රාජකීය උරුමය සොයා යන ගමන

The Lion King
ජූලි 18, 2019

1994 වසරේ තිරගත වූ වෝල්ට් ඩිස්නි ආයතනය විසින් නිෂ්පාදනය කෙරුණු The Lion King  සංගීතමය කාටුන් චිත්‍රපටය ලොවපුරා ලොකු කුඩා කාගේත් අවධානය දිනා ගත්තක්. අමෙරිකානු ඩොලර් මිලියන 45ක පිරිවැයකින් තැනූ එම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 968ක අති සාර්ථක ආදායමක් වාර්තා කළේ විචාරක පැසසුම් ඉහළින් හිමිකර ගනිමිනි. ප්‍රයිඩ් භූමියේ රජු ලෙස සියලු සතුන්ගේ ගෞරවයට පාත්‍රව වාසය කරන මුෆාසා නම් සිංහයා සහ බිරියගේ එකම පැටවා නම් ලබන්නේ සිම්බා ලෙසිනි. සිම්බා යනු පැරණි අප්‍රිකානු භාෂාවක් වන ස්වහීලී භාෂාවෙන් සිංහයා යන වචනයට සමාන වචනයකි. රජ කිරුළ හිමිකර ගැනීමට මාන බලමින් සිටින මුෆාසාගේ ඥාතියකු වන ස්කාර් විසින් මුෆාසා ඝාතනය කරන අතර සිම්බා ස්කාර්ගෙන් බේරි ඈත වනයට පිටමං වේ.

සිම්බා එහිදී හැදී වැඩෙන්නේ ටිමෝන් නම් මුගටියකු සහ පුම්බා වල් ඌරු පැටියකු ඇසුෙර්ය. තරුණ වියට පිවිසෙන සිම්බාගේ ආදරය හිමි වන්නේ යොවුන් නාලාහටය. යොවුන් සිම්බාහට තමාට උරුම රජකම ලබා ගැනීමට කුරිරු ස්කාර් සමඟ සටන් වැදීමට සිදු වේ. ප්‍රතාපවත් ප්‍රයිඩ් පර්වතය පාමුල වනයේ සිම්බා තම රාජකීය උරුමය සොයා යන ගමනත් යොවුන් නාලාගේ ආදරයත් සුන්දර ලෙසින් අපට දැක ගන්න ලැබෙන්නේ හෙට (ජූලි 19) සිට තිරගත වීම ඇරඹීමට නියමිත The Lion King  පරිගණක සජීවිකරණ චිත්‍රපටයෙනි. එය 1994 වසරේ තිරගත කෙරුණු චිත්‍රපටයේම ප්‍රතිනිර්මාණයක් බව පැවසේ. අනෙකුත් සිනමා ප්‍රතිනිර්මාණයන් හා මෙම ප්‍රතිනිර්මාණය අතර විශේෂ වෙනසක් ද ඇති බව සඳහන්ය. එනම් පැරණි චිත්‍රපටයේ රූපරාමුවලට අතිශයෙන් සමානත්වයක් ඇතිවන වන අයුරින් නව චිත්‍රපටය නිර්මාණය කර තිබීමයි. The Lion King  ප්‍රතිනිර්මාණයේ ඩොනල්ඩ් ග්ලොවර් තරුණ සිම්බා ලෙසත් එකොළස් වියැති ජේඩී මැකේරී ළමා සිම්බා ලෙසත් හඬ දායකත්වය ලබා දෙන අතර සෙත් රෝජන් පුම්බා ලෙසත්, චිවෙටෙල් එජියෆෝර් ස්කාර් ලෙසත් බිලී එච්නර් ටිමෝන් ලෙසත් ජේම්ස් අර්ල් ජෝන්ස් මුෆාසා ලෙසත් හඬ දායකත්වය ලබා දේ. 1994 වසරේ චිත්‍රපටයේ මුෆාසාගේ චරිතයට හඬ ලබා දුන්නේ ද ජේම්ස් විසිනි. අමෙරිකානු ගායිකා බියොන්සේ මෙහි නාලා නම් චරිතයට හඬ දායකත්වය ලබාදීමට අමතරව ගීත ගායනයෙන්ද එක් වේ. සංගීත අධ්‍යක්ෂණය සිදු වූයේ 1994 වසරේ චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ හාන්ස් සිමර් ගෙනි. 1994 වසරේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතඥ එල්ටන් ජෝන් සහ සිමර් අතින් සිදු විය. නව චිත්‍රපටයේ ගීතයක් ගායනයට එල්ටන් ජෝන්ගේ සහය ලැබීමද විශේෂත්වයකි. නව  The Lion King  චිත්‍රපටය, The Jungle Book (2016), Iron Man 2 (2010), Iron Man (2008)  චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජෝන් ෆෙව්රියුගේ අධ්‍යක්ෂණයකි.

   

 

 

Add new comment