බොලිවුඩයට ත්‍රස්ත කල්ලියක්

මැයි 16, 2019

ත්‍රස්තවාදය යනු මේ දිනවල ලොව සෑම රටකම පාහේ අවධානයට ලක් වී ඇති මාතෘකාවකි. පසුගියදා සිදු වූ ප්‍රහාර මාලාවක් සමඟ අපේ රට තුළද ඇති වූයේ අර්බුදකාරි තත්ත්වයකි. අයිඑස්අයිඑස්, නයිජීරියාවේ බොකෝ හරාම්, තලෙයිබාන්, අල් කයිඩා, අයිරිෂ් ත්‍රස්තවාදීන් කතාබහට ලක් වූ ලොව ප්‍රධාන පෙළේ ත්‍රස්ත කණ්ඩායම් කිහිපයකි. මේ අතර බොලිවුඩයේත් ත්‍රස්ත කල්ලියක් පසුපස හඹා යන මෙහෙයුමක් ක්‍රියාතමකයි.

හනීෆ් ඇතුළු ත්‍රස්ත කල්ලියේ අරමුණ මුම්බායි නගරය තුළ බෝම්බ පිපිරීම් 24ක් සිදු කිරීමයි. මෙම දරුණු අපරාධයට පැමිණෙන අතරතුර සිදුවන අනතුරකින් පසු හනීෆ් නම් ත්‍රස්ත සාමාජිකයා රෝහල්ගත කෙරේ. සිරුරට සවි කරන ලද මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය දුටු රෝහල් බලධාරින් විසින් ත්‍රස්ත මර්දන ඒකකය දැනුම්වත් කෙරෙන අතර පරීක්ෂණ කටයුතු ඇරඹේ. ත්‍රස්ත කල්ලියක අභිලාෂය ලෝක සම්මුතීන්, අණ පනත් පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව තම අරමුණ ඉෂ්ට කර ගැනීමයි. තමා පැමිණියේ කුමන අරමුණක් ඇතිවද යන්න පිළිබඳ හනීෆ් හට අවබෝධයක් නැත. මන්දයත් මේ වන විට ඔහුට සියල්ල අමතක වී ගොසිනි. තවත් බෝම්බකරුවන් 23 දෙනෙකු නිදැල්ලේ ය. ඉදිරියේදී මුම්බායි නගරය තුළ කුමක් සිදුවනු ඇති ද?

Blank හින්දි ක්‍රියාදාම චිත්‍රපටය පවසන්නේ එය යි. සනී ඩියෝල්, කරන් කපාඩියා, කරන්වීර් ශර්මා, ඉෂිතා දත්තා, ජමීල් ඛාන් ඇතුළු පිරිසකගේ රංගනයෙන් ඔපවත් වන Blank චිත්‍රපටය භෙසාද් කම්භාටාගේ කුලුඳුල් අධ්‍යක්ෂණයයි. සනී ඩියෝල් දේවන් නමින් ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරියකුගේ චරිතයට පණ පොවන අතර අක්ෂේ කුමාර් මෙහි "ඒතඪ ඒතඪ" නම් ගීතයට සිය රංගන දායකත්වය ලබා දී ඇත. Blank චිත්‍රපටයේ හනීෆ්ගේ චරිතයට පණ පොවන කරන් කපාඩියාගේ ද කුලුඳුල් රංගනය මෙය වන අතර ඔහු ජනප්‍රිය බොලිවුඩ් නිළි ඩිම්පල් කපාඩියාගේ සහෝදරිය මෙන්ම නිළියක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක වූ සිම්පල් කපාඩියාගේ පුත්‍රයා යි. "ඒතඪ ඒතඪ" නම් ගීතයේ අක්ෂේ සමඟින් කරන් ද රංගනයෙන් දායක වේ. චිත්‍රපටයේ එක් රූගත කිරීමක් වෙනුවෙන් කරන්ගේ දෑතට මාංචු දමා තිබූ අතර එහි යතුර සොයා ගත නොහැකිව රූගත කිරීමෙන් පසුවත් පැය දෙකක් පුරා ඔහුට මාංචු දමාගෙන සිටින්න සිදු වී තිබේ. එසේම මෙහි හුස්නා නම් චරිතයට පණ පොවන්නේ පසුගිය කාලයේ මී-ටු සමඟ කතාබහට ලක් වූ තනූශ්‍රී දත්තාගේ බාල නැගණිය ඉෂිතා දත්තා යි.