සියවසකට පෙර හිරු නොබසින රාජ්‍යයේ කතාවක්

Downton Abbey
සැප්තැම්බර් 19, 2019

මහා බ්‍රිතාන්‍යයේ ඩවුන්ටවුන් මන්දිරය අලළා අයිටීවී නම් එරට පුංචි තිරයේ 2010 සිට 2015 දක්වා කොටස් 52ක් ලෙස විකාශය වූ ‌ෙඒතිහාසික කතාවක් පුළුල් තිරයට ගෙන ඒමට තිර රචක ජූලිඇන් ෆෙලොව්ස් සමත් විය. 1927 වසරේ සරත් ඍතුවේ බකිංහැම් මාළිගයේ සිට තැපැල් දුම්රියෙන් එන ලිපියක සඳහන් වන්නේ පස්වැනි ජෝර්ජ් රජු සහ මේරි රැජිනිය රට වටා සංචාරයක් අතරතුරදී ඩවුන්ටවුන් මන්දිරයටද සැපත් වන බවයි. ඒ තැපැල් දුම්රියේම එන තවත් අමුත්තකු සහ ඩවුන්ටවුන් මන්දීරයේ උරුමය පිළිබඳ පවුල් දෙකක් අතර ඇති වූ ගැටුම පදනම් කරගෙන මේ මන්දීරය අනාගත උරුමක්කාර‌යා කවුරුන්ද යන්න පිළිබඳ අනාවරණය වන ආකාරයෙන් චිත්‍රපටය බිහි වී ඇත. මිකායෙල් එංග්ලර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඩවුන්ටවුන් ඇබී සිනමා කෘතියක් ලෙස නිර්මාණය කරන බව මුල්වරට ප්‍රචාරය කෙරුණේ 1925 නව වසරේ රාත්‍රී භෝජන සංග්‍රහ උත්සවය දක්වමින් කොටස් මාලාවේ අවසානය විකාශය කළ 2016 අප්‍රේල් මාසයේය. චිත්‍රපටයේ මුල් පිටපත ටෙලි නාට්‍යයේ රඟපෑ නළු නිළියන් අතට පත් කෙරුණේ 2017 වසරේ මුල් භාගයේය. 2018 මැද භාගය වන විට රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිත විය.

මුල් කෘතියේ නළු නිළියන් අතරින් හෆ් බොනෙවිල්, එලිසබෙත් මැක්ගවර්න්, මිෂෙල් ඩොකරි, ලෝරා කාමිකායෙල්, සහ මැගී ස්මිත් චිත්‍රපටයට සම්බන්ධ වීමට පොදුවේ එකඟතාව පළ කරද්දී ජොඈන් ෆ්‍රො‌ගැට් තම කැමැත්ත වෙනම ප්‍රකාශ කර තිබිණි. ටෙලි නිර්මාණයේ ‌ලේඩි රෝස් මැක්ක්ලෙයා ලෙස රඟපෑ ලිලී ජේම්ස් මෙන්ම ජේම්ස් කෙන්ට්ගේ චරිතය නිරූපණය කළ එඩ් ස්පෙලියර්ස් සිය චරිත පුළුල් තිරයේ ප්‍රතිනිර්මාණයට අකමැති බව ප්‍රකාශ කර තිබිණි. රූපගත කිරීම් ආරම්භ කරන විට මැතිව් ගූඩි සුළු කොටසක් රංගනයට කැමැත්ත ප්‍රකාශ කළ අතර ජිම් කාටර්, බ්‍රෙන්ඩන් කොයිලි, කෙවින් ඩොයිලි, හැරි හැඩන් පැටන්, රොබ් ජේම්ස් කොලියර්, ඇලන් ලීච්, ෆිලිස් ලොගාන්, මැක් ෂෙරා, ලෙස්ලි නිකොල් සහ පෙනලොප් විල්ටන් සිය චරිත සඳහා ඉදිරීපත් වීමට එකඟ වූ අතර මැක්ස් බ්‍රවුන් මෙතෙක් හෙළි නොකළ චරිතයකට පණ පොවන්නට කැමැති විය.

ඩවුන්ටන් මන්දීරය ලෙස හැමිස්ෆයර්හි පිහිටි හයික්ලෙයාර් මැදුර රූපගත කිරීම් සඳහා යොදා ගැනුණු අතර 2018 නොවැම්බරයේ අවසන් කෙරුණු ඩවුන්ටවුන් ඇබී කෘතිය පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේදී සහ එක්සත් රාජධානියේදී ප්‍රදර්ශනය ආරම්භ විය. හෙට එය ඇමෙරිකාවේ ප්‍රදර්ශනයට නියමිතය. ආරම්භක සතියේ එහි ආදායම ඩොලර් මිලියන 15-16 අතර වනු ඇති බව විචාරක මතයයි. ඩවුන්ටවුන් ඇබී සඳහා රොටන් ටුමැටෝස් දර්ශකයේ සියයට 81ක් ලැබී ඇති අතර IMDb දර්ශකයේ 7.8ක් පෙන්නුම් කරයි.

   

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.