සංගීතමය ආදර කතාව 99 Songs

ජුනි 20, 2019

රහ්මාන්ගේ ජීවිත කතාව ද?

ඒ. ආර් රහ්මාන් වර්තමානයේ ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා රසික රසිකාවන්ගේ ආදරයට පාත්‍ර වූ ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙකි. එකවර ඔස්කාර් සම්මාන දෙකකට හිමිකම් කී ඔහු සම්බන්ධයෙන් පසුගිය කාලයේ අසන්නට ලැබුණේ සිනමා ක්ෂේත්‍රයේ තවත් අංශයකට යොමු වීම පිළිබඳ පුවතකි. එනම් ඒ. ආර්. රහ්මාන් තිරරචනයට සහ නිෂ්පාදනයට පිවිසීම පිළිබඳව ගෙන ආ පුවතයි. හෙට (ජුනි 21) සිට තිරගත කිරීමට නියමිත 99 Songs චිත්‍රපටය සමඟින් ඒ. ආර්. රහ්මාන් තිරරචනයට සහ නිෂ්පාදනයට පිවිස සිටියි. එහි සංගීත අධ්‍යක්ෂණය පමණක් නොව තිරරචනය සහ සම නිෂ්පාදනය කර තිබෙන්නේ ඒ. ආර් රහ්මාන් විසිනි. 99 Songs ප්‍රේමණීය සංගීතමය හින්දි චිත්‍රපටයකි. විශ්වෙශ් ක්‍රිෂ්ණමූර්තිගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන 99 Songs  චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ එහාන් භාත් සහ ඊඩ්ල්සි වර්ගාස් විසිනි. මෙය එහාන්ගේ කුලුඳුල් සිනමා රංගනයයි. ඊට අමතරව මනීෂා කොයිරාල සමඟින් ජනප්‍රිය නිරූපණ ශිල්පියකු, නළුවකු මෙන්ම සටන් ශිල්පියකු වන ආදිත්‍ය සෙල්, දීපා මෙහ්තාගේ එචබඥප චිත්‍රපටයේ කල්‍යාණිගේ චරිතයට පණ පෙවූ ලීසා රේ, සංගීත ශිල්පීන් වන තොම්සන් ඇන්ඩ්‍රිව්ස්, රාහුල් රාම් ඇතුළු පිරිසක් ද 99 Songs

චිත්‍රපටයට දායක වී ඇත. ශ්‍රෙයා ගෝෂාල්, අර්ජිත් සිං, අර්මාන් මලික් ගීත ගායනයට දායක වී තිබේ. 99 Songs චිත්‍රපටය හින්දි බසට අමතරව දෙමළ සහ තෙලිඟු භාෂාවලින්ද නිකුත් කිරීමට නියමිතය. සාර්ථක සංගීතඥයකු වීමට සිහින මැවූ අයෙකුගේ සංවේදී කතා පුවතක් එහි ඇතුළත් වේ. ලෝක අවධානය දිනා ගත් ඉන්දීය කලාකරුවන් අතර පෙරමුණේ පසුවන ඒ. ආර්. රහ්මාන් ද සුවපහසු මාවතක් ඔස්සේ සංගීත ක්ෂේත්‍රයේ ඉහළට පැමිණි අයෙකු නොවේ. අල්ලාරක්ඛා රහ්මාන් හෙවත් ඒ. ආර්. රහ්මාන් උපතින් හින්දු භක්තිකයෙකි. දිලීප් කුමාර් නම් වූ ඔහු වයස අවුරුදු 20දී ඉස්ලාම් ආගම වැලඳ ගන්නේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ හැලහැප්පීම් හේතුවෙනි. පියානෝ වාදනයට අත්පොත් තැබූයේ වයස අවුරුදු 4දීය. රහ්මාන්හට අවුරුදු 9ක් වන විට සිදු වූ පියාගේ හදිසි වියෝව හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්හට අසීරු කාලයක් උදා විය. වයස අවුරුදු 11 වන විට ඔහු සිය සංගීත හැකියාව පවුලේ අභිවෘද්ධිය උදෙසා යෙදවීමට තීරණය කළ අතර පියාගේ හිතවතෙකු වූ ධන්රාජ් මාස්ටර්ගේ සංගීත කණ්ඩායමට එක් වී කටයුතු කරන්නට විය. පසුව විශ්වනාදන්, ඉලෙයිරාජා වැනි සංගීතඥයන් සමඟින්ද කටයුතු කරන අතරතුර ලන්ඩන් ට්‍රිනිටි විද්‍යාලයට ලද ශිෂ්‍යත්වය ඔහුගේ සංගීත දිවියේ සුවිශේෂ කඩඉමකි.

සංගීත ක්ෂේත්‍රය තුළ රහ්මාන් ඔස්කාර් සම්මාන ද්විත්වයට අමතරව බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන, ගෝල්ඩන් ග්ලෝබ්, ග්‍රැමී, ඉන්දීය ජාතික සම්මාන, ෆිල්ම්ෆෙයාර් ඇතුළුව සම්මාන රැසකින් පිදුම් ලැබූවෙකි. ප්‍රවීණ ඉන්දීය සිනමාකරුවකු වන මනිරත්නම්ගේ අධණච චිත්‍රපටයෙන් සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිසි ඔහු Bombay, Rang eela,, Dil Se.., Taal, Lagaan, Ghajini වැනි ජනප්‍රිය සිනමා නිර්මාණ රැසක සංගීත අධ්‍යක්ෂවරයා විය. වරෙක සංගීත අධ්‍යක්ෂණයක් හේතුවෙන් රහ්මාන්හට ෆත්වා මරණ වරෙන්තු නිකුත් විය. මජීඩ් මජිඩ් විසින් අධ්‍යක්ෂණය කළ ඉස්ලාමීය වීර චිත්‍රපටයක් වන Muhammad : The Messenger of God (2015) හි සංගීත අධ්‍යක්ෂණය කරන ලද්දේ ඔහු විසිනි. එම චිත්‍රපටයෙන් මුහම්මද්තුමාට අපහාස කෙරෙන බවට චෝදනා නඟමින් ඉන්දියාවේ ක්‍රියාකාරී මුස්ලිම් කණ්ඩායමක් වන රාසා ඇකඩමි විසින් මජීඩ් සහ රහ්මාන්ට ෆත්වා මරණ වරෙන්තු නිකුත් කෙරිණි. සංගීත ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් පැමිණි රහ්මාන් තිරරචනයට සහ නිෂ්පාදනයට පිවිසියා සේම නුදුරේදී චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් ද හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. කෙසේ නමුත් 99 Songs  චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ තම සැබෑ ජීවිත කතාවද යන්න රහ්මාන් තවමත් තහවුරු කර නොමැත.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.