ඇලඩින්ගේ පුදුම පහන

මැයි 23, 2019

එක්දහස් එක් රැය යනු අරාබි, පර්සියානු, ඉන්දියානු, ග්‍රීක, යුදෙව් සහ තුර්කි සම්භවයක් ඇති ලෝ ප්‍රකට වසර දහස් ගණනක් පැරණි ජනකතා සමූහයක එකතුවකි. ඉර උදා වූ පසු තමා මරණයට පත් කිරීමට බලා සිටින පර්සියානු රජෙකුගෙන් බේරීම සඳහා ඔහුගේ බිරිය රාත්‍රීන් දහසක්‌ තිස්‌සේ කියන ලද කතා මාලාවක්‌ සේ සැලකෙන එක්දහස් එක් රැය, 18 වන සියවසේ මුලින්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී ඇති අතර මෙම ජනකතා මාලාව එදා මෙදා තුර නාට්‍ය, චිත්‍රපට, ටෙලි නිර්මාණවලටද පාදක වී තිබේ. එක්දහස් එක් රැය අරාබි ජන කතා මාලාවේ එක් කොටසක් වන ඇලඩින්ගේ පුදුම පහන මෙම කෘතියේ එන අතිශය ජනප්‍රිය කතාවකි.

ඇලඩින්ගේ පුදුම පහන කතාවේ ඇලඩින් චරිතය පළමු වරට කාටූන චිත්‍රපටයකට නැඟී ඇත්තේ වසර 1926 තරම් ඈත කාලයක දී වන අතර ඇලඩින්ගේ කතාව 1936, 1959, 1970, 1982, 1992 වසරවලදී කාටුන් චිත්‍රපට තුළ ප්‍රතිනිර්මාණය විය. ඇලඩින් සහ පුදුම පහන කතාව ප්‍රථමවරට සජීවි චිත්‍රපටයක් ලෙසින් තිරගත වූයේ 1977 වර්ෂයේදීය. අනතුරුව සජීවි චිත්‍රපට 16ක් ප්‍රතිනිර්මාණය වී ඇති අතර 2018 ජුලි මස තිරගත කෙරුණු සුමිත් කුමාර අධ්‍යක්ෂණය කළ ඇලඩින් සහ පුදුම පහන සිංහල චිත්‍රපටය මෙම ලැයිස්තුවේ 16 වැනි චිත්‍රපටය යි.

ඇලඩින් සහ පුදුම පහන කතාව ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට අතර 1992 වසරේ වෝල්ට් ඩිස්නි විසින් නිර්මාණය කළ  Aladdin චිත්‍රපටයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි විය. අමෙරිකානු ඩොලර් මිලියන 28ක පිරිවැයකින් නිර්මාණය කෙරුණු එම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 504ක ඉහළ අදායමක් වාර්තා කළේය. එපමණක් නොව එම චිත්‍රපටය ලද ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර IMDb දර්ශකයේ 8/10ක් සහ රොටන් ටොමැටෝස් වෙබ් අඩවියේ 94%ක් ද ලෙස සටහන් විය. එම පරිගණක සජීවිකරණ Aladdin  චිත්‍රපටය සජීවි චිත්‍රපටයක් ලෙස ප්‍රතිනිර්මාණය කරන බවට ඩිස්නි විසින් මුලින්ම නිවේදනය කරන ලද්දේ 2016 වසරේදී ඔක්තෝබර් මාසයේදීයි. මෙම ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් අනුව නිර්මාණය කෙරුණු ඇලඩින් සිජීවි සංගීතමය චිත්‍රපටය හෙට (මැයි 24) සිට ලොවපුරා තිරගත වීමට නියමිතව ඇත.

ගතානුගතික ඇලඩින් කතාවෙන් තරමක් වෙනස් වන ලෙස මෙම චිත්‍රපටයේ කතාව දිග හැරෙන බව කියවේ. එයට අනුව ඇලඩින් වීදි ජීවිතයක් ගත කරන තරුණයෙකි. ඔහුට සිටින එකම මිතුරා අබු නම් රිලවා ය. අග්‍රාහි කුමරිය ජස්මින් සමඟ ඇලඩින් ප්‍රේමයෙන් බැදී සිටින අතර ජස්මින් කුමරියගේ පියා විසින් ඇය රජ කුමරෙකුට සරණ පාවාදීමට සැරසේ. ඇලඩින්හට ජස්මින් කුමරිය දිනා ගැනීමට අවස්ථාවක් සැලසෙන්නේ භූතයකු සිටින පහනක් හමුවීම සමඟය. නමුත් මෙම පහන සහ එහි සිටින භූතයා තමා සතු කරගැනීමට වෙහෙසෙන නපුරු ජෆාර්ගෙන් පහන රැක ගැනීම ඇලඩින් වෙත එල්ල වන අභියෝගය යි.

මෙම ඇලඩින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ King Arthur: Legend of the Sword (2017), Sherlock Holmes (2009), Revolver (2005)  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය ජාතික ගයි රිචී විසින්. මෙහි පහනේ භූතයාගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු විල් ස්මිත් ය. ඊජිප්තියානු අරාබි සම්භවයක් ඇති මෙනා මසූද් ඇලඩින්ගේ චරිතයටත් නියෝමි ස්කොට් ජස්මින් කුමරියගේ චරිතයටත් පණ පොවති. 1992 වසරේ තිරගත කෙරුණු චිත්‍රපටයේ ඒ Whole New World ගීතය මෙම චිත්‍රපටයේ ද එලෙසින්ම අන්තර්ගත වී ඇති බව කියවේ. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, 1992 වසරේ ඇලඩින් චිත්‍රපටය මෙන්ම ඩිස්නි චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂණය කළ ඇලන් මෙන්කන් විසිනි.

    

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.