ඇත්තමයි ඒ යෙට් Abominable

ඔක්තෝබර් 17, 2019

කලකට ඉහත චීනයේ නිෂ්පාදනයක් යැයි සඳහන් වූකල සැලකිල්ලට ගත්තේ පිඟන් භාණ්ඩ පමණකි. එසේ නොවන්නට ඉක්මනින් කෑලි හැලෙන වැඩි කල් පාවිච්චි කළ නොහැකි භාණ්ඩයක් ලෙස චීන නිෂ්පාදන අවතක්සේරු කළහ. මාම් සේතුං නුතන චීනය ගොඩ නැංවූව ද ඒ කාලයේ කබල්ම චිත්‍රපට දැක ගත හැකිවූයේ චීනයෙන්ය. ඒවා තනිකරම දේශපාලන ප්‍රචාරක චිත්‍රපට විය. එහෙත් පසුගිය දශකය මුළුල්ලේ චීනය සිය අළු ගසා නැගිටියේය. චීනයේ සිව් වැනි පරම්පරාවේ සිනමාකරුවෝ සිය ප්‍රකාශන ලෝක වෙළද පොළට ගෙන ගියහ. එයට සාපේක්ෂව චීන සිනමාවට විදෙස් ආයෝජන ද ලැබිණ. වර්තමාන ලෝකයේ චීනයෙන් ගැලවිය හැකි රටක් නැති තරම්ය. කොටින්ම ඉන්දියාවත් චීනයත් එකිනෙකා වහසි බස් දොඩා ගත්ත ද අද ඉන්දියාවේ ඕනෑම නගරයක ප්‍රධාන ඉදිකිරීම් බහුතරය සිදු කරනුයේ චීන සමාගම් මගින්ය.

චීන ආයෝජන ඇත්තේ ඉදිකිරීම් වල පමණක් නොවේ. අද හොලිවුඩ් සිනමාව පවා චීන ආයෝජකයන්ගේ පහස ලබමින් සිටිති. ඒ සඳහා කදිම සාධකය නම් මේ දිනවල ලොව පුරා තිර ගත කරන Abominable චිත්‍රපටයයි. එය අමෙරිකාවේ සුප්‍රකට ඩ්‍රීම් වර්ක්ස් සමාගමේ නිෂ්පාදනයක් වන අතර එහි හවුල්කරු චීනයේ පර්ල් ස්ටුඩියෝවයි. ඩ්‍රීම්වර්ක්ස් ස්ටිවන් ස්පීල්බර්ග් ගේ ද සම්මාදම්මෙන් හැදුණු සමාගමක් වූ අතර එහි විශාලතම කොටස් හිමියකු වූයේ ඉන්දියාවේ අනිල් අම්බානිය. අමෙරිකාව ද ඉන්දියාව ද මේ වන විට ඩ්‍රීම් වර්ක්ස් සමාගම ඔස්සේ චීනයේ දැවැන්ත ආයෝජනයක යෙදී සිටිති. පර්ල් ස්ටුඩියෝව ද එහි එක් ව්‍යාපෘතියකි. එය ගොඩ නැගී ඇත්තේ චීනයේ සීඑම්සී කැපිටල් පාට්නර්ස් සමාගමත් එක්කය. එය මුලින් හැදින්වූයේ ඔරියන්ටල් ඩ්‍රීම්වර්ක්ස් නමින්ය. කුංග් ෆූ ෆැන්ඩා චිත්‍රපටය හැදුණේ ද මේ සම්බන්ධයෙ උපයෝගි කොට ගෙනය. ඔවුන්ගේ අලුත්ම ව්‍යාපෘතිය Abominable පසුගිය සැප්තැම්බර් 7 වැනි දින ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජාත්‍යන්තර මුල් ප්‍රදර්ශණය පැවැත්විණ.එය ලොව පුරා මේ වන විට මිලියන 87 ක ආදායමක් උපයාගෙන ඇති අතර එයට ඉහලම විචාරක ප්‍රතිචාර ලැබෙමින් පවතී. එහි සිනමා ප්‍රදර්ශණය එයට දෙවසරකට පෙර සැලසුම් කළ පරිදි සැප්තැම්බර් 27 වැනි දින ආරම්භ කිරීමට ලොව පුරා බෙදාහරින යුනිවර්සල් සමාගම සමත්විය.

