කාන්තා අයිතීන් හා ගෞරවය වෙනුවෙන් සංවේදීවනු පිණිස

Nerkonda Paarvai
අගෝස්තු 8, 2019

තරුණියන් තිදෙනෙකු තම නිර්දෝශිභාවය ඔප්පු කිරීම වෙනුවෙන් කරනා සටනකි. නිදහස් දිවියක් ගත කරන මිනාල්, ෆලක් සහ ඇන්ඩ්‍රියා යන මිතුරියන් තිදෙනා උත්සවයකින් අනතුරුව තම මිතුරකු වන විශ්වගේ ආරාධනයක් අනුව උත්සවයේදී හඳුනා ගන්නා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟින් රාත්‍රි ආහාර වේලකට එක් වේ. එහි සිටින රන්වීර් නම් තරුණයාගේ අයුතු බලපෑමක් හමුවේ කිපෙන මිනාල් ඔහුට පහරදේ. දරුණු ලෙස තුවාල ලබන රන්වීර් වහා රෝහල් ගත කෙරෙන අතර තමන් මරණයට පත් කිරීමට තැත් කළේ යැයි චෝදනා නඟමින් රන්වීර් මිනාල්ට එරෙහිව නඩු මඟට පැමිණේ.

2016 වසරේ තිරගත කෙරුණු Pink  චිත්‍රපටයෙන් දැක්වුණේ මිනාල් සහ මිතුරියන් දෙදෙනා තම නිර්දෝශීභාවය ඔප්පු කිරීමට ගන්නා එම උත්සාහයයි. බොහෝ දෙනා එය පෙන්වා දුන්නේ, ඉන්දීය සංස්කෘතියට අනුගත නොවන කාන්තාවන් දෙස සමාජය බලන්නේ කෙසේද යන්න මනාව පෙන්නුම් කරන බවයි. විචාරක පැසසුමට ලක් වුණු Pink  චිත්‍රපටය තිරගත කිරීමට අවසර ලැබුණේ සංශෝධනයකින්ද අනතුරුවයි. එහි විශේෂ දර්ශන කිහිපයක්ම වූ අතර රාජස්ථාන් පොලිස් ස්ථානයට විශේෂ දර්ශන වාරයක් හිමි වූයේ කාන්තා අයිතීන් හා ගෞරවය වෙනුවෙන් සංවේදීවීමට විශේෂ වැඩසටහන් ද සමඟින්. ඉන්දීය ජනාධිපති මන්දිරය රාෂ්ට්‍රපතිභවන්හිදී ද Pink චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්විණි.

අද (අගෝස්තු 08) සිට ලොවපුරා තිරගතකිරීමට නියමිත එස්. විනෝද් විසින් අධ්‍යක්ෂණය කළ Nerkonda Paarvai දෙමළ චිත්‍රපටය Pink  චිත්‍රපටයේ දෙමළ ප්‍රතිනිර්මාණයයි. යි. Pink  චිත්‍රපටයේ අමිතාබ් පණ පෙවූ නීතිඥ චරිතයට Nerkonda Paarvai චිත්‍රපටයේදී පණ පොවන්නේ දකුණු ඉන්දීය නළු අජිත් කුමාර් විසින්. අජිත් කුමාර් සිනමා ලෝලීන්ගේ ආදරය ලබන්නේ 'තාලා' නමිනි. නළුවකු පමණක් නොව අන්තර්ජාතික මෝටර් රථ ධාවන ශූරයෙක්ද වන ඔහු මෑත කාලීනව රජිනිකාන්ත්, කමල හසන් වැනි නළුවන්ගෙන් පසු නොමඳ ප්‍රේක්ෂක ගෞරවාදරයට පාත්‍ර වී සිටින නළුවකු වේ. Nerkonda Paarvai  තාලා අජිත්ගේ 59 වැනි චිත්‍රපටයයි. අජිත් සමඟින් විද්‍යා බාලන්, ශ්‍රද්ධා ශ්‍රීනාත්, ඇන්ඩ්‍රියා ටැරින්ග්, අභිරාමි වෙන්කටචලම්, අර්ජුන් චින්නම්බරම්, අධික් අවිචන්ද්‍රන් ඇතුළු පිරිසක් Nerkonda Paarvai  චිත්‍රපටයේ රංගනයෙන් දායක වී සිටිති. Pink  චිත්‍රපටයේ තප්සේ පන්නු නිරූපණය කළ මිනාල්ගේ චරිතයට මෙහිදී පණ පොවන්නේ ශ්‍රද්ධා ශ්‍රීනාත් විසිනි. මෙය Pink  හින්දි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වුවද චිත්‍රපට දෙකෙහි ධාවන කාලසීමාවන් දෙකකි. Pink  චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 135ක් වන අතර Nerkonda Paarvai   චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 158කි. එය හින්දි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් නොවන්නට විද්‍යා බාලන්ගේ චරිතය ද ප්‍රබල හේතුවකි.

එපමණක් නොව Pink  චිත්‍රපටයේ නොවූ නීනිඥවරයා මුහුණ දෙන සටන් දර්ශනයක් Nerkonda Paarvai  චිත්‍රපටයේ ඇතුළත් බවද සඳහන් වේ. Nerkonda Paarvai  ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු කිහිපයක කුලුදුල් දායකත්වය ලබන චිත්‍රපටයක් වීමත් විශේෂත්වයක්. මෙහිදී විද්‍යා බාලන්ගේ රංගනය දැක ගැනීමට ලැබෙන්නේ වසර 16ක සිනමා දිවියේ ඇයගේ කුලුඳුල් දෙමළ චිත්‍රපටය ලෙසින්. කල්කී කෙඑච්ලින් මෙහි ගීතමය ජවනිකාවකට එක්වන අතර එය ඇයගේ ද කුලුඳුල් දෙමළ සිනමා රංගනය යි. නිෂ්පාදක බොනී කපූර් සහ තාලා අජිත් පළමුවරට හමුවන මෙය බොනීගේ ද කුලුඳුල් දෙමළ චිත්‍රපට නිෂ්පාදනය යි. Nerkonda Paarvai  චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය ශ්‍රීදේවිගේ රුවකින් ආරම්භ වීම ඇගේ රසික රසිකාවන්ගේ දෙනෙතට කඳුළු නංවන්නක්.

    

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.