සුපිරිවීර චිත්‍රපටවලට හැරවුම් ලක්ෂ්‍යයක්

Brightburn
ජුනි 13, 2019

පිටසක්වළින් පැමිණෙන යානාවක් ගම්බද පෙදෙසකට ඇද වැටේ. තරුණ අඹු සැමි යුවළකගේ අවධානය මේ සිදුවීම පිළිබඳ යොමු වන අතර එය තුළ සිට ඔවුනට හමු වන්නේ ළදරුවෙකි. නොසිතූ අවස්ථාවක දෙවියන් විසින් දෙන ලද ත්‍යාගයක් සේ සලකා ඔවුහු එම දරුවා ආදරයෙන් රැකබලා ගනිති. දරුවා ක්‍රම ක්‍රමයෙන් වැඩෙන විට ඔහුට අසාමාන්‍ය ශක්තීන් පිහිටා ඇති බව එම යුවළට අවබෝධ වේ.

මෙය ඔබ මීට පෙර අසා ඇති කතාවක් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. ඩීසි චිත්‍රකතා විසින් නිර්මාණය කෙරුණු අසහාය වීර චරිතය වන සුපර් මෑන්ගේ කතාවත් මෙය නොවේ ද? සුපර් මෑන් යනු තමන් සතු එම අසහාය ශක්තිය මනුෂ්‍ය සංහතියේ උන්නතිය වෙනුවෙන් යොදවන සුපිරි වීරයෙකි. නමුත් අසාමාන්‍ය ශක්තීන් හිමි මෙම දරුවා තම ශක්තිය ආශිර්වාදයක් ලෙස නොව ශාපයක් ලෙසින් මානව සංහතියේ උන්නතියට නොව විනාශය උදෙසා යොදවන්නේ නම් තත්ත්වය කෙසේ වේවි ද?

ඩේවිඩ් යොරොවෙස්කි විසින් අධ්‍යක්ෂණය කළ ජේම්ස් ගන් හා කෙනීත් හන්ග් විසින් නිෂ්පාදනය කළ පසුගිය මැයි 24 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරෙන  Brightburn මෙවැනි තේමාවක් රැගත් චිත්‍රපටයකි. සුපිරිවීර චරිත සම්ප්‍රදායේ පෙරළියක් ලෙස ගැනෙන මෙම චිත්‍රපටය නිෂ්පාදක ජේම්ස් ගන්ගේ සොයුරු බ්‍රයන් ගන් සහ ඥාති සොයුරු මාර්ක් ගන්ගේ තිරරචනයකින් නිර්මාණය වී ඇත. එළිසබෙත් බෑන්ක්, ඩේවිඩ් ඩෙන්මන්, ඩැක්සන් ඒ. ඩුන්, මැට් ජෝන්ස් ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙන මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 12ක පිරිවැයකින් නිම වී ඇත. එය මේ වන විට වාර්තා කර ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 26කි.

IMDb  දර්ශකයේ ලකුණු 6.5/10ක් පෙන්නුම් කරන  Brightburn  පිළිබඳ රොට්න් ටොමැටෝස් අඩවියේ ප්‍රමුඛ විචාරය පවසන්නේ, පොරොන්දු වූ තරමටම අඳුරක් මෙම චිත්‍රපටය නොපෙන්වන නමුත් ප්‍රකාශ වුණු සුපිරිවීර චිත්‍රපටයන්හි හැරවුම් ලක්ෂයක් වන බවයි. චිකාගෝ රීඩර්හි ඇන්ඩ්‍රියා ග්‍රොන්වාල් පවසන්නේ සුපිරිවීර චිත්‍රපට කන්දකින් හෙම්බත්ව සිටින ප්‍රේක්ෂකයන්ට මෙය අස්වැසිල්ලක් වනු ඇති බවයි. රොජර් ඊබට්හි විචාරක සයිමන් ඒබ්‍රම්ස්ට අනුව මෙය ප්‍රචණ්ඩත්වය සහ කැපීම් කෙටීම්, ලේ වැගිරීම් බහුල සාර්ථකත්වයෙන් දුරස් වූ සිනමා නිර්මාණයකි.

   

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.