උපන්දින තුනක් සමරමින් තැනුණු පිය පුතු සෙනෙහසේ කතාව

Prasthanam
සැප්තැම්බර් 19, 2019

පුතකුට සැබෑ සෙනෙහස පුදන්නේ හැදූ තාත්තාද වැඩූ තාත්තාද? හෙට (20) සිට ප්‍රදර්ශනය අරඹන ප්‍රස්තානම් ඉන්දීය දේශපාලනික ක්‍රියාදාම චිත්‍රපටයෙන් මේ පිළිබඳ අපූර්ව අර්ථ කථනයක් ඔබට ගෙන එයි.

ප්‍රස්තානම් එනමින්ම 2010දී තැනූ තෙලිඟු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. එහෙත් රීමේක් චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කිරීමට මුල් කෘතියේ හිමිකරුවන්ගෙන් නිසි අවසරය ලබා නොගැනීම නිසා පසුගිය ජූලි 29 වැනිදා නෛතික දැන්වීමක් එවමින් එහි ප්‍රදර්ශනය තහනම් කිරීමට මුල් හිමිකරුවන් වන ෂෙමරූ එන්ටර්ටේන්මන්ට්ස් පියවර ගෙන තිබිණි. එහි සඳහන් වූයේ දැන්වීම ලැබී පැය 72ක් ඇතුළත ප්‍රතිචාර දැක්විය යුතු බවයි. කෙසේ වෙතත් ප්‍රස්තානම් ප්‍රදර්ශනය මේ සිකුරාදා සිදු කිරීමට එහි නිෂ්පාදක මන්‍යාතා දත් සහ අධ්‍යක්ෂ දේවා කත්තා තීන්දු කර ඇත.

මෙහි බල්දේව් ප්‍රතාප් සිං නම් ප්‍රබල දේශපාලනඥයා ලෙස සන්ජේ දත් රංගනයේ යෙදෙන අතර ඔහුගේ පුතු ආයුෂ් ප්‍රතාප් සිංගේ චරිතයට පණ පොවන්නේ අලි ෆසාල්ය. ජැකි ෂෙරොෆ්, මනීෂා කොයිරාල, චන්කි පාණ්ඩේ, සත්‍යජිත් ඩුබේ, අමීරා දස්තර් සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති. සංගීතය අංකිත් තිවාරි, ෆර්හාද් සම්ජි සහ වික්‍රම් මොන්ට්‍රෝස් යන තිදෙනා අතින් නිම වී ඇත. කැමරාකරණය රවී යාදේව් විසිනි. මෙය දේවා කත්තා බොලිවුඩ් අධ්‍යක්ෂවරයකු ලෙස නිර්මාණය කරන ප්‍රථම සිනමා පටයයි. මෙහි මුහුරත් උළෙල 2018 ජුනි පළමුවැනිදාට යොදා ගත්තේ සංජේ දත්ගේ මව වන නර්ගීස්ගේ 89 වැනි උපන්දිනය ද අනුස්මරණය කිරීම වෙනුවෙනි. එසේම සන්ජේගේ පියාණන් වන සුනිල් දත්ගේ 90 වැනි උපන්දිනය අනුස්මරණය කරමින් ජුනි 6 වැනිදා ලක්නව්හිදී රූපගත කිරීම් ආරම්භ කෙරිණි. චිත්‍රපටයේ මිනිත්තුවක ප්‍රචාරක පටය 2019 අගෝස්තු 29 වැනිදා නිකුත් කෙරුණේ සන්ජේ දත්ගේ 60 වැනි උපන්දිනය සමරමිනි.

IMDb  දර්ශකයේ 8.4ක අගයක් දක්වන ප්‍රස්තානම් රොට්න් ටුමැටෝස් විචාරයට තවම ලක් වී නැතත්, ප්‍රේක්ෂකයන් සියයට 93කගේ ආකර්ෂණයක් දිනා ඇති බව දක්වන්නේ එහි තෙලිඟු කෘතියද ඉතා කාලෝචිත විශිෂ්ට නිර්මාණයක් බවට ලද විචාර නිසා විය යුතුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.