චිත්‍රපටයට පාදක වනුයේ ෂැංහයි නගරයේ මහල් නිවාස සංකීර්ණයක වෙසෙන යී නම් වයලීන වාදන යෞවනියක් වටාය. ඇයට එම නිවාස සංකීර්ණයේ සදළුතලයේ දී අහම්බෙන් යෙටී සත්වයෙකු මුණගැසෙයි. යෙටී යනු අද්භූත සත්ව කොට්ඨාසයකැයි විශ්වාස කරනු ලබත්. පෙනුමෙන් දැවැන්ත මිනිස් ස්වරූපය සහිත වානරයෙක් බඳු යෙටී ජීවත්වනවායැයි උපකල්පනය කරනුයේ එවරස්ට් ආශ්‍රිතවය. පසුගිය කාලවකවානුවල මෙරට කලබැගෑනියක් ඇති කළ නිට්ටෑවන් ගැන කතා මෙන් යෙටී වැනි අද්භූත මිනිස් සවරූපය ගත් සතුන් හෝ එබඳු සංකල්ප ලොව පුරා මිනිසුන්ගේ සිත් වල පවතියි. සමහරු යෙටී ගැන විශ්වාස කරන අතර සමහරු එය සම්පප්‍රලාපයකැයි ඉවත ලති. එහෙත් මේ සත්වයා සම්බන්ධ බටහිර සහ පෙරදිග ලෝකයේ බොහෝ නිර්මාණ පාදක ව ඇත්තේය.

හිම පෙදෙස් වල විශාල වානරයකු නැත්නම් ගෝරිල්ලකු ගේ ස්වරූපය මෙමගින් උපකල්පනය කරනු ලබන අතර ඇමරිකානුවෝ ඔහුට බිග්ෆුට් යන නම ව්‍යවහාර කරති. ටිබෙට් වාසින් අතර බහුතරය යෙටී විශ්වාස කරන අතර හිමගිර තරණය කරන ඇතැමුන්ට යෙටී මුහුණට මුහුණ මුණ නොගැසුන ද ඔහුගේ පා සලකුණු දැක ගන්නට ලැබුණු වග ඇතැම් වාර්තා වල සඳහන් වෙයි. එබැවින් තවමත් යෙටී යනු පුරාවෘත්තයක් සේ සළකති. එහෙත් යෙටී සැබෑ සත්වයකු ලෙස විශ්වාස කරන්නට සිදුව ඇත. ඒ Abominable නරඹන්නට කැමැති නිසාය. එය සිනමාකෘතියක නොව අප ඇස් පනාපිටඅප අත්විඳීන සත්‍යයක් ලෙස සිනමාකරු අපට පෙන්වා දෙන හෙයින්ය.

ඉඳීන් එකෝමත් එක දවසක යී ට යෙටී මුණගැසෙනුයේ චීනයේ වඩාත් කලබලකාරි ෂැංහයි නගරයේ තම නිවාස සංකීර්ණයේ සදළුතලයේය. කොයි ලෝකයෙන් කඩා වැදුණද නොදන්නේ නමුත් මේ දැවැන්ත. හිම මිනිසා ගැන මුලින් කලබල වෙන යී පසුව යෙටී ගැන අනුකම්පා කරන්නට පටන්ගනියි. යී ගේ මිතුරන් වූ ජින් සහ පෙන්ග් දෙපොල මේ යෙටී ට එවරස්ට් යයි නම තබති. එවරස්ට් කෙසේ හෝ ඔහුගේ සැබැ නවාතැන නැතහොත් එවරස්ට් කදු නිම්නයට හෝ ගෙන යෑම ඔවුනගේ වැයම වෙයි. එහෙත් පරහකට හිටින්නේ බර්නිෂ් නම් කෝටිපතියා යෙටී අල්ලා ගැනීමට කරන කුමන්ත්‍රණයයි. යෙටී ඔහුට නුහුරු පරිසරයක තබාගැන්ම මහත් විපත්තිදායකය. ඔහු නිසා වන අකරතැබ්බ ද බොහොමයකි. එහෙත් සත්ව විද්‍යාඥවරියක වන සාරා මිතුරන්ට උපකාර කරන්නට සූදානම් වෙති .

බැලූ බැල්මට මේ කතාව අප අසා තිබෙන වර්ගයේ කතාවකි. කලකට ඉහත බිග්ෆුට් ඇන්ඩ් හෙන්ඩර්සන් චිත්‍රපටය ද මේ වගේමය. බොහෝ චිත්‍රපට කතා එකවාගේ වුවත් අවසානය සිද්ධ වන ආකාරය කොහොමදැයි දැන ගන්නට අපට ඇත්තේ කුතුහලයකි. එය ජයගන්නේ එතැනය. අවසානය වන අන්දම අපි දනිමු. ප්‍රශ්ණය එය කෙසේ සිදුවිය හැකි ද යන්නය. Abominable චිත්‍රපටයේත් සාර්ථකත්වය එයයි. අද්භූත සත්වයා බේරාගැන්ම කලකට ඉහත ස්පිල්බර්ග් හැදූ ඊටී චිත්‍රපටයේ ද සිදුවෙයි. කොටින්ම බොන්ඩ් කතා නිමවනුයේ අවසානයේ සියලු සතුරන් මැඩ ජේම්ස් බොන්ඩ් ජය ගැනීමෙන් බව අපි දනිමු. එහෙත් මෙවර ජයගන්නේ කෙසේද යන්න දැන ගත යුතුය. Abominableටත් එය පොදුය. චීනයේ ෂැංහයි සිට එවරස්ට් දක්වා යෙටී ගෙන යෑම සෙල්ලමක් නොවේ. එහෙත් කළ යුතුය. කරන්නේ කෙසේද ?

