Judgemental Hai Kya

ඔබ විනිශ්චය කරනවාද?
ජූලි 18, 2019

යම් පුද්ගලයකු දෙස බැලීමෙන් ඔහු හෝ ඇය කෙබඳු අයෙකු දැයි හඳුනා ගත හැකි ද? සත්‍ය වශයෙන්ම එය ගැටලුවකි. අපට යම් පුද්ගලයකු නිසි ආකාරව හඳුනා ගැනීමට එම පුද්ගලයාගේ කතාබහ, හැසිරීම ආදිය වැදගත් වේ. ඒ අයුරින් නිවැරදි කරුණු සොයා බලා මනා ලෙස සිතා බැලීමෙන් අනතුරුව යමෙකු පිළිබඳ තීරණයක් හෝ මතයක් ගොඩනඟා ගැනීමට පහසුවනු ඇත. මේ අයුරින් යම් පුද්ගලයකු පිළිබඳ විනිශ්චය කිරීමට ඔබටත් හැකි වේද?

ලබන 26 වැනිදා සිට ලොවපුරා තිරගත වීමට නියමිත Judgemental Hai Kya  චිත්‍රපටය පවසන්නේ එයයි. මානසික සෞඛ්‍ය ගැටලු ප්‍රධාන කොට ගනිමින් සත්‍ය සහ බොරුව අතර බැඳී පවතින ජීවිත දෙකක් පිළිබඳ විනිශ්චය ප්‍රහසනයක් ලෙසින් ගෙන එන Judgemental Hai Kya  චිත්‍රපටය ඔස්සේ බොබී නම් තරුණිය සහ කේෂව් නම් තරුණයාගේ ජීවිත දෙස බලමින් යම් විනිශ්චයකට පැමිණේ. ප්‍රකාශ් කෝවෙලාමුදි විසින් අධ්‍යක්ෂණය කළ Judgemental Hai Kya
 චිත්‍රපටයේ තිරරචනය කර තිබෙන්නේ ඔහුගේ බිරිය කණිකා දිලෝන් විසිනි. Judgemental Hai Kya  තෙළිඟු සිනමාවේ අධ්‍යක්ෂවරයකුව සිටි ප්‍රකාශ්ගේ පළමු හින්දි සිනමා නිර්මාණය යි. Bommalata (2004), Anaganaga O Dheerudu (2011), Size Zero (2015)  ඔහුගේ තෙලිඟු සිනමා නිර්මාණ වේ. Ra.One (2011), Kedarnath (2018)  චිත්‍රපට තිරරචනයන් කණිකා විසින් රචිත තිරරචනයන් වේ. කණිකා Judgemental Hai Kya   චිත්‍රපටය මුලින් නම් කර තිබුණේ එහි ප්‍රධාන චරිතය වන බොබී නමිනි. නමුත් 1973 වසරේදී තිරගත කෙරුණු රිෂී කපූර් සහ ඩිම්පල් කපාඩියා රංගනයෙන් දායක වූ එම නමින් වූ චිත්‍රපටය හේතුවෙන් පසුව එය Judgemental Hai Kya  ලෙසින් නම් කෙරිණි.

Judgemental Hai Kya  චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ පොවන කන්ගනා රනවුත් සහ රාජ් කුමාර් රාඕ ද බොලිවුඩ් සිනමාවේ විශේෂ අවධානයක් ලද ශිල්පීන් දෙදෙනෙකු බව සඳහන් කළ යුතුය. බොබී නම් චරිතයට පණ පොවන කන්ගනා සහ කේෂව් නම් චරිතයට පණ පොවන රාජ් කුමාර් එක්ව කළ රංගනයක් අපට දකින්න ලැබුණේ මීට වසර වසර කිහිපයකට පෙර එනම් 2014 වසරේදීයී. විකාශ් භාල් අධ්‍යක්ෂණය කළ Queen චිත්‍රපටය ඉන්දීය ජාතික සම්මාන උලෙළේ දී මෙන්ම ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදීත් සම්මාන රැසකට හිමිකම් කීවේ කන්ගනා හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වෙමිනි. 2006 වසරේදී අනුරාග් බාසුගේ Gangster  චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි කන්ගනා මේ වන විට බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන නිළියන් දස දෙනා අතරට පැමිණ අවසන්ය. 2010 වසරේදී රාම් ගෝපාල් වර්මාගේ අචදද චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි රාජ්කුමාර් රාඕ ද මේ වන විට ප්‍රේක්ෂක මෙන්ම විචාරක අවධානය දිනාගත් නළුවකු බවට පත් වී සිටී. ඉන්දීය ජාතික සම්මාන මෙන්ම ෆිල්ම්ෆෙයාර් සම්මාන හතරකට ද හිමිකම් කියන ඔහුගේ සිනමා දිවියේ ඉහළම ආදායම් ලද චිත්‍රපටය බවට පත් වූයේ පසුගිය වසරේ තිරගත කෙරුණු Stree චිත්‍රපටය යි. ඔහු පවසන්නේ Judgemental Hai Kya  චිත්‍රපටය, පිටපත කියවා දෙවරක් නොසිතා භාරගත් බවයි.

  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.