත්‍රපටයක් ලෙසින් හැඳීන්වෙන එය බ්ලැක් කොමඩි ගණනයට ඇතුළත් කර ඇත.

Super Deluxe  චිත්‍රපටය කතා ත්‍රිත්වයකින් සමන්විත වූවකි. එහි වෙම්බු නම් විවාහක කාන්තාව සැමියා නිවෙසේ නොමැති අවස්ථාවක සිය පැරණි පෙම්වතා නිවෙසට ගෙන්වා ගනී. අසම්මත ඇසුරක් අතරතුර පෙම්වතා මරණයට ලක්වන අතර වෙම්බු සැමියා පැමිණි විගස සියල්ල පාපොච්චාරණය කරන්නීය. සිදු වූ අපරාධය සඟවා ගැනීමටත් සමාජය ඉදිරියේ ඇතිවන අපකීර්තියෙන් ගැලවීමටත් වෙම්බු සහ ඇයගේ සැමියා දරන උත්සාහය චිත්‍රපටයේ එක් කොටසකි. මේ අතර ජෝති සහ පවුලේ සාමාජිකයන් පෙර මඟ බලා සිටින්නේ, කලකට ඉහතදී පවුල අතහැර ගිය ජෝතිගේ සැමියා යළි පැමිණෙන තුරුය. ඔහු නැවත පැමිණෙන්නේ පිරිමියෙකු ලෙසින් ඉපිද ලිංගික විපර්යාසයකට බඳුන් වී ස්ත්‍රියක බවට පත් වූ ශිල්පා සමඟිනි. එහිදී ජෝති ඇතුළු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට මුහුණ දෙන අයුරුත් ශිල්පා මුහුණ දෙන විවිධාකාර කරදරත් චිත්‍රපටයේ තවත් කොටසකි. සූරි නම් තරුණයා තම මිතුරන් සමඟින් නිවසේදී අසභ්‍ය චිත්‍රපටයක් නැරඹීමට සූදානම් වේ. චිත්‍රපටය දිග හැරෙත්ම සූරි තුෂ්නිම්භූත වන්නේ එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලීලා නම් තම මව ලෙස හඳුනා ගැනීමෙනි. කෝපයට පත් ව ලීලා ඝාතනය කිරීමට තැත් කිරීමේදී සූරි අනතුරකට පත් වීම මෙහි තෙවැනි කොටස ලෙසින් දිග හැරේ. Super Deluxe චිත්‍රපටයේ අවසානය මෙම කතා ත්‍රිත්වය සිතාගත නොහැකි අයුරින් එකිනෙක ගැටීමයි.

මෙහි ලිංගික විපර්යාසයකට ලක් වී ස්ත්‍රියක බවට පත් වූ ශිල්පාගේ චරිතයට පණ පොවන්නේ දෙමළ සිනමාවේ ජනප්‍රිය නළුවකු වන විජේ සේතුපති විසිනි. දකුණු ඉන්දීය සිනමා තොරතුරු ගෙන එන්නේ සේතුපති විසින් මෙවැනි චරිතයට පණ පෙවීම රසික රසිකාවන්ගේ නොසතුටට හේතු වී තිබෙන බවයි. එසේම ලිංගික විපර්යාසයන්ට ලක් වූ මෙවැනි පුද්ගලයන්ගේ ඉහළ ප්‍රතිශතයක් ප්‍රජාවක් ඉන්දියාවේ වෙසෙන අතර ඔවුන් මෙම සිනමා නිර්මාණයට සිය විරෝධය පළකර ඇති බවත් වාර්තා වේ. වෘත්තියෙන් ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කළ සේතුපති පසු කාලීනව රංගනයට යොමු වූ අතර සාර්ථක චිත්‍රපට ගණනාවකම ප්‍රධාන චරිත නිරූපණය කළේය. ඔහු ප්‍රධාන චරිත නිරූපණය කළ බොහොමයක් චිත්‍රපට වාණිජ අතින් සාර්ථක වූවා මෙන්ම විචාරක අතින් ද ඉහළ පැසසුම් හිමි විය. මේ වන විට විජේ සේතුපති දෙමළ සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට තරුවක් බවට පත් වී සිටින අතර කොලිවුඩයේ අංක එකේ සිනමා තරුව රැජනිකාන්ත් ගෙන් සහ විජේ සහ අජිත් ගෙන් පසුව වයස් පරතරය වැඩි රසික ප්‍රජාවක ලබන්නට සමත් වී සිටියි.

වෙම්බුගේ සැමියා මුලිගන් ලෙසින් පණ පොවන්නේ, ෆාධා ෆසීල් විසිනි. වෙම්බු ලෙසින් සමන්තා අකීනි ද ජෝති ලෙසින් ගයාත්‍රි ද ලීලා ලෙසින් රම්‍යා ක්‍රිෂ්ණන් ද මෙහි චරිත නිරූපණය කරති. Super Deluxe චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඉන්දියාවේ විශිෂ්ට සංගීතවේදියෙක් වන ඉලෙයිරාජාගේ බාල පුතු යුවන් ශංකර් රාජා විසිනි.

ත්‍යාගරාජන් කුමාරරාජාගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන ඉභනඥප ච්ඥතභයඥ චිත්‍රපටය යහපත් විචාරක ප්‍රතිචාර ලැබුවද සෘණ ප්‍රතිචාරවලට වැඩි ප්‍රවණතාවක් දක්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එයි. මෙම චිත්‍රපටය අසම්මත සබඳකමක පැටලී සිටින කාන්තාවක ලෙස වෙම්බු දෙස සානුකම්පිතව බලන බව විචාරක අදහසයි. දෙමළ සිනමාවේ මෙවැනි සබඳකම් පවත්වන පුරුෂ පක්ෂය පෙන්නුම් කරන සිනමා නිර්මාණ බොහොමයක් නිර්මාණය කර තිබුණත් එම සිනමා නිර්මාණ ද ඔවුන් දෙස සානුකම්පිත බැල්මක් හෙළූ හාස්‍යමය ස්වරූපයෙන් නිර්මාණය වූ ඒවා බව ඔවුන් පෙන්වා දෙති. කෙසේ නමුත් ඉභනඥප ච්ඥතභයඥ චිත්‍රපටය මෙන් අසම්මත ඇසුරක පැටලී සිටින කාන්තාවක දෙස සානුකම්පිත වන සිනමා නිර්මාණ දෙමළ සිනමාවේ විරල බව විචාරක අදහසයි.

    

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.