මේ චිත්‍රපටයේ මුල් නම ද එවරස්ට්ය. එහෙත් එවරස්ට් නමින් චිත්‍රපටයක් සාර්ථකව තිර ගත වූ හෙයින් දෝ එය වෙනස්විය. පරිගණක තාක්ෂනික චිත්‍රපටයක් ලෙස මුල සිටම නිර්මාණය වුන චිත්‍රපටය හදන්නට පැවරුණේ ජිල් කල්ටන්ටය. ඒ 2010 වසෙර්ය. ඒ වන විට ඇය සිය මුල්ම චිත්‍රපටය සීසන් තනා නමක් දිනා සිටියාය. එය සෝනි පික්චර්ස් සමාගමේ මුල්ම ඇනිමේෂන් චිත්‍රපටය සීසන්ය. හොලිවුඩ් සිනමාවේ දැවැන්ත කම්පියුටර් ඇනිමේටඩ් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ගෞරවයලත් මුල්ම කාන්තාව හැටියට ඇය එමගින් වාර්තාවක් තැබුවාය. 1993 වසරේ සුප්‍රකට පික්සාර් ඇනිමේෂන් ස්ටුඩියෝවේ රැකියාවට පැමිණි ඇය එහිදී ටෝයි ස්ටෝරි , අ බග්ස් ලයිෆ් වැනි චිත්‍රපට සදහා දායක වූයේ චිත්‍රපට ස්ටෝරි බෝඩ් ශිල්පිනියක් හැටියටය. මොන්ස්ටර්ස් ඉන්ක් චිත්‍රපටයට දායක වන ඇය එහි සංවර්ධන අංශ ප්‍රධානියා ලෙස උසස් වූවාය. පික්සාර් වෙතින් 2002 වසරේ දී සෝනි පික්චර්ස් ඇනිමේෂන් ආයතනයට ගිය ඇයට එහිදී ඕපන් සීසන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ලැබිණ.

ඕපන් සීසන් දෙවැනි චිත්‍රපටයේ ඇය විධායක නිෂ්පාදක වූවාය. එහිම හොටෙල් ට්‍රාන්සිල්වේනියා චිත්‍රපටයට ද ඇය දායක වූවාය. ඇය ඩ්‍රීම්වර්ක්ස් හා එක්වූයේ 2010 වසෙර්ය. එහි දී ඇය Abominable චිත්‍රපටය නිර්මාණය කරන්නට පැවරිණ. 2016 වසරේ දී ඇය ඩ්‍රීම්වර්ක්ස් හැරගිය ද යළි නැවත එක්වූවාය. ජිල් තාවකාලිකව ඩ්‍රීම්වර්ක්ස් වෙතින් ඉවත්වෙද්දී ටිම් ජොනසන් චිත්‍රපටයේ කටයුත්ත නිමාකිරීම පවරා තිබිණ. ටිම් ජොන්සන් ඇන්ට්ස් හා සින්බෑඩ් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. එයට ටොඩ් වයිඩර්මාන් ද දායක විය.

2016 වසරේ දී ඩ්‍රීම්වර්ක්ස් සිය චිත්‍රපටය 2019 වසරේ සැප්තැම්බර් 27 වැනි දින ලොව පුරා ප්‍රදර්ශනය අරඹන බව නිවේදනය කළේය. මේ වන විට ඔවුන් කුංග් ෆූ ෆැන්ඩා තෙවැන්න නිර්මාණය කරමින් සිටියහ. 2018 වසරේ දී යළි පැමිණි ජිල් කල්ටන් නැවත චිත්‍රපටය බාර ගත්තාය. යී ගේ චරිතය සඳහා චීන සම්භවයක් සහිත අමෙරිකානු නිළි ගායිකාවක වන ක්ලෝ බෙනට් තෝරා ගත්තේ එයින් පසුවය. චිත්‍රපටයේ පැරනි නම වෙනුවට අලුත් නම යෙදුණේ 2018 වසරේ මැයි මස 18 වැනි දිනය. Abominable ඉතා අලංකාර හා සිත් බඳනා සුළු චිත්‍රපටයක් ලෙස විචාරකයන්ගේ අවධානය මේ වනවිට දිනා ගනිමින් සිටිති. මුළු පවුලටම එය රසාස්වාදය ගෙන දෙන්නක් බැව් පොදු නිගමනයයි. 2019 වසරේ ඇනිමේෂන් චිත්‍රපටයක් මුල් දින ලද අමෙරිකාවේ හොඳම ආදායම ඩොලර් මිලියන 20.9 ක් එය උපයා ගැන්මට සමත්විය. එය දෙවැනි සතියේ ජෝකර්ට දෙවැනි විය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.