යක්ෂ ආත්මයක් ආරූඪ වූ ඇනබෙල් බෝනික්කා

Annabelle Comes Home
ජූලි 11, 2019

කුතුහලය දනවන අද්භූත ගුප්ත සිදුවීම් පිළිබඳ සොයා බැලීමට ඇතැමෙක් ප්‍රිය කරන විටදී තවත් අයෙකු ඒ පිළිබඳ දක්වන්නේ අසීමිත බියක්. සැබෑ ලොව මෙන්ම සිනමා ලොව තුළ ද අද්භූත සිදුවීම් රැගත් සිනමා නිර්මාණ රැසක් බිහි වී තිබෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය ද සමඟින්. The Conjuring චිත්‍රපට මාලාවට ඒ අතර සුවිශේෂ ස්ථානයක් හිමිවීමට හේතු වී තිබෙන්නේ ඒවා සත්‍ය සිදුවීම් පාදක කොට ගෙන නිර්මාණය වීමයි. අමෙරිකානු ජාතික ලොරයින් රීටා මෝරන් සහ එඩ්වර්ඩ් වොරේන් මයිනි යුවළ විසින් භූතාත්ම සහ අද්භූත සිදුවීම් පිළිබඳ කළ පර්යේෂණ, නිව් ලයින් සිනමා විසින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපට වෙනුවෙන් පාදක වී තිබේ. ඇනබෙල් බෝනික්කා, පෙරොන් පවුලේ සිදුවීම, ඇමටිවිල් සිදුවීම, එන්ෆීල්ඩ් නිවෙසේ අභිරහස වැනි සිදුවීම් ඒ අතර ප්‍රධාන වේ.

මේ වනවිට සිනමා ලොව නිර්මාණය කර ඇති හීතිය දනවන චිත්‍රපට අතරේ ප්‍රමුඛ ස්ථානයක් The Conjuring චිත්‍රපට මාලාවට හිමි වේ. එය චිත්‍රපට අටකින් සහ කෙටි චිත්‍රපටයකින් සමන්විත වී ඇත. The Conjuring සහ Annabelle ලෙස කොටස් දෙකක් යටතේ මෙහි චිත්‍රපට පෙළ ගැස්වී ඇති අතර එයින් The Conjuring චිත්‍රපට මාලාව යටතේ The Conjuring (2013) සහ The Conjuring 2 (2016) තිරගත කෙරුණු අතර Annabelle චිත්‍රපට මාලාව යටතේ Annabelle (2014) සහ Annabelle: Creation (2017) චිත්‍රපට ද්විත්වය තිරගත කෙරුණි. පසුගිය වසරේ දී The Nun චිත්‍රපටය තිරගත කෙරුණේ මෙහි අතුරු කතාවක් ලෙසින්.

ඇමිටිවිල් අවතාර අසූව දශකයේදී අමෙරිකාව පමණක් නොව ලොවම භීතියෙන් මුසපත් කළ අතර එඩ් හා ලොරේන් යුවල ඇමිටිවිල්හි අංක 112, ඕෂන් ඇවනියු නිවසට අරක්ගත් හොල්මන් සම්බන්ධ සිද්ධිය විමර්ශනයට එක්විය. ජෝර්ජ් හා කැති ලුට්ස් මිලදී ගත් නිවසේ අමනුෂ්‍ය බලවේග වෙතින් ඇති වූ පීඩන ඉවසා ගත නොහැකිව ලුට්ස් පවුල එම නිවෙස අතහැර ගිය පසු සිය අධිමානසික හැකියාව ඇසුරෙන් අධ්‍යයනයේ නිරත වූ වොරන් යුවළ ඇමිටිවිල් අවතාර මවාපෑමක් නොවන බව අවධාරණය කළහ. The Conjuring චිත්‍රපටයට පාදක වූයේ මෙම සැබෑ සිදුවීමයි. උතුරු ලන්ඩනයේ පිහිටි එන්ෆීල්ඩ් නම් නිවෙසෙක සිදු වූ අද්භූත සිදුවීම් පෙළක් The Conjuring 2 චිත්‍රපටයට පාදක විය. එය නරඹන අතරවාරයේ හෘදයාබාධයකින් සිදූ වූ මරණයක් ද එකල වාර්තා විය.

