අති විශිෂ්ට සිනමා අත්දැකීමක් හද කම්පා කරවන

ජූලි 4, 2019

බොලිවුඩ් සිනමාවේ මෑත කාලීන සිනමා නිර්මාණ අතරේ සමාජ විෂමතා පිළිබද කතාබහට ගැනෙන අයුරින් වූ චිත්‍රපට බොහොමයක් හඳුනා ගත හැකි වේ. සමාජය තුළ වැඩි අවධානයක් නොවූ මාතෘකා සේම බොහෝ දෙනෙකු සැඟවීමට තැත් දරන දේ පිළිබඳවද සමාජ කතිකාවත් ඇති කිරීමේ අරමුණැතිව එම සිනමා නිර්මාණ අති සාර්ථක අයුරින් තිරගත කෙරුණු අයුරුද දැකගත හැකි විය.

දකුණු ආසියාවේ ප්‍රබලම රටක් ලෙසින් පිළිගැනුණ ද අතීතයේ සිට ඉන්දීය සමාජය දෙස බැලීමේදී ආගම, කුලය, ස්ත්‍රී - පුරුෂ භාවය වැනි මාතෘකා සමඟ සමාජයේ ඇතිවන බෙදීම් හේතුවන් ඇති වන නොයෙකුත් ගැටුම්කාරී තත්ත්වයන් සේම කනගාටුදායක පුවත් නිරන්තරයෙන් අසන්නට ද ලැබේ. මේ නිසාම ඉන්දීය සමාජයේ සැබෑ ජන ජීවිතය සමාජ, දේශපාලන සහ නීති රාමුව පාදක කොටගත් සිනමා නිර්මාණ දෙසට ද අවධානය යොමු වී ඇත.

ජූනි 28 වැනිදා සිට තිරගත කෙරන ඒපබඪජතඥ 15 චිත්‍රපටය මෙලෙස සමාජ බෙදීම් පිළිබඳ අවධානය යොමු කරමින් නිර්මාණය කෙරුණු සිනමා නිර්මාණයකි. එය නිර්මාණය වී තිබෙන්නේ ඉන්දියාවේ සමාජ, දේශපාලනික තත්ත්වය මත පදනම්ව ජාතිය, කුලය සම්බන්ධ කර ගනිමින් සිදු වූ හදවත් කම්පා කරවන සත්‍ය සිදුවීම් ද්විත්වයක් ඇසුරෙනි.

2016 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ උනාහි දාලිත් වැසියන් හත් දෙනෙකු කෲර ලෙස ඝාතනය කිරීම හා 2014 වසරේදී අපරාධ කල්ලියක් විසින් උත්තර ප්‍රදේශයේ කත්‍රාහි දැරියන් දෙදෙනෙකු දූෂණය කර මරා දැමීමේ සිදුවීම මෙයට පාදක වී ඇත. සවස් කාලයේ දී වැසිකිළි ලෙස භාවිතා කළ බිම් පෙදෙසක් වෙත යන දැරියන් දෙදෙනෙකු යළි නිවෙස් වෙත නොපැමිණීම හේතුවෙන් ගම්වැසියෝ කලබලයට

පත් වෙති. දැරියන් සොයා යන ඔවුනට පසු දින දැක ගන්නට ලැබෙන්නේ ගසක එල්ලෙමින් තිබූ ඔවුන්ගේ සිරුරුය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරියන් සමූහ දූෂණයට ලක් වී ඇති බව ද හෙළි වේ.

මෙම දැරියන් දෙදෙනාගේ ඝාතනයන් පිළිබඳ සිදුවීම ප්‍රාදේශිය පොලීසිය විසින් වසන් කිරීමට තැත් කරන බවට දැරියන්ගේ පවුල්වලින් චෝදනා එල්ල වූ අතර ඔවුන් දාලිත් යැයි සැලකෙන කුලයට අයත් වීම එයට හේතු වූ බව ප්‍රචලිත විය. ඉන්දීය කුල ක්‍රමයට අනුව කුල හීන යැයි සම්මත දාලිත් වැසියන් පීඩාවට පත් වන ජන කොට්ඨාසයක් ලෙස ද සැලකේ.

Article 15 චිත්‍රපටයේ සමාජයේ බලවත් යැයි පිළිගැනෙන පිරිමින් විසින් දූෂණය කොට මරා දැමෙන අසරණ කුලහීන දැරියන් දෙදෙනෙකුට සිදු වූ කුරිරු අසාධාරණය හමුවේ බ්‍රාහ්මණ කුලයේ පොලිස් නිලධාරියකු ක්‍රියා කරන අයුරු‍ දැක්වේ. 

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය මඟින් අවරණය කෙරෙන ප්‍රබල මානුෂික කාරණයක් වන ආගම, ජාතිය, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ උපන් ස්ථානය මත කිසිවෙකුට වෙනස් කොට සැලකීම සපුරා තහනම් බවට ඇති විධානය ද සැලකිල්ලට ගනිමින් එය නිර්මාණය කොට ඇත.

මෙහි ඝාතනය වූ දැරියන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට කැපවන පොලිස් නිලධාරියාගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් නළු අයුෂ්මාන් කුරානා විසිනි. ෆිල්ම්ෆෙයාර් සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියන ඔහු චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසින් ද විශේෂ වේ.

ඔහු සමඟින් ඉෂා තල්වාර්, සයනි ගුප්තා, කුමුද් මිශ්‍රා සහ මනෝජ් පව්හා ඇතුළු පිරිසක් Article 15  චිත්‍රපටයේ රංගනයෙන් දායක වී සිටිති. එය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ අනුභව් සිංහා විසිනි.

 
 

Add new comment