භූතාත්මසමඟ එන Kanchana 3

මැයි 2, 2019

තෙළිඟු සිනමාවේ ජනප්‍රිය නළුවකු සංගීත අධ්‍යක්ෂවරයකු, පසුබිම් ගායකයකු, නර්තන ශිල්පියකු සේම අධ්‍යක්ෂවරයකු වන රාඝව ලෝරන්ස් විසින් අධ්‍යක්ෂණය කර 2007 වසරේදී තිරගත කළ Muni  දෙමළ චිත්‍රපටය ඉහළ ආදායම් තබමින් තිරගත කෙරුණා. Muni චිත්‍රපටය, චිත්‍රපට මාලාවක් බවට පත් වෙමින් Muni 2 : Kanchana (2011), Muni 3 : Kanchana 2 (2015)  චිත්‍රපට නිර්මාණය වීමට මඟ පෑදූයේ එම සාර්ථකත්වය යි. එම චිත්‍රපට ද එකිනෙකට නොදෙවෙනි ලෙසින් ආදායම් වාර්තා තැබීම මේ වන විට Muni චිත්‍රපටය, චිත්‍රපට මාලාවේ සිව්වැන්න දිග හැරීම දක්වා ඉදිරියට පැමිණ සිටී.

භූතාත්ම සමඟ බැඳුණු කතා පුවත් ගෙන එන මුනි චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයේ ගනේෂ් සිය බිරිය සමඟ ජීවත් වන නිවසේ මුනි නම් භූත ආත්මයක් ද සිටී. අතීතයේදී දුප්පත් කරුණාවන්ත පුද්ගලයකු වූ මුනි ඔහුගේ මිතුරකු වන දණ්ඩපානිගේ රැවටීමකට හසුවීමෙන් අනතුරුව ඔහුගේ දියණිය ද සමඟින් ඝාතනයට ලක් වේ. පසු කාලීනව ගනේෂ්හට මුනි ආවේශ වී ගනේෂ්, දණ්ඩපානි වෙතින් පළිගැනීමට සැරසීම එම චිත්‍රපටයෙන් දිග හැරුණි. දෙවැන්නේදී රාඝව නම් තරුණයාගේ සිරුරට කාංචනා නම් කාන්තාවගේ භූතාත්මයක් ඇතුළු වීම සමඟ ඇති සිදුවීම් මාලාවක් Muni 2 : Kanchana  චිත්‍රපටයෙන් දිග හැරේ. කාංචනා පිරිමි දරුවකු ලෙස ඉපදුණ ද හෝමෝන ආශ්‍රිත වෙනස් වීමක් නිසා කාන්තාවක් බවට පරිවර්තනය වූ අයෙකු වේ. කාංචනා තමන් ඝාතනය කළ අය කවුරුන්ද සොයා යන ගමන එහි ඇතුළත් වේ. රන්ජන් රාමනායක, පුබුදු චතුරංග ප්‍රධාන චරිත නිරූපණය කරමින් ඩොනල්ඩ් ජයන්ත අධ්‍යක්ෂණය කළ මායා චිත්‍රපටය නිර්මාණය කෙරුණේ ද Muni 2 : Kanchana  චිත්‍රපටය ඇසුරෙනි. Muni 3 : Kanchana  2 චිත්‍රපටය රූපවාහිනි නාලිකාවක සේවයේ නියුතු කැමරා ශිල්පියකු වන රාඝව සහ නන්දනි වටා ගෙතී ඇත. භූතාත්ම සිටින නිවෙසක් රූගත කිරීමක් සිදු කිරීමට සැරසෙන මේ දෙදෙනාට සත්‍ය ලෙසින්ම භූතාත්ම සැරිසරන නිවෙසක් හමුවීමත් ගංගා සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ වන එම භූතාත්ම අතීතයේදී තමන් ඝාතනයට වූ ආකාරය කියන කතාව Kanchana  2 හි ඇතුළත් වේ. පසුගිය අප්‍රේල් 19 වැනිදා සිට තිරගත කෙරෙන ක්‍රියාදාම, ත්‍රාසජනක සහ හාස්‍ය චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කළ Kanchana  3 මුනි චිත්‍රපට මාලාවේ සිව්වැන්න වේ. රාඝව ලෝරන්ස් විසින් තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ Kanchana  3 චිත්‍රපටයද භූතාත්ම වටා ගෙතුණු කතාපුවතකින් යුක්ත වේ. ධනවතෙකුගේ දියණියකගේ සිරුරට ඇතුළු වී සිටින භූතාත්ම දෙකක් පළවා හැරීමත් එම භූතාත්ම පසුව රාඝවහට හමුවීමත් සමඟ වන සිදුවීම් පෙළ Kanchana  3 ඔස්සේ රිදී තිරයේ දිග හැරේ.

මෙහි රාඝව ලෝරන්ස්, රාඝව සහ කාලි ලෙසින් ද්විත්ව චරිත නිරූපණය කරන අතර ඕවියා, විධිකා, කෝවායි සරළා, සූරි, කබීර් සිං, අනූපමා කුමාර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටියි. Kanchana  2 චිත්‍රපටය ද ආරම්භයට පෙර ගංගා ලෙසින් නම්වන බවට පුවත් පළවූවා සේම Kanchana  3 චිත්‍රපටය ද ආරම්භයේදී නාගා ලෙසින් නම් වන බවට පුවත් පළ විය. එසේම එහි ප්‍රධාන කාන්තා චරිතය කොලිවුඩයේ ජනප්‍රිය නිළි ජෝතිකා විසින් නිරූපණය කරන බවටත් පුවත් පළවිය. Kanchana  3 චිත්‍රපටයේ අවසානය මුනි චිත්‍රපට මාලාවේ පස්වැන්න, Kanchana  4 වැනි චිත්‍රපටයක් දක්වා දිවෙන බව කියනු ඇත.