දෙලොවක් අතර සටනක HELLBOY

මැයි 9, 2019

චිත්‍රකතා චරිතයක් වූ හෙල්බෝයි චරිතය 1993 වසරේදී නිර්මාණය කරන ලද්දේ අමෙරිකානු ජාතික රචකයකු වන මයික් මිගොන්ලා විසිනි. සිරුරෙන් අඩක් මනුෂ්‍ය අඩක් යක්ෂ ලෙසින් හෙල්බෝයි, සාරා නම් මනුෂ්‍ය මවකගේ කුසින් 1617 ඔක්තෝබර් 05 වැනිදා උපත ලබන්නේ ඇයගේ මරණ මංචකයේදීයි. සාරා මන්තරකාරියක වන අතර හෙල්බෝයිගේ පියා අපායේ නායකයකු වන ඇසෙල් වේ. මේ අතර අපායේ තවත් නායකයකු තම බලයෙන් ඇසෙල් අයිස් බවට පත් කිරීමට පෙර ඔහු සිය පුත්‍රයා මිනිස් ලොවට එවීමට කටයුතු යොදයි. මෙලෙසින් හෙල්බෝයි මනුෂ්‍ය ලොව වෙත පැමිණෙන්නේ නාසි හමුදා විසින් පැවැත්වෙන අභිරහස් පූජාවක් අතරතුරදීයි. දෙවැනි ලෝක යුද්ධය නිමාවත් සමඟ නාසීන් විසින් අද්භූත මානයක් විවර කරනු ලබන්නේ සිය සතුරන් වන එක්සත් ජනපද බලවේගයන් මර්දනය කිරීම වෙනුවෙනි. එහෙත් එයින් ලබාගත හැකි වන්නේ කුඩා යක්ෂ දරුවෙකි. යක්ෂ දරුවා එක්සත් ජනපද හමුදා අතට පත් වන අතර ඔහු හෙල්බෝයි (අපායේ කොල්ලා) ලෙස නම් ලබයි. මහාචාර්ය බෘටෙන්හෝම් යටතේ හැදී වැඩී වැඩිහිටියකු වන ඔහුට අඳුරු බලවේගවලින් අමෙරිකාව බේරා ගැනීමට අවස්ථාව උදා වේ. 2004 වසරේ තිරගත කෙරුණු Hellboy  චිත්‍රපටයේ කතා සාරාංශය මෙසේ විය.

2008 වසරේදී මෙහි දෙවැනි කොටස නිර්මාණය වූ අතර එහිදී හෙල්බෝයිහට මුහුණදීමට සිදුවන්නේ, පාතාලයේ කුමරු ලෙසින් නම් දැරූ තවත් බලවත් සතුරකුටයි. බෙත්මූරා රාජවංශයේ ඔටුන්න හිමි නුවාඩා කුමරු මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නේ මනුෂ්‍ය ලොව තිබෙන ඔවුන්ට හිමි ඔටුන්නේ ඉතිරි කොටස ලබා ගැනීම වෙනුවෙන්. එම කොටස ලබා සම්පූර්ණ කළ ඔටුන්න අතැතිව රන් හමුදාව අවදි කරවා ලෝකයේ බලය ලබා ගැනීමට නුවාඩා දරන උපක්‍රමයට එරෙහිව හෙල්බෝයිගේ මෙහෙයුම 2008 වසරේදීHellboy II: The Golden Army නමින් රිදී තිරයේ දිග හැරුණි. වසර 11ට පසුව පසුගිය අප්‍රේල් 12 වැනිදා Hellboy නමින් තවත් චිත්‍රපටයක් තිරගත කිරීම ආරම්භ වූයේ හෙල්බෝයි පළමු සහ දෙවන චිත්‍රපටවල දිගුවක් ලෙසිනි. අද්භූත සහ මනුෂ්‍ය ලෝක අතරට මැදිවන හෙල්බෝයි අතීතයේ මන්ත්‍රකාරී බලවේගයන්ට විරුද්ධව ගෙන යන සටන මෙම චිත්‍රපටයෙන් ගෙනහැර දැක්වේ. නීල් මාර්ෂල් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි තිරරචනය කර තිබෙන්නේ ඇන්ඩෘ කොස්බි විසිනි. ඩේවිඩ් හාර්බර් විසින් හෙල්බෝයිගේ චරිතයට පණ පොවන අතර මිලා ජොවොවිච්, ඉයන් මැක්ෂේන්, ශාෂා ලේන්, ඩැනියෙල් ඩේ කිම්, තෝමස් හේඩ්න් චර්ච් ඇතුළු පිරිසක් ද රංගනයෙන් දායක වී සිටියි. IMDb දර්ශකයේ 5.4/10ක ලකුණු ප්‍රමාණයක් ලබා සිටින Hellboy චිත්‍රපටය රොටෙන් ටොමැටෝස් අඩවියේ විචාරක අවධානය ලබා ගෙන තිබෙන්නේ 14%ක් ලෙසිනි. මුල් චිත්‍රපට ද්විත්වය ඉතා ආකර්ෂණීය වුවද මෙම චිත්‍රපටය එම චිත්‍රපටයන්හි ඇති ආත්මීය බවෙන් ඉවත් වී ඇති බව රොටෙන් ටොමැටෝස් ප්‍රමුඛ විචාරය පවසා සිටී. තවද හෙල්බෝයි චිත්‍රපට මාලාව නැවත ආරම්භ නොකෙරුණේ නම් හොඳය වැනි වූ ප්‍රතිචාර ද විචාරක අදහස් තුළින් මතු වී ඇත.

  

 

Add new comment