මට එරෙහිව මම

GEMINI MAN
ඔක්තෝබර් 10, 2019

හෙන්රි බ්‍රොගාන් වෘත්තියෙන් නීත්‍යනුකූල කුලී ඝාතකයෙකි. එහෙත් ඔහු මෙහෙයවනු ලබනුයේ රජය විසින්ය. ඕනෑම රජයක එබන්දන් සිටින්නාසේම බ්‍රොගාන් එකී වෘත්තියෙහි නිපුණයෙක් ද වෙයි. කිසියම් හේතුවක් නිසා එම වෘත්තිය බාර ගන්නෙකුට වන එකම ඉරණම නම් මරණයෙන් හැර අන් කිසිම අවස්ථාවක එයින් ගැලවෙන්නට නොහැකිවීමයි. බ්‍රොගාන් තම වෘත්තිය තිත්ත විය. එයින් සමු ගත යුතුය. එහෙත් ඔහු නිදැල්ලේ සිටීම භයානකය. ඒ ඔහු රහස් දන්නා නිසාය. බ්‍රොගාන් ගේ සිතුවිල්ල නිවැරදිය. එකම දවසක ඔහුට තමාට වඩා වැඩි දක්ෂ සතුරෙකු මුණ ගැසෙයි. බ්‍රොගාන් ගේ වෑයම එයින් පලායාමය. එහෙත් එය පහසු නැත ඔහුට සතුරාට මුහුණ දෙන්නට සිදුවෙයි. ඔහු විස්මයට පත්වන්නේ එයින්ය. සතුරා කිසිසේත්ම වෙනසක් නැත .තමාගේම කපාපු පළුවකි. හැඳීන්වනුයේ ජූනියර් හැටියටය. ඔහු කවුද ? විද්‍යාවේ බල මහිමයෙන් කළ ක්ලෝන උත්පත්තියකි. තමාගේම ක්ලෝන නිෂ්පාදනයක් කර ඇත්තේ තමන්ට එරෙහිවය. තමන්ට එරෙහිව තමාමය.

මේ හෙට සිට ලොව පුරා සිනමාහල් වල තිර ගත වන ජෙමිනි මෑන් චිත්‍රපටයේ සිදුවීමය. මුහමද් අලි ගේ චරිතය වෙනුවෙන් අලි චිත්‍රපටයේ ද ද පර්සුයිට් ඔෆ් හැපිනස් වෙනුවෙන් ද

ඇකඩම් සම්මාන උදෙසා හොඳම නළුවා ලෙස නාම යෝජනා දිනූ විල් ස්ම්ත් එහි බ්‍රොගාන් මෙන්ම ජූනියර් ලෙස ද චරිත මවයි. ස්මිත් මෙන්ම අමෙරිකාන නිළි ගායිකාවක් වූ මේරි එල්සබෙත් වින්ස්ටීඩ් මෙහි ප්‍රධාන චරිතය වන ඩැනී ලෙස චරිත මවන්නීය. ඩැනී ද බ්‍රොගාන් මෙන්ම ඝාතකයකු වන්නීය. සම්මානනීය නළු ක්ලයිව් ඔවන් ක්ලේ ලෙස චරිත මවනුයේ ජූනියර් ගොඩ නැගූ ජෙමිනි ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා හැටියටය. ජෙමිනි මෑන් ත්‍රාසජනක සිදුවීම් මාලාව පසුපස අදිසි හස්තය ඔහුය. බෙනඩික්ට් වොන්ග් බ්‍රොගාන් ගේ හිතවතාය.

