විසිල් ලෑස්තිද විජය යළි එයි

ඔක්තෝබර් 24, 2019

BIGIL

විජය යනු දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රියම නළුවා නොවේ. ඔහු කිසිවිටෙකත් දක්ෂ නළුවකු ද නොවේ. ආරම්භයේ සිට ඔහු රඟපෑ කිසිදු චිත්‍රපටයක විජය ඒ ඒ චරිතවලට පෙනී සිටිනවා විනා කිසිවිටෙකත් බරපතල රංගනයක නියැලෙන්නේ නැ. රංගනයට පිවිස දශක ගණනාවක් ගත වුව ද රංගණයේ පමණක් නොව ඔහුගේ බාහිර ස්වරූපයේ ඇති හැඩරුවේ ද වෙනසක් නැත. සාමාන්‍යෙයන් තමිල්නාඩු මතය විජය යනු වැඩි සෝබනයක් නැති නිහතමානි මිනිසකු හැටියටය. එමෙන්ම විජය තරම් මෙරට ආකර්ෂණය දිනූ තවත් තමිල්නාඩු නළුවකු නැති තරම්ය. වරක් ලංකාව ලෝක සිතියමින් අකුලා දමන්නේයැයි තමිල්නාඩු දේශපාලකයන්ගේ වචන සෙට් එකක් දමා ෂෝ එකක් දැම්ම ද විජයට ලංකාවේ විසිල් ගසන මෙරට ප්‍රේක්ෂක්යන්ගෙන් වැඩි හරියක් සිංහලයන්ය.

විජයගේ චිත්‍රපටයක් තිර ගත වන විට මරදානේ සිනෙසිටි සිනමා සංකීර්ණය ඉදිරිපිට අඩි තිහ හතලිහක් උසට ගොඩ නැගෙන කටවුට් එකට නැඟ ඔහුගේ ගෙලට මල්මාලා දමා නලළේ තිලක තබන්නේ තමිල්නාඩුවෙන් ආනයනය කරන රසිකයන් නොවේ. විජය යනු හැමවිටම සිනමාකරුවන්ගේ නළුවෙකි. විජය රඟපෑ හැම සාර්ථක චිත්‍රපටයක්ම පසුපස සිටියේ දක්ෂ සිනමාකරුවෙකි. මුරුගදාස් ශන්කර් මෙන්ම ඇට්ලි ගේ චිත්‍රපට තුළ විජයගේ රඟපෑම එයට කදිම උදාහරණයකි. ඔහුගේ පියා එස්.ඒ.චන්සේකර වැන්නන් ගේ චිත්‍රපට සඳහා විජය ගෙන එන කබල් රඟපෑම එයට හොඳම උදාහරණයකි. විජය වෙනුවෙන් යළිත් වරක් විසිල් ගසන්නට කාලය එළැඹ ඇත්තේය. ඒ ඔහුගේ නවතම චිත්‍රපටය බිගිල් හෙට සිට ලොව පුරා තිර ගත කරවීම ඇරඹීමත් සමඟය. බිගිල් තරුණ සිනමාකරු ඇට්ලී කුමාර්ගේ අධ්‍යක්ෂණයකි. දකුණු ඉන්දියානු සිනමාවත් මෑතක සිට තම වැය ශීර්ෂය ගැන වුවමනාවටත් වඩා කයිවාරු ගසන බව නොරහසකි . බිගිල් වැය කළ මුදල ඉන්දියානු රුපියල් කෝටි180කි. එය දෙවැනි වනුයේ රජිනිකාන්ත් රඟපෑ 2.0 චිත්‍රපටයේ වැය ශීර්ෂයට පමණකි. සිනමා කෘතියක් වෙනුවෙන් වැය වූ මුදල කියමින් පාරබෑම සිනමාකරුවන්ගේ ලක්ෂණයක් වුවත් එයට වැය කළ මුදල සිනමා තිරයේ ඔප්පු කර පෙන්වීම සිනමාකරුවාගේ හපන්කමකි.

