සතුට රැගෙන යළි වඩින්න

ඔක්තෝබර් 24, 2019

THE SKY IS PINK

ජිනාදරී අත්තනායක තරුණ හෙදියකි. රස්සාවට ගිය අලුත ඇයට අලුතින් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ ඉංජිනේරුවකු වූ සේනක මුණ ගැසෙයි. එය ආදරයට පෙරළෙයි. අලුත් සංවර්ධන ව්‍යපෘතිය නිසා ගම්බිම් හැර යන්නට සිදූ වූ මිනිසුන් අතර ජිනා ද කෙනෙකි. ඇය ජීවත් වනුයේ මව හා පියා සමගය. එහෙත් සේනක හා විවාහ වන්නට නම් ඇය රැකියාව අත්හැරිය යුතුය. මහලු මව්පියන්ට සලකන්නට නම් ඇයට රැකියාව අවශ්‍යයය. අනපේක්ෂිත ලෙස ඇය ගැබ් ගත්තාය. රැකියාව , පවුලේ අනාගතය ආදිය සලකා ඇය තීරණයක් ගත්තාය. ඒ දරු ගැබ නසන්නට ප්‍රතිකාර ගැනිමය. එහෙත් සේනක එයට විරුද්ධය. ඔහු ඇය විවාහ කර ගනියි. ඇයට ඇති එක ගැටලුවක් වනුයේ තම මහලු මව්පිය යුවළ රැක ගැනීමය. විවාහයෙන් පසු සුන්දර දිවියක් ඇය මෙන්ම ඔහු ද බලාපොරොත්තු වුව එය අහිමිවනුයේ ඔවුන්ට උපන් දරුවා හදිසියේ රෝගාතුරව මිය යාමය. එයට හේතුව වනුයේ විවාහයට පෙර උපදින දරුවා ගබ්සා කිරීමට ජිනාදරී ගන්න වෑයමයි. මේ සංවේදී පුවත අපේ සිනමාවේ දිග හැරුණේ 1980 වසෙර්ය. ඒ විජය ධර්මශ්‍රී නිර්මාණය කරන ලද ආරාධනා චිත්‍රපටයෙනි. දරු ගැබක් විනාස කරන්නට තැත් කළ ද ජිනාදරී ගැන කවම කවරදාවත් නපුරක් සිතන්නට කිසිවිටෙකත් ආරාධනා නැරඹු ප්‍රෙක්ෂකයෝ නොසිතූහ.

 චිත්‍රපටයේ ජිනාදරී ලෙස නිළි රැජන මාලීනි ෆොන්සේකා ගේ රංගනය එවර සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය ඇයට දිනා දුන්නාය. සේනක ලෙස රංගධර රවීන්ද්‍ර රන්දෙණිය අපූරු රංගනයක යෙදුණි. විජය රාමනායක එහි නිෂ්පාදකවරයාය. තරංගා චිත්‍රපට සමාගමේ කුළුඳුල් නිෂ්පාදනය වන එහි ප්‍රචාරණයේ දී විජය සහ විජය එකතුවේ විජයග්‍රාහි නිර්මාණය ලෙස සඳහන් කළා මතකය. එවර සරසවිය සම්මාන උලෙළේ හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානය සුමිත්ත අමරසිංහට ද හොදම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය සිය මුල්ම නිර්මාණය උදෙසා එච්.එම්.ජයවර්ධන හා රෝහණ වීරසිංහට ද හොඳම ගීත රචනයට හිමි සම්මානය කුලරත්න ආරියවංශට ද ගායනය වෙනුවෙන් පණ්ඩිත් අමරදේවයන්ට ද හිමිවිය. පසුගිය සතියේ ඉන්දියානු සිනමා කෘතියක් ලෙස එළි දුටු ද ස්කයි ඊස් පින්ක් චිත්‍රපටය ආරම්භයේ අප මතකයට නැඟෙන්නේ ආරාධනාය. ඒ තිරෙත් සහ අදිති නිසාය. ඒ චිත්‍රපට දෙක කිසි විටෙකත් එකිනෙකා සැසඳීම යුක්ති සහගත නොවුණත් මේ චිත්‍රපට ද්විත්වයෙහිම ජිනාදරී සහ සේනක ද අදිති හා නිරේන් චෞදරි යුවළ ම මුහුණ දෙනුයේ එකම ඛේදවාචකයටය. එකිනෙකට වෙනස් වුව ස්කයි ඉස් පින්ක් නරඹන අපේ රසිකයකුට ආරාධනා සිහියට එනු වැලැක්විය නොහැකි කාරණය එයයි.