ජෙමිනි මෑන් ඉතා ඉක්මනින් නිර්මාණය වූ චිත්‍රපටයක් නොවිණ. එය වසර ගණනාවක් සිනමාකරුවන් රැසක් අතින් අත ගිය කතාවකි. ෂ්රෙක් ෆොඑවර්, ජැක් ද ජයන්ට් ස්ලෙයර් ,ගූස්බම්ප්ස්, සෂාම් වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක තිර නාටක රචක ඩැරන් ලෙම්කේ ජෙමිනි මෑන් තිරනාටකය වෝල්ට් ඩිස්නි සමාගමට යොමු කරන ලද්දේ ඒ සියල්ලට කලින්ය. එනම් 1997 වසෙර්ය. ඩිස්නි සමාගම එය නිපදවීම ටොප් ගන්, බෙවර්ලි හිල්ස් කොප්, ටෲ රොමැන්ස්, අන්ස්ටොපබල් වැනි චිත්‍රපට තැනූ සම්මානනීය සිනමාකරු ටෝනි ස්කොට් ට පැවරුවේය. ටික කලකදී ස්කොට් අතින් එය ගිලිහී ගිය අතර අනතුරුව එය පැවරුණේ කර්ටිස් හැන්සන්ටය . එල්. ඒ. කන්ෆිඩෙන්ෂල්, 8 මයිල් වැනි චිත්‍රපට තැනූ හැන්සන් වෙතින් ද ජෙමිනි මෑන් ගිළිහිණ. එවර එය පැවරුණේ බ්ලඩ්, ගට්ස් බුලට්ස් ඇන්ඩ් ඔක්ටේන් තැනූ ජෝ කානන්ටය. මේ කාලය ඇතුළත හෙන්රි බ්‍රොග්නාන් ගේ චරිතය හැරිසන් ෆෝඩ්. මෙල් ගිබ්සන්, ක්ලින්ට් ඊස්ට්වුඩ්, ආනල්ඩ් ස්වෙසෙනගර්, සිල්වෙස්ටර් ස්ටැලෝන් , ටොම් කෲස්, බ්‍රැඩ් පිට්, නිකොලස් කේජ්, ෂෝන් කොනරි ඇතුළු ලොව අතිශය ජනප්‍රිය නළුවන් අතින් අතට ගියේය. එහෙත් ඒ සියල්ලගෙන්ම බ්‍රොග්නාන් ගිලිහිණ. මේරි එලිසබෙත් වින්ස්ටීඩ් ට පෙර ඩැනී ගේ චරිතය සඳහා තෝරා ගන්නා ලද්දේ ටටියානා මස්ලානි සහ එලිසබෙත් ඩෙබිකි ය. 2016 වසරේ දී ජෙමිනි මෑන් ව්‍යාපෘතිය ඩිස්නි සමාගම මගින් ස්කයිඩාන්ස් මීඩියා සමාගමට විකුණා දැමිණ. ස්කයිඩාන්ස් සමාගම සම්මානනීය නිෂ්පාදක ජෙරී බෘක්හෙයිමර් ට චිත්‍රපටයේ නිෂ්පාදනය පැවරූ අතර පැරමවුන්ට් සමාගම චිතපටය බෙදාහැරීම බාර ගත්තේය. පැරමවුන්ට් සමාගම චිත්‍රපටය සඳහා ලෝක ප්‍රකට අන්තර්ජාල ව්‍යාපාර සමාගමක් වන චීනයේ අලිබබා ව්‍යාපාර සමූහයේ අලිබබා පික්චර්ස් ද නිෂ්පාදනයට දායක කර ගත්තේය.එවර චිත්‍රපටය අධ්‍යක්ෂණය සඳහා පැරමවුන්ට් සමාගම තෝරා ගත්තේ හොලිවුඩ් සිනමාවට ආසියාවෙන් එක් වූ විශිෂ්ටතම සිනමාකරු තායිවානයේ ආංග් ලීය. හොඳම අධ්‍යක්ෂට හිමි ඇකඩමි සම්මානය මෙන්ම හොලිවුඩ් බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලූ ක්‍රවුංචි ටයිගර් හිඩ්න් ඩ්‍රැගන් ,හා බ්‍රොක්බැක් මවුන්ටන් මෙන්ම හල්ක්, ලස්ට් කෝෂන් මෙන්ම සිනමා අත්දැකීමක් වූ ලයිෆ් ඔෆ් පායි වැනි චිත්‍රපට නිර්මාණය කරමින් හොලිවුඩ් සිනමාවේ ඉහළම සිනමාකරුවෙකු වූ ඇංග් ලී ට ජෙමිනි මෑන් පැවරෙන විට ඔහු 64 වැනි වියේ පසුවිය. ඒ වන විට ස්කොට් දිවි නසා ගැනීමෙන්ද හැන්සන් ස්වභාවික හේතු මත ද දිවිසැරියෙන් සමුගෙන තිබීම විශේෂයකි. හොලිවුඩ් සිනමාවට අවතීර්ණය වූ ආසියාතික සිනමාකරුවන් වූ ශේකර් කපූර්, චෙන් කයිගි, ජෝන් වූ වැන්නන් අතරින් වඩාත්ම ඉහළ තලයට පිවිසි සාර්ථක සිනමාකරු වූයේ ඇංග් ලීය. ඔහු තායිවානයේ දී නිර්මාණය කළ පුෂිං හෑන්ඩ්, ද වෙඩිං බැන්ක්වෙට්, ඊට් ඩ්‍රින්ක් මෑන් වුමන් වැනි විශිෂ්ට චිත්‍රපට හරහා ලොව පුරා කලාත්මක චිත්‍රපට අපේක්ෂා කළ සිනමා රසිකයන්ගේ මනදොළ 90 දශකයේ දී පිරවීමට ඔහු සමත්විය. එහෙත් හොලිවුඩ් සිනමාවේ දී ඔහු නිර්මාණය කරන ලද්දේ එයට වඩා වෙනස් වූ අති දැවැන්ත සිනමා අත්දැකීම්ය.

ජෙමිනි මෑන් ඈංග් ලී වෙතට පැවරෙන විට ඩැරන් ලෙම්කේ ගේ තිර නාටකයට ඩේවිඩ් බෙනොයිෆ් සහ බිලී රේ ද දායක ව තිබිණ. බෙනොයිෆ් සුප්‍රකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවේ රචකයාය.

චිත්‍රපටයේ නිල වැඩකටයුතු 2018 පෙබරවාරි 27 වැනි දින අමෙරිකාවේ ජෝර්ජියාවේ ග්ලෙන්විල් හිදී ඇරැඹිණ. පසුව කොලොම්බියාවේ සහ හංගේරියාවේ බුඩාපේස්ට් නගරයේ ද රූප ගත කෙරුණි. හංගේරියානු පාර්ලිමේන්තුව අසල ද ඩැනියුබ් නදිය ඇතුළු එරට බොහෝ තැන් වල චිත්‍රපටය රූප ගත කෙරිණ. එය ඉතා දුෂ්කර ක්‍රියාදාම සමූහයක් විය. මේ වන විට ඉන්දියානු ඇතුළු බොහෝ සිනමාකරුවන් හංගේරියාව සිය දර්ශන තලය බවට පත් කර ගන්නට පුරුදු ව සිටිති.

ජෙමිනි මෑන් ඔබ මිනිත්තු 117 ක් ඔබ සිනමා ආශ්වාදයෙන් මත් කරනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.