දැවැන්ත ගොඩ්සිලා නැවතත්

Godzilla: King of the Monsters
මැයි 30, 2019

1954 තරම් අතීතයේ ඇරඹි ගොඩ්සිලා චිත්‍රපට මාලාව ලොව පුරා සිනමා ප්‍රේක්ෂක කාහටත් අලුත් දෙයක් නොවන්නකි. 1954 වසරේ සිට ගොඩ්සිලා නම් මේ දැවැන්තයාගේ චිත්‍රපට 35ක් තිරගත වී ඇති අතර එයින් 32ක් නිර්මාණය කර තිබෙන්නේ ගොඩ්සිලා චරිතයට අයිතිවාසිකම් කියන්නා වූ ජපන් චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වන Toho විසිනි. අනෙකුත් චිත්‍රපට ත්‍රිත්වය පූර්ණ හොලිවුඩ් නිර්මාණ වේ. ගොඩ්සිලා චිත්‍රපට මාලාව ලොව දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉදිරියට ගලා ආ චිත්‍රපට මාලාවක් ලෙස ගිනස් වාර්තා පොතට ද ඇතුළත් වී තිබේ. ගොඩ්සිලා චිත්‍රපට මාලාවට මඟ පෑදි තිබෙන්නේ, දෙවැනි ලෝක යුද සමයේදී ජපානය න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරවලට ලක්වීමෙන් පසු එම තත්ත්වය සම්බන්ධ කරගනිමින් සිනමා නිර්මාණ කිරීමට ජපන් නිර්මාණකරුවන්ට පහළ වූ අදහසක් අනුව වේ.

1998 සහ 2014 වසරවලදී පිළිවෙළින් පළමු සහ දෙවැනි හොලිවුඩ් ගොඩ්සිලා චිත්‍රපට තිරගත කෙරුණු අතර පළමුවැන්නේ එන පරිදි මෙම ගොඩ්සිලා ඉගුවානා නමින් හැඳීන්වෙන මුහුදු උරගයා න්‍යෂ්ටික විකිරණවලට නිරාවරණය වීමෙන් නිර්මාණය වූවෙකි. හොලිවුඩ් ගොඩ්සිලා චිත්‍රපට මාලාවේ තෙවැන්න Godzilla: King of the Monsters හෙට (මැයි 31) සිට ලොව පුරා තිරගත වීමට නියමිතව ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 200ක අති විශාල පිරිවැයක් දරමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ අමෙරිකානු ජාතික අධ්‍යක්ෂ මයිකල් ඩොගර්ති විසිනි. Trick'r Treat, Krampus  චිත්‍රපට මයිකල්ගේ අධ්‍යක්ෂණයන් වේ.

මෙහි එන පරිදි මොනාක් නම් අද්භූත සත්ත්වයින් ගැන ගවේෂණය කරන ආයතනයකට නොසිතූ විරූ අභියෝගයකට මුහුණදීමට සිදු වේ. එනම් මිථ්‍යාවක් ලෙස එතෙක් කාලයක් පිළිගැනුණු මොත්‍රා, රෝධන් ඇතුළු අති දැවැන්ත බිහිසුණු සත්ත්වයින් පොළොවෙන් උඩට මතු වී පෘථිවිය නැවතත් සිය අණසක යටතට පත්කර ගැනීමට උත්සාහ කිරීමයි. හිස් තුනක් ඇති ගිධෝරා රජු ලෙස හැඳීන්වෙන දැවැන්ත සත්ත්වයා මේ කණ්ඩායමේ නායකයා වන අතර මනුෂ්‍ය සංහතියේ එකම බලාපොරොත්තුව වන්නේ ගොඩ්සිලාගේ උපකාර ඇතිව මෙම සත්ත්වයින් මර්දනය කිරීමයි.

Godzilla: King of the Monsters චිත්‍රපටයේ කයිල් චැන්ඩ්ලර්, වෙරා ෆර්මිගා, මිලී බොබී බ්‍රවුන්, බ්‍රැඩ්ලි විට්ෆෝඩ්, සැලී හෝකිනිස්, චාර්ල්ස් ඩාන්ස්, තෝමස් මිඩෙල්ඩිච් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. අමෙරිකානු චිත්‍රපට සංගමය විසින් මෙම චිත්‍රපටය PG  13 ගණයට අයත් ලෙස වර්ගීකරණයට ලක්කර ඇති අතර ඒ අනුව වයස අවුරුදු 13ට අඩු වූවන්හට නුසුදුසු රූපරාමු ඇතුළත් බව අවධාරණය කර සිටී. දැවැන්ත අද්භූත සත්ත්වයින් ගහණ චිත්‍රපටයක් වන Godzilla: King of the Monsters තුළ ප්‍රචණ්ඩත්වය සහ විනාශය දක්වන රූපරාමු සහ අසැබි වචන ද යෙදී ඇති බවද සඳහන් වේ.

  

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.