කේන්තිකාර කුරුල්ලන් සහ කොළ පැහැ ඌරන් අයිස් දූපතකට

The Angry Birds Movie 2
අගෝස්තු 15, 2019

පරිගණක ක්‍රීඩාවන්හි නිරත වූවන් බහුතරයකට ඇන්ග්‍රී බර්ඩ්ස් (Angry Birds)  අමුත්තන් නොවේ. ඇන්ග්‍රී බර්ඩ්ස් වීඩියෝ ක්‍රීඩා නිපදවූ ආයතනය වන රෝවියෝ එන්ටර්ටේන්මන්ට් දත්තවලට අනුව, මේ වන විට මෙම වීඩියෝ ක්‍රීඩාවේ විවිධ සංස්කරණ 18ක් නිකුත්වී ඇත. බිලියනයකට වැඩි බාගත කිරීම් සටහන් වී ඇති අතර සෑම මසකම මිලියන 260කට වැඩි පිරිසක් මෙම ක්‍රීඩාවේ නිරත වෙති. වීඩියෝ ක්‍රීඩාවට අමතරව ඇන්ග්‍රී බර්ඩ්ස් පාදක කොට තැනුණු කාටූන කතා මාලා 3ක් ද මේ වන විට නිර්මාණය වී ඇත.

2009 වසරේ කලඑලි දුටු ඇන්ග්‍රී බර්ඩ්ස් අධිකාරියට චිත්‍රපටයක් එක් වූයේ, 2016 වසරේදීයි. The Angry Birds Movie   නමින් ත්‍රිමාන, පරිගණක සජීවීකරණ, ක්‍රියාදාම, හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 73ක පිරිවැයකින් නිර්මාණය කළ එය අමෙරිකානු ඩොලර් මිලියන 352.3ක ඉහළ ආදායමක් වාර්තා කළේය. සාමයෙන් සහ සතුටින් වෙසෙන කුරුල්ලන් පිරිසක් අතර රෙඩ් වෙනස් අයෙකි. කේන්තියෙන් දවස ගෙවන රෙඩ්හට සිය කේන්තිය පාලනය කිරීම සඳහා පන්තියකට ද සහභාගිවීමට සිදුවෙයි. එහිදී ඔහුට චක් සහ බොම්බ් යන මිතුරන් මුණගැසෙයි. ඔවුන් වෙසෙන දූපත වෙතට ආරාධනයකින් පැමිණෙන කොළ පැහැ ඌරන් සමූහය නිසා රෙඩ්ගේ කේන්තිය තව තවත් උග්‍ර වෙයි. චක් සහ බොම්බ් සමඟ කණ්ඩායම් ගතවන රෙඩ් ඌරන් පැමිණීමේ සැබෑ හේතුව සොයා ගැනීමට වෙහෙසෙයි. මේ තිදෙනා වටා ගෙතුණු වික්‍රමාන්විත කතාව The Angry Birds Movie ලෙස රිදී තිරයෙන් දිග හැරුණි.

රෙඩ්, චක් හා බොම්බ්හට පුදුමයකි. සතුරන් ලෙස පැමිණි කොළ පැහැති ඌරන් පෙන්වා දෙන්නේ, තම තමන්ගේ වෙනස්කම්, තරහා පසෙකින් තබා පොදු සතුරෙකුට මුහුණදිය යුතු බවයි. හිමෙන් වැසුණු දූපතක සිටින බෙහෙවින් දරුණු, බලවත් ආයුධයක් භාවිත කරන්නා වූ පක්ෂීන් කොට්ඨාසයකි. ඇන්ග්‍රී බර්ඩ්ස් සහ කොළ පැහැ ඌරන්ගෙන් දක්ෂතමයින් තෝරා ගැනෙන්නේ, හිමෙන් වැසුණු දූපතට ගොස් සතුරු පක්ෂීන් සතු ආයුධය නිෂ්ක්‍රීය කර තමන්ට එරෙහිව ඇති තර්ජනය මැඬලීමටයි.

එම මෙහෙයුම කෙසේ සිදුවන්නේ දැයි දැක ගත හැකි වන්නේ ඊයේ (අගෝස්තු 14) සිට තිරගත කෙරෙන The Angry Birds Movie 2  නැරඹීමෙනි. අමෙරිකානු ජාතික කාටුන ශිල්පියකු වන ත්‍රෝප් වැනි ඕමාන් විසින් සිය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙස ගෙන එන The Angry Birds Movie 2  හි ජේසන් සුඩෙයිකිස්, ජෝෂ් ගැඩ්, ලෙස්ලි ජෝන්ස්, බිල් හාඩර්, රැචෙල් බ්ලූම්, ආකෝෆීනා, පීටර් ඩින්ක්ලේජ්, ඩැනී මැක්බ්‍රයිඩ් ඇතුළු පිරිසක් හඬ දායකත්වය ලබා දෙති.

The Angry Birds Movie  හට හිමි වූයේ මිශ්‍ර විචාරක ප්‍රතිචාරයකි. විචාරකයන් ඒ පිළිබඳ පවසා සිටියේ, වීඩියෝ ක්‍රීඩාවට වඩා යමක් මෙම චිත්‍රපටයෙන් බලාපොරොත්තු වූ නමුදු එය ක්‍රීඩාව අබිබවා නොගිය බවයි. කෙසේ නමුත් ලොවපුරා විසිරි සිටින ඇන්ග්‍රී බර්ඩ්ස් වීඩියෝ ක්‍රීඩාව සමඟින් බැඳී සිටින්නන් සමඟ පළමු චිත්‍රපටය සේම The Angry Birds Movie 2  ද ආදායම් වාර්තා අතරට පැමිණෙනු ඇති බව විචාරකයන්ගේ අදහසයි.

     

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.