බිගිල් අධ්‍යක්ෂණය කළ ඇට්ලී එය සනාථ කර තිබේ. ඇට්ලි කුමාර් සිනමාවට එක්වනුයේ දෙමළ සිනමාවේ වඩාත් ජනප්‍රිය සිනමාකරුවකු වූ ශන්කර්ගේ සහාය අධ්‍යක්ෂ හැටියට කටයුතු කරමින්ය. ඒ ශංකර් අධ්‍යක්ෂණය කරන ලද ඵෙන්දිරන් සහ නන්බන් යන නිර්මාණයන්හි සහාය අධ්‍යක්ෂ හැටියටය. ඇට්ලි අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වැඩියේ රාජා රාණි අධ්‍යක්ෂණය කරමිනි. 2013 වසරේ තැනුණු රාජා රාණි බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙලුවා පමණක් නොව වසරේ නැගී එන සිනමාකරුට හිමි විජය සම්මානය ද ඇට්ලිට දිනාදුන්නේය. ඒ ෆො ඇපල් නමින් තමන්ගේම නිෂ්පාදන සමාගමක් ආරම්භ කළ ඇට්ලී අයිකේගේ අධ්‍යක්ෂණයෙන් යුතුව සංගිලි බංගිලි කාදව තෝරේ නමින් භීෂණාත්මක හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් සිනමාවට නැංවුයේය.

ඇට්ලී සහ විජය එක්වන තුන් වැනි අවස්ථාව මෙය වන්නේය. ඔවුන් දෙදෙනා එක් වූ මුල් අවස්ථා දෙකෙහිම විජය ෆිල්ම්ෆෙයාර් තමිල්නාඩු සම්මානය සදහා හොඳම නළුවාට නිර්දේශ වූයේය. 2016 වසරේ තැනුණු තේරි එහි මුල් අවස්ථාවයි. දෙවැන්න 2017 වසරේ තැනුණු මෙර්සල්ය. මෙර්සල් චිත්‍රපටයේ විජය ත්‍රිත්ව චරිත නිරූපණයක යෙදිණ. මෙර්සල් චිත්‍රපටය දෙමළ සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලද චිත්‍රපට අතර පස් වැන්න වූ අතර විජයගේ චිත්‍රපට අතර වැඩිම ආදායම් ලද චිත්‍රපටය විය. බිගිල් චිත්‍රපටයේ ද විජය ද්විත්ව චරිත නිරූපණයක යෙදෙයි. ඒ රායප්පන් නම් මැරවරයකු සහ මයිකල් හෙවත් බිග්ලි නම් ක්‍රීඩකයකු ලෙසය. නාහෙට නාහන තරුණියන් පිරිසක ගේ පාපන්දු කණ්ඩායමක

දරුණු පුහුණු කරුවකු වන මයිකල් ගේ හොඳම මිතුරා ගේ මරණය ඔහුගේ ජීවිතය වෙනස් කරලීමට සමත්වෙයි. බිග්ලී ගෙන එන ක්‍රියාදාම චිත්‍රපටයේ කතාන්දරය එයයි. එමෙන්ම එය ක්‍රීඩා ලෝලින්ට අපූරු අත්දැකීමක් ගෙන එනු ඇතැයි විහ්වාසය. ඒ එයට පාදක වන්නේ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධ වන නිසාය. මෙයට පෙර විජය ගිල්ලි චිත්‍රපටයේ කබඩි ක්‍රීඩකයකු ලෙස චරිත නිරුපණය කළේය. ඇට්ලී ගේ නවතම සිනමා නිර්මාණය ඉතා විශිෂ්ට ක්‍රියාදාම පිරි චිත්‍රපටයක් ලෙස දැනටමත් හඳුන්වා දෙනු ලබති. මයිකල් ලෙස විජය ගේ නවතම කොණ්ඩ විලාසය විජය රසිකයන් ගේ නවතම විලාසිතාව බවට පත්ව ඇත්තේය. එපමණක් නොවේ. විජය දකුණු ඉන්දියාවේ ජනප්‍රියම සිනමාතාරකාව වූ නයනතාරා සමග ද සුප්‍රකට විකට නළු විවේක් සමගද චිත්‍රපටයකට දායක වනුයේ දස වසරකට පසුවය. විජය සහ නයනතාරා එකට රඟපෑ මෙයට පෙර එකම අවස්ථාව 2009 වසරේ තැනුණු විල්ලු චිත්‍රපටයයි. බිගිල් චිත්‍රපටයේ සංගීතය ඒ.ආර් රෙහ්මාන් ගෙනි. චිත්‍රපටයට ගීත පහක් ඇතුළත් අතර ගී සියල්ලම රචනා කරන ලද්දේ විවේක් විසින් වීම විශේෂයකි. එහි එක් ගීතයක් ගායනා කරනු ලබනුයේ ද විජය විසින්මය. සුප්‍රකට හින්දි නළු ජැකී ශ්රොෆ් මෙහි ප්‍රධාන චරිතයකට එක්වීම ද විශේෂයකි. චිත්‍රපටයේ රූප ගත කිරීම් ආරම්භ වූයේ පසුගිය ජනවාරි 21 වැනි දිනය.