මේ ඉන්දියානු සිනමාවේදිනි ශොනාලි බෝස් විසින් නිර්මාණය කරන ලද සිව් වැනි වෘත්තාන්ත චිත්‍රපටය යි. 2005 වසරේ දී අමු නමින් මුල්ම චිත්‍රපටය තනන ඇය ඒ වන විට 40 වැනි වියේ පසුවූවාය. චිතගොං, මාග්‍රටිතා විත් අ ස්ට්‍රෝ ඇයගේ සෙසු නිර්මාණ විය. ද ස්කයි ඉස් පින්ක් චිත්‍රපටයට පාදකවනුයේ 18 හැවිරිදි වියේ දී මරණය දැක දැක ධෛර්ය සම්පන්නව මෙලොව හැර ගිය ඉන්දියානු යුවතියක් වන අයිශා චෞදරි ගේ ජීවිත කතාවයි. ගබ්සාවක් කිරීමට ගිය ද උපදින දැරියක වන අයිසා උත්පත්තියෙන් හය මසක් ගත වන්නටත් කලින් ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකට මුහුණ දුන් අතර එයින් වසර ගණනාවක් ගතවද්දී එහි අතුරු ඵලයක් ලෙස පෙනහලු ආබාධයකට ද ගොදුරු වුණාය. එහෙත් ධෛර්ය සම්පන්න යුවතිය ඒ සියලු අවස්ථාවලදී ජීවිතයට මුහුණ දුන්නාය. අයිසා මිය යන විටත් ධනාත්මක චින්තනය පිළිබඳ දේශනය පිළිබඳ පතළ ව සිටියාය. ඇය විසින් රචනා කරන ලද මයි ලිට්ල් එපිපැනීස් ග්‍රන්ථය ඇයගේ මරණයට පෙර දිනයේ එළි දක්වන්නට ඇය සමත් විය. පැය දෙක හමාරකට ආසන්න කාලයකින් යුත් චිත්‍රපටය දිග හැරෙනුයේ අයිශාගේ ආත්ම කථනයක් හැටියටය. ඒ වන විට ඇය මරණයට පත්ව අවසානය. අයිශා තම මව සහ පියා ගේ ආදර කතාව කියන්නීය. සංස්කෘතින් දෙකකට අයත් මේ යුවල විවාහයෙන් පසු පුතෙකු ලබති.

එහෙත් අදිති දෙවන වරටත් හදිසියේ ගැබ් ගනියි. එය තරුණ යුවළ බලාපොරොත්තුවූ දෙයක් නොවේ. ද ස්කයි ඊස් පින්ක් චිත්‍රපටය ප්‍රියංකා චොප්රා තෙවසරකට පසු බොලිවුඩ් සිනමාවට කැන්දා ගෙන එන සිනමා කෘතියයි. ඒ නිකම්ම නිකම් ප්‍රියංකා චොප්රා ලෙස නොව පි‍්‍රයංකා චොප්රා ජොනාස් නමින්ය. ඇය ජොනාස් මහත්මිය ලෙස නම්වූයේ පසුගිය වසරේ අමෙරිකානු ජාතික නික් ජොන්ස් සමග සිදු වූ ඇයගේ විවාහය සමඟය. එමෙන්ම ප්‍රියංකා 2016 වසරේ ජායි ගංගාජාල් චිත්‍රපටයේ රගපෑමෙන් පසු කිසිදු හින්දි චිත්‍රපටයක රඟපෑවේ නැත. මේ අවදියේ ඇය හොලිවුඩ් චිත්‍රපට ත්‍රිත්වයක රඟපෑවාය. එහෙත් ප්‍රියංකාට යළි හින්දි සිනමාවට සම්බන්ධ වන්නට වන්නේ හොලිවුඩ් සිනමාවේ අසාර්ථක නිළියක් හැටියටය. එහෙත් ඇය ද ස්කයි ඉස් පින්ක් චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක නිරත වන්නීය. මේරි කොම් හෝ බර්ෆි වැනි චිත්‍රපට හරහා ඇය විසින් පළ කරනු ලද විශිෂ්ට රංගවේදය කල් ඉකුත් නොකර යාවත්කාලින කරන්නට ඈ මෙහි වග බලා ගනියි. එහෙත් හොලිවුඩ් සිනමාවට ඇය අවතීර්ණය වද්දී ඇය සතුව තිබූ බොලිවුඩ් ජනප්‍රියත්වය මේ වනවිට දීපිකා පඩුකෝන්, අනුෂ්කා ෂර්මා වැනි ඇයගේ පසු කාලින තාරකාවන් විසින් ඩැහැ ගෙන ඇති වග නොරහසක් නොවේ. ඉන්දියානු සිනමාව යනු අතීතය මත්තේ මැරී මැරී ඉන්නා සිනමාවක් නොවේ. එය හැමවිටම අලුත් වන්නට වග බලා ගන්නා සිනමාවකි. එබැවින් සිනමා රජ දහනේ කිරුළ ගෙන වැජඹෙන්නට කිසිවකුට හෝ වැඩි කලක් හමුවන්නේ නැත.

එහි නිරේන් ලෙස චරිත නිරුපණය කරනුයේ ෆර්හාන් අක්තාර්ය. සුප්‍රකට සිනමා තිර කතා රචක ජාවේඩ් අක්තාර් ගේ පුතනුවන් වූ ඔහු (මුල් යුගයේ ජාවේඩ් අක්තාර් තිර නාටක