Annabelle චිත්‍රපට මාලාවට පාදක වී තිබෙන්නේ, බිහිසුණු ආත්මයක්‌ අරක්‌ගත් බෝනික්කෙකි. වොරන් යුවලගේ අද්භූත සොයා ගැනීම් අතරේ වන සත්‍ය ලෙස සිදු වූ යැයි සැලකෙන ඇනබෙල් බෝනික්කාගේ කතාව එයින් දිග හැරේ. ඩෝනාහට පැරණි භාණ්ඩ අලෙවි සැලකින් මිලදී ගත් බෝනික්කෙකු ඇයගේ මව විසින් ත්‍යාග කෙරේ. ඩෝනා එය නේවාසිකාගාරයේ තබා ගන්නා අතර එහි යම් යම් වෙනස්කම් සිදු වන බව ඩෝනා සහ ඇගේ මිතුරියට දැක ගන්නට ලැබේ. මුලදී එතරම් නොසලකා සිටිය ද බෝනික්කා තැනින් තැන ගමන් කරන්නා සේම එහි යම් ගුප්ත ස්වභාවයක් ඇති බව ඔවුන්ට අවබෝධ වේ. එක් දිනෙක නේවාසිකාගාරයට පැමිණි ඩෝනාට දැක ගන්නට ලැබෙන්නේ සිරුරේ රුධිරය තවරා ගත් බෝනික්කාය. එයින් කැලඹීමට පත් ඩෝනා සහ මිතුරිය මන්ත්‍රකරුවකුගේ සහය ලබා ගන්නා අතර ඔහු පවසන්නේ ඔවුන් ජීවත් වන ස්ථානය පාළු ඉඩමක්ව පැවති අතීතයේදී මියගිය ඇනබෙලා හිගින්ස් නම් දැරියගේ ආත්මය මෙම බෝනික්කා තුළට ඇතුළු වී ඇති බවයි. එම ආත්මයෙන් ඔවුන්ට කරදරයක් නොමැති බවට මන්ත්‍රකරු පැවසුව ද බෝනික්කා අතිශය දරුණු පළිගන්නා එකෙකු බව වටහා ගැනීමට ඔවුනට වැඩි කලක් ගත වන්නේ නැත. පූජකවරයකු මඟින් ඩෝරා සහ මිතුරිය වොරන් යුවළගේ සහය පතා සිටින අතර එහිදී එය ආත්මය දරුණු යක්ෂ ආත්මයක් බව වටහා ගැනීමට වොරන් යුවළට වැඩි කාලයක් ගත වන්නේ නැත.

සැබෑ ඇනබෙල් බෝනික්කා අදටත් එක්‌සත් ජනපදයේ කනෙටිකට්‌හි මොන්රෝ නුවර වොරන් යුවළට අයිති ගුප්ත කෞතුකාගාරයේ සුරක්ෂිත සේප්පුවක රඳවා තිබේ. චිත්‍රපටයේ සිටින බෝනික්කාට වඩා වෙනස් වූ රෙදිවලින් නිර්මාණය කර ඇති එම බෝනික්කා තබා ඇති කුඩා වීදුරු කුටියේ "විවෘත නොකරන්න" යනුවෙන් ද සඳහන් කර ඇත. ඇනබෙල් බෝනික්කාගේ අද්භූත කතා පුවත ඇසුරින් නිර්මාණය වූ තෙවැනි චිත්‍රපටය Annabelle Comes Home පසුගිය ජූනි 26 වැනිදා සිට තිරගත කිරීම ඇරඹුණි. එය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Annabelle, Annabelle: Creation, The Nun චිත්‍රපට රචනා කළ ග්‍රේ ඩොබර්මන් විසිනි. එය ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය යි. මැකීනා ග්‍රේස්, මෙඩිසන් සෙමාන්, කැතී සරීෆ්, වර්ගා ෆාමිගා, පැට්‍රික් විල්සන් ඇතුළු පිරිසක් එහි රංගනයෙන් දායක වී සිටිති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.