ප්‍රවේගයෙන් පසුව අසුරන්

ඔක්තෝබර් 17, 2019

දැනට වසර කිහිපයකට පෙර තිර ගත වූ ප්‍රවේගය චිත්‍රපටය සමඟ සිංහල සිනමාවේ අලුත් ජවයක් ගොඩ නැගිණ. එකක් දිගු කලකට පසු අලුත් සිනමා වීරයකු ලෙස හේමාල් රණසිංහ සිනමාවට දොරට වැඩීමය. ඔහුගේ රංගනය සරසවිය සම්මාන උලෙළේ විශේෂ ජූරි සම්මානයකින් ද පුදනු ලැබ්වේ ඒ වසරේ හොඳම නළුවා හා සම තැන් ලබමින්ය. ප්‍රවේගය චිත්‍රපටය එයට වසර කිහිපයකට පෙර තමිල්නාඩුව හෙල්ලූ දෙමළ චිත්‍රපටයක ප්‍රති නිර්මාණයකි අලුත් වචනය නම් රී මේක් එකකි. ඒ චිත්‍රපටය පොල්ලාදවන්ය. පොල්ලාදවන් සමග අලුත් අධ්‍යක්ෂවරයෙක් දෙමළ සිනමාවට පැමිණියේය.

ඔහු වෙට්‍රිමාරන්ය. පශු වෛද්‍යවරයකු වූ චිත්‍රවේල් ප්‍රභූ ගේ සහ නවකතාකාරියක වන මේඝලා චිත්‍රවේල් ගේ පුතනුවන් ව ඔහු උපත ලද්දේ 1975 වසරේ සැප්තැම්බර් මස 4 වැනි දිනය. පසුකලෙක චෙන්නායි නගරයේ සුප්‍රකට ලොයෝලා විදුහලේ ඉගෙනුම ලැබූ ඉංගීසි සාහිත්‍ය හැදෑරුවේය. සිනමා කර්මාන්තයට පිවිසීමත් සමඟ ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය අත හැරියේය. වෙට්‍රිමාරන් සිනමාවට පිවිසියේ අහම්බයක් හැටියට නොවේ. ඔහු මඩකලපුවේ ඉපිද දකුණු ඉන්දියානු සිනමාවේ මහා සිනමාකරුවකු බවට පත් වූ බාලු මහේන්ද්‍රන්ගේ අවසාන ගෝලයන් කිහිප දෙනාගෙන් කෙනෙකි. සිනමා විචාරකයන්ගේ මතය අනුව වර්තමාන දකුනු ඉන්දියානු සිනමා සම්ප්‍රදායේ පියා බාලු මහේන්ද්‍රය. වෙට්‍රිමාරන් සිනමාවට පිවිසෙන්නේ බාලු සන් ටීවී වෙනුවෙන් සාදන ලද කාදයි නේරම් කෙටි ටෙලි මාලා නාටකය කණ්ඩායමේ සහාය අධ්‍යක්ෂවරයකු හැටියටය.

සතියකට ‍කෙටි කථා පනහක් හැටක් කියවන ඔහු එයින් කිහිපයක් තෝරා එයින් සිනමා සාරාංශ ගත කරන දෑ බාලු හමුවේ කියවීම රාජකාරිය කර ගත්තේය. බාලු මහේන්ද්‍ර අතින් ටෙලිවිෂනයට නැගුණේ එයින් ද තෝරා ගන්නා කථාවකි. එයින් පසු ඔහු බාලු මහේන්ද්‍ර ගේ ජූලි ගණපති සහ අධු ඔරු කනා කාලම් යන චිත්‍රපට වල සහාය අධ්‍යක්ෂ විය. ඔහු මුල්ම චිත්‍රපටය තන්නනට සැරසෙන්නේ එහිදීය. අධු ඔරු කනා කාලම් ප්‍රධාන චරිතය රඟපෑවේ පසුකලක ඔහුගේ සිනමාවේ සුසංයෝගය වන ධනුෂ්ය. දේශිය නෙඩුම්චාලයි 47 නමින් මුල්ම තිර නාටකය ලියා ගෙන ඔහු ධනුෂ් මුණ ගැසුණේය. තිරනාටකය කියැවූ ධනුෂ් එයට එක පයින් කැමැති විය. එහෙත් චිත්‍රපටයට මුදල් යෙදවීමට කැමැත්තෙන් සිටි සුප්‍රකට නිෂ්පාදක ඒ.එම්.රත්නම් හිටි අඩියේ චිත්‍රපටයෙන් ඉවත් විය. ධනුෂ් ගේ සහෝදරිය වූ දොස්තර විමලා ගීතා ද මුලින් එකඟ වුවත් පසුව ඉවත් විය. ධනුෂ්ගේ පියා වූ ස්‍රප්‍රකට නිෂ්පාදක කස්තුරි රාජා එයට කැමැති වූවත් චිත්‍රපටයේ දින දෙකක රූප ගැන්වීමෙන් පසු ධනුෂ් තිරුවිලායුදල් ආරම්භම් චිත්‍රපටයේ කටයුතු සඳහා එයින් ඉවත් ගියේය.