එනම් ලංකාවේ මුල්ම කතානාද චිත්‍රපටය තිර ගතවීමේ සංවත්සරය දවසේය. චිත්‍රපටය විසිල් නමින් තෙළිඟු බසින් ද තිරගත වීමට නියමිතය. බිගිල් නම් දෙමළ වචනයේ අර්ථය ද විසිල්ය. එසේ තිබිය දී තෙළිඟු කෙටි චිත්‍රපය නිර්මාණකරුවෙකු වූ නන්දි චින්නි කුමාර් අධ්‍යක්ෂ ඇට්ලි ට විරුද්ධව ඉන්දියානු බුද්ධිමය දේපළ නීතිය යටතේ නඩු පැවරීමට සුදානම් වන බව ටෛයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරයි. ඇට්ලි විසින් නිර්මාණය කරන ලද මයිකල් ගේ චරිතය තමා විසින් තෙළිඟු සහ ඉංග්‍රිසි බසින් නිර්මාණය කිරීමට සැරසෙන චිත්‍රපටයක එන චරිතයක් වූ පාපන්දු ක්‍රිඩකයකු වන අකිලේශ් පෝල් ගේ චරිතය බව ඔහු චෝදනා කරයි. තෙළඟනා සිනමා තිර රචකයන්ගේ සංගමය ට පැමිණිල්ලක් ඉදිරිපත් කරන නන්දි තමාට වූ අසාධාරණයට එරෙහිව කටයුතු කරන ලෙස දන්වා සිටියි. මේ අතරවාරයේ චෙන්නායි අධිකරණයට ලැබුණු පැමිණිල්ලක් වනුයේ තිර නාටක රචක කේ.පී.සෙල්වා විසින් පිටු 256 කින් ලියන ලද තිර රචනය සොරකම් කොට බිගිල් නිර්මාණය කර ඇති බවය. තම තිරනාටකය තමිල්නාඩුවේ බොහෝ නිෂ්පාදකයන් සමග සාකච්ඡා කළ එකක්යැයි සෙල්වා චෝදනා කරයි.

විජයගේ චිත්‍රපටයක් තිර ගත කරවන විට මෙබදු ප්‍රතිචාර අලුත් දේ නොවේ. 2012 වසරේ දී තුපාක්කි තිර ගත කරවීමේ දී මුස්ලිම් අන්තවාදින් විසින්ද 2013 වසරේ දී තලයිවා තිර ගත කරවද්දී එය තමාගේ හා තම පියාගේ කතාවයි කියමින් කන්නන් නමැත්තකු විසින් ද කත්ති චිත්‍රපටය මුදල් යෙදවීම සම්බන්ධව තමිල්නාඩු ඇතැම් දේශපාලඥයන් ද 2017 වසරේ දී මෙර්සල් නමට එරෙහිව ද 2018 වසරේ දි සර්කර් චිත්‍රපටය මගින් පැවැති තමිල්නාඩු රජය අපකීර්තියට ලක් කරන්නේයැයි ද කියමින් බාධා පමුණුවන ලදී. විජයගේ ඉදය තලපති නම් අන්වර්ථ නාමයට එරෙහිව හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාමි විවිධ කෙනහිලි කළාය.

කෙසේ වෙතත් බිගිල් ට්‍රේලර් පටය අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු එයට ලැබුණේ ඉහළම ප්‍රතිචාරයකි. එහි එන ඇතැම් ක්‍රියාදාමයන් විජයගේ පැරැණි චිත්‍රපට සිහි ගන්වන සුළු වුවත් ඒ රූප ගත කර ඇති විලාසය නැවුම්ය. විජයගේ බිගිල් පිලිබඳ බලා සිටින සිනමා රසිකයන් අතර බොලිවුඩ් සිනමා නළු ශා රුක් ඛාන් ද සිටිම විශේෂයකි. බිගිල් ට්‍රේලර් පටයට වහ වැටුනු අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමාන නිවේදක රසල් ආනෝල්ඩ් එළැඹෙන දීපාවලියේ බිගිල් නැරඹිමට අදහස් කරන බව සිය සමාජ ජාලා වෙබ් අඩවියේ සඳහන් කොට ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා කර සිටියි.විජය රඟන බිගිල් චිත්‍රපටය හා තරගයට මෙවර දීපාවලි සමයේ තිර ගත වන අනික් දෙමළ චිත්‍රපටය නම් කාර්ති ප්‍රධාන චරිතය රඟන කයිති චිත්‍රපටයයි. විජය රඟපාන මීළග චිත්‍රපටය වන තලපති 64 අධ්‍යක්ෂණය කරනු ලබනුයේ කයිති අධ්‍යක්ෂ ලෝකේෂ් කනගරාජ් විසින් වීම විශේෂයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.