ආදරය සොයා යන නාග කන්‍යාවකගේ කතාව NEEYA 2

ජුනි 6, 2019

නාග කන්‍යාවන් තේමා කරගත් සිනමාපට ඉන්දීය සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් ඉහළ ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සමත් වී ඇති බව පෙනේ. 1986 වසරේදී ශ්‍රී දේවි සහ රිෂී කපූර් ප්‍රධාන චරිත රඟ පෑ Nagina  චිත්‍රපටය ඒ අතරේ කැපී පෙනෙන්නේ එම වසරේ දෙවැනි ස්ථානයට ඉහළම ආදායම් ලද ඉන්දීය සිනමාපටය බවට පත් වෙමින්.

අනතුරුව එහි දෙවැන්න ලෙස Nigahen: Nagina Part II((1989) චිත්‍රපටය නිර්මාණය කෙරිණි. තවද රීනා රෝයි රංගනයෙන් දායක වූ Nagin  (1976), මීනක්ෂි ශේෂාද්‍රි රංගනයෙන් දායක වූ Nache Nagin Gali Gali  (1989), රේඛාගේ රංගනයෙන් හැඩ වූ Sheshnaag (1990), මනීෂා කොයිරාල රඟපෑ Ek Anokhi Kahani  (2002) නාග කන්‍යා චරිත තේමා කරගත් තවත් එවැනි සිනමා නිර්මාණ කිහිපයක්.

මේ දිනවල ඉන්දීය සිනමාවට තවත් නාග කන්‍යාවක් පැමිණ සිටින්නේ, දෙමළ සිනමා නිර්මාණයක් වනNeeya 2 චිත්‍රපටය සමඟිනි. ත්‍රාසය සමඟ ප්‍රේමණීය කතා පුවතක් ගෙන එන එල්. සුරේෂ් අධ්‍යක්ෂණය කළ එය 1979 වසරේ තිරගත කෙරුණු Neeya? දෙමළ චිත්‍රපටයේ දෙවැන්න ලෙස නිර්මාණය කර තිබේ. එය රීනා රෝයි නාග කන්‍යාවක ලෙසින් චරිත නිරූපණය කළ Nagin චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.

Nagin චිත්‍රපටය, අමෙරිකානු ලේඛක කොර්නල් වොල්රිච් විසින් රචිත The Bride Wore Black කෘතිය පාදක කොට ගනිමින් එම නමින් තැනුණු ප්‍රංශ චිත්‍රපටය (1968) ඇසුරෙන් නිර්මාණය වූවකි. මංගල දිනයේදී තම සැමියා ඝාතනයට ලක් වීමෙන් අනතුරුව ඝාතකයන් හඹා යන බිරියකගේ කතාවක් එහි ඇතුළත් වේ.

කමල් හසන් ශ්‍රීප්‍රියා ප්‍රධාන චරිත නිරූපණය කළ Neeya?  චිත්‍රපටයට ද පාදක වී තිබෙන්නේ තම සැමියාගේ ඝාතකයන් ලුහුබඳීමින් ඔවුන්ගෙන් පළිගන්නා නාග කතක පිළිබඳ කතා පුවතකි. Neeya 2  චිත්‍රපටය Neeya?  චිත්‍රපටයේ දෙවැන්න ලෙස දිග හැරෙන්නේ සර්වා නම් තරුණයා වටා ගෙතුණු කතාපුවත් සමඟිනි.

ජ්‍යෝතීර්වේදීන් විසින් පෙන්වා දී තිබූ අපල නොතකා දිව්‍යා නම් තරුණිය විවාහ කරගන්නා සර්වා, මලර් නම් රූපය වෙනස් කළ හැකි නාග කන්‍යාවකගේ බලපෑමට හසු වන අයුරු එහි දැක්වේ.

කොලිවුඩ් සිනමා නළු ජායි මෙහි සර්වා සහ වික්‍රම් ලෙස ද්විත්ව චරිත නිරූපණය කරන අතර රායි ලක්ෂ්මි මලර් ලෙසත් කැතරින් ට්‍රේෂා දිව්‍යා ලෙසත් චරිත නිරූපණය කරති. වරලක්ෂ්මි සරත්කුමාර් නාග කන්‍යාවක වන දේවි ලෙසින් Neeya 2  චිත්‍රපටයේ විශේෂ දර්ශනයකට දායක වී ඇත.

Add new comment