තවත් නිෂ්පාදකවරු කිහිප දෙනෙකු අතට ගියද චිත්‍රපටය කෙරුණේ නැත. ඔහු පොල්ලාදවන් හැදුවේ එයින් පසුවය. එය අතිශය සාර්ථක චිත්‍රපටයක් විය. වෙට්‍රිමාරන් හොඳම අධ්‍යක්ෂට හිමි විජය සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. මුල්ම සම්මානය දිනා ගත් ඔහු එය සිය සිනමා ගුරුවරයාගේ දෙපාමුල තබා ආශිර්වාදය ලබා ගත්තේය. ඔහුගේ දෙවැනි චිත්‍රපටය ආඩුකාලම් හොඳම අධ්‍යක්ෂට සහ තිර රචකට හිමි ඉන්දියානු ජාතික සම්මානය දිනා ගැනීමට සමත්වීමත් සමග වෙට්‍රිමාරන් පිළිබද බොහෝ දෙනා අවධානය දිනා ගත් සිනමා කරුවෙක් බවට පත් විය.ඔහුගේ තෙවැනි චිත්‍රපටය විසරනෙයි හොඳම චිත්‍රපටයට හිමි ජාතික සම්මානය දිනා ගත්තේය. එයට පාදක වූයේ තමිල්නාඩු වේ සිට ආන්ද්‍රාවට ගොස් නිකරුණේ අත් අඩංගුවට පත් තරුණයන් පිරිසක් පිළිබද කතාවකි. එය බෙහෙවින් ආන්දෝලානාත්මක චිත්‍රපටයක් විය.

සිව් වැන්න වූයේ වඩ චෙන්නායි ය. වඩ චෙන්නායි තමිල්නාඩු පාතාල ලෝකය කේන්ද්‍ර කර ගනිමින් පරස්පර කාල වකවානු එකිනෙක ගෙන සූර වියමනක් ලෙස ගොඩනගන ලද තිර නාටකයකින් සමන්විත වූ චිත්‍රපටයකි. වෙට්‍රිමාරන්ගේ චිත්‍රපට අතරින් ධනුස් රඟපෑමෙන් දායක නොවුණේ විසරනෙයි චිත්‍රපටයට පමණකි. එහෙත් එයට ද ඔහු නිෂ්පාදනයෙන් දායක විය. ධනුෂ් සහ වෙට්‍රිමාරන් එක්ව තැනුණු නවතම සිනමා කෘතිය අසුරන්ය. එයට පාදක වනුයේ සම්මානනීය දෙමළ ලේඛක පූමානි විසින් රචනා කරන ලද වේක්කල් නමැති කෘතියයි. 2014 වසරේ ඉන්දියානු සාහිත්‍ය සම්මානය ඔහුගේ අග්නාදි නවකතාව උදෙසා දිනා ගන්නා ලදී. පූමානි සිනමාකරුවෙකු ද වෙයි. 2003 වසරේ දී පූමානි විසින් අධ්‍යක්ෂණය කරන ලද කරුවේලම් පූක්කල් තමිල්නාඩු ප්‍රාන්ත සම්මානය දිනා ගත්තේය. එය නිෂ්පාදනය කරන ලද්දේ එවකට පැවැති ඉන්දියානු ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාවයි.

වෙට්‍රිමාරන් ගේ නවතම සිනමා කෘතිය අසුරන් පසුගිය සතියේ තිරයට එක්විය. එය සුප්‍රකට නිෂ්පාදක කලියිපුලි එස් තනු ගේ නිෂ්පාදනයකි. ශිව සාමි එහි ප්‍රධාන චරිතයයි. ඔහු තිදරු පියෙකි. දරු පවුල සමග යහතින් ජීවත් වන ඔහුගේ ජීවිතය වෙනස් වනුයේ පලාතේ ධනවතකු වු නරසිමිහම්ගේ පැමිණීමත් සමඟය. ඔහුගේ අවශ්‍යතාව සිව සාමිගේ ඉඩමයි. අරගලය ඇරඹෙනුයේ එයින්ය. එහි ප්‍රතිඵලය වූයේ ශිව සාමිගේ පුතුන් ඝාතනයව වීමයි. මේ සාමාන්‍ය ඉන්දියානු දෙමළ චිත්‍රපට කතාවක් බව සැබෑවකි. එහෙත් වෙට්‍රිමානි නම් සිනමාකරු වැදගත් වනුයේ එහිය. ඔහු එය ඉදිරිපත් කරන විලාසය හා බලසම්පන්න තිර නාටකයේ මහිමය හේතුවෙන්ය. වෙට්‍රිමාරන් සහ ධනුෂ් එක්ව අවසාන වරට තැනුණු වඩ චෙන්නායි චිත්‍රපටය නිමාවනුයේ එහි දෙවැන්නක් හැදෙනු ඇතැයි යන ඉඟියත් සමගය.

වඩ චෙන්නායි වැනි චිත්‍රපටයක් දකුණු ඉන්දියානු සිනමා පේ‍්‍රක්ෂකයන් විසින් වටහා ගනු ලැබීම හා එමගින් එය වාණිජමය වශයෙන් සාර්ථක වීම එරට සාමාන්‍ය පේ‍්‍රක්ෂකයන්ගේ අලුත් පිබිදිමක් පෙන්නුම් කිරීමකි. එහෙත් එහි දෙවැනි චිත්‍රපටය පසුවට තබන ධනුෂ් හා වෙට්‍රිමාරන් දෙපොළ අසුරන් නිර්මාණය කිරීමට තීරණය කරත් වෙට්‍රිමාරන් මෙවර සනාථ කරනුයේ දෙමළ සිනමාවේ ප්‍රධාන ප්‍රවාහය ද සැබෑ මනුෂ්‍ය හැඟිම් ද යා කරන්නට සමත් සිනමාකරුවන් අතළොස්ස අතරින් වඩාත්ම කැපී පෙනෙන සිනමාකරුවා ඔහු බවට වර්තමායේ විවාදයක් නැති විත්තියයි. ඔහුගේ සිනමාව ප්‍රචණ්ඩකාරි බව ඇත්තය. එහෙත් එහි ජීවත් වන මිනිසුන් කිසිවකු හෝ අප අතර නැතැයි කිසිවකුට හෝ කිව නොහැක. මේ ප්‍රචණ්ඩත්වය අවසානයේ වීරයා දිනා විසිල් එකක් ගසා නිම කිරීම පැත්තක තිබිය දී ඔහු අපට සිත යටින් බල කරනුයේ එම චරිත පිළිබද හිතා බලන ලෙසය. මේ නිසාම සැම මරණයක් කෙරෙහිම අප තුළ ඇති වනුයේ අනුකම්පාවකි.

ධනුෂ් සමග මලයාලම් සිනමාවේ ජනප්‍රිය සිනමා තාරකාව වන මන්ජු වාරියාර්, පසුපති, බාලාජි ශක්තිවේල් ඇතුළු සියල්ල එහි විශිෂ්ට රංගනයක යෙදෙති. එය සම්පූර්ණ චිත්‍රපටයකැයැයි විචාරකයෝ පවසති. සැබැවින්ම අසුරන් වෙට්‍රිමාරන්ගේ ලකුණ යළිත් ඉන්දියානු සිනමාවේ සලකුණු කළ චිත්‍රපටයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.