අමෙරිකානු ජනපතිට ත්‍රස්ත ප්‍රහාරයක්

Angel Has Fallen
අගෝස්තු 29, 2019

අමෙරිකානු රහස් ඔත්තු සේවා මයික් පසුපස හඹා එන්නේ මෙම ප්‍රහාරය ඔහු විසින් මෙහෙවන බවට කරන සැකය සමඟිනි.

මයික් බැනින්ග් අමෙරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීයෙකි. දකුණු කොරියානු ත්‍රස්ත කල්ලියක් විසින් ධවල මන්දිරය ඉලක්කර කර සිදු කිරීමට තැත් කරන ප්‍රහාරය හමුවේ අමෙරිකානු ජනපති බෙන්ජමින් ඈෂර් බේරා ගැනීමේ මෙහෙයුම පැවරෙන්නේ මයික් වෙතය. එයින් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අවමංගල්‍යට සහභාගි වන රාජ්‍ය නායකයන් ඉලක්ක කර එල්ල කෙරෙන තවත් ත්‍රස්ත ප්‍රහාරයකි. මෙම ප්‍රහාරය හමුවේ අමෙරිකානු ජනපතිගේ දිවි බේරා ගැනීම යළිත් මයික් හමුවේ පැවරී ඇත. හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්හට මෙම සිදුවීම් අමුතුවෙන් පැහැදිලි කළ යුතු වන්නේ නැත. 

Fallen  චිත්‍රපට මාලාවේ පළමුවැන්න Olympus Has Fallen (2013) සහ දෙවැන්න  London Has Fallen (2016)  චිත්‍රපට ද්විත්වය රිදී තිරයේ දිග හැරුණේ මෙලෙසිනි. Olympus Has Fallen මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලද චිත්‍රපටයක් වූ අතර London Has Fallen චිත්‍රපටයට එතරම් හොඳ විචාරක ප්‍රතිචාරයක් හිමි වූයේ නැත. ලන්ඩනය බිඳ වැටීමෙන් පසු යළිත් අමෙරිකානු ජනපති හමුවේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කෙරෙන අතර එය මෙහෙයවන බවට චෝදනා එල්ල වී තිබෙන්නේ මයික්හටය. අමෙරිකානු රහස් ඔත්තු සේවා මයික් පසුපස හඹා එන්නේ මෙම ප්‍රහාරය ඔහු විසින් මෙහෙවන බවට කරන සැකය සමඟිනි.

ඒ හේතුවෙන් මෙවර මයික් හමුවේ අභියෝග දෙකකි. මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වී තිබෙන සිය නම බේරා ගැනීම සහ තම නම එම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කළ පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා ගැනීමයි. Falle චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය දිග හැරෙන්නේ මේ අයුරිනි. ත්‍රාසජනක, ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කර ඇති එය නම් කර තිබෙන්නේ, Angel Has Fallen ලෙසිනි. අගෝස්තු 23 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරෙන Angel Has Fallen  චිත්‍රපටයේ සුපුරුදු පරිදි මයික් බැනින්ගේ චරිතයට පණ පොවන්නේ ජෙරාඩ් බට්ලර් විසිනි.

පෙර චිත්‍රපට ද්විත්වයේ උපජනාධිපති චරිතයට පණ පෙවූ ‍මෝර්ගන් ෆ්‍රීමන් මෙවර ජනපති චරිතයට පණ පොවනු ලබයි. මුල් චිත්‍රපටවල මයික්ගේ බිරිය ලියා ලෙසින් චරිත මැවූ රාධා මිචෙල් වෙනුවට මෙවර රංගනයෙන් දායක වන්නේ අමෙරිකානු නිළි පිපර් පෙරබෝ විසිනි. ඔවුන් සමඟින් ජේඩා ස්මිත්, ලාන්ස් රෙඩ්ඩික්, ටිම් බ්ලේක් නෙල්සන්, ඩැනී හියුස්ටන් ඇතුළු පිරිසක් Angel Has Fallen චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙති. එය රික් රෝමන් වොග්ගේ අධ්‍යක්ෂණයකි.

    

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.