සුපර් මෑන් අබිබවා ගිය යොවුන් සුපිරි වීරයා

අප්‍රේල් 11, 2019

කැප්ටන් මාවල් හෙවත් ශසාම් 1939 තරම් ඈත අතීතයේදී ඩීසී චිත්‍රකතා විසින් නිර්මාණය කරන ලද සුපිරිවීර චරිතයකි. 1940 දී මෙම චරිතය සුපර්මෑන් චරිතයද අබිබවා ජනප්‍රිය වූ බව කියවේ. 1941 වසරේදී මෙම චරිතය පාදක කොටගෙන කළු - සුදු චිත්‍රපට මාලාවක් නිර්මාණය වී ඇති අතර එදා මෙදාතුර ශසාම් පාදක කොට ගෙන නැවතත් සජීවී චිත්‍රපටයක් තිරගත වන්නේ වසර 78ට පසුවයි. ඩේවිඩ් එෆ්. සැන්ඩ්බර්ග් නම් ස්වීඩන් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ කතාව හෙන්රි ගේඩ්න් සහ ඩැරෙන් ලෙම්ක් විසින් රචනාකර ඇත. 16 හැවිරිදි යොවුන් නළු ඈෂර් ඒන්ජ්ල් සහ සැචරි ලෙවි ශෂාම්ගේ චරිතයට පණ පොවති.

බිලී බැට්සන් 14 හැවිරිදි දඟකාර දරුවෙකි. බිලීට එක් දිනෙක හමුවන ඉන්ද්‍රජාලිකයකුගෙන් වරයක් හිමි වෙයි. එනම් ඔහු ශසාම් යැයි පැවසූ විට ඕනෑම අවස්ථාවක සුපිරිවීරයකු වීමට ඇති හැකියාවයි. සිරුරෙන් වැඩිහිටි සුපිරි වීරයකු වුවද ශසාම් තුළ සිටින බිලී මනසින් තවමත් දඟකාර කොලුගැටයා ය. නොසිතූ විටෙක ලද බලයෙන් බිලී හොඳ හැටි සෙල්ලම් කරන්නේ මේ හේතුවෙනි. කෙසේ නමුත් බිලීට සිතූ පරිදි මේ බලය ක්‍රීඩාවේ යෙදවීමට නොහැකි වේ. ඒ ලොවට විනාශය ගෙන ඒමට තැත් කරන දොස්තර තඩස් සිවානාගෙන් ලෝකය බේරා ගැනීමේ වගකීම ශසාම් වෙත පැවරෙන බැවිනි. අප්‍රේල් 05 වැනිදා සිට අමෙරිකාව ඇතුළුව ලොවපුරා තිරගත වන Shazam ගෙන එන කතාව සැකෙවින් එසේ වේ.

අමෙරිකානු ඩොලර් මිලියන සියයක පමණ වියදමකින් නිර්මාණය කර ඇති Shazam දින තුනක් තුලදී අමෙරිකානු ඩොලර් මිලියන 158.8ක ආදායමක් වාර්තා කළේය. එය ධ්ර්ච්ඡ දර්ශකයේ ලකුණු 7.8/10 ක් ද මෙටාක්‍රිටික් අඩවියේ ලකුණු 73%ක් ද රොටන් ටොමැටෝස් හි 93%ක් ද ලෙසින් වාර්තාකර ඇත. Shazam ලද විචාරක අදහස් ඉතා ඉහල මට්ටමක පවතින බවද පැවසිය යුතුය. රොටෙන් ටොමැටෝස්හි ප්‍රමුඛ විචාරය පවසන්නේ ශසාම් චිත්‍රපටය මහන්සියකින් තොරව නැරඹිය හැකි හාස්‍ය සහ සංවේදීත්වය මුසු වූ සුපිරිවීර චිත්‍රපටයක නියම සත්‍ය බලය විදහා දක්වන බවයි. ඩීසී විශ්වයේ නිර්මිත හාස්‍යෝත්පාදන සහ රසබරම චිත්‍රපටය මෙය බව තවත් විචාරකයකු පවසන අතර ශසාම්හි අඳුර ද, භයංකර බව ද භූතාවේශය ද බරපතළ බව ද නොමැති වීමෙන් එය විනෝදයෙන් අනූන වූ සිනමා නිර්මාණයක් බව තවත් විචාරකයකුගේ අදහසයි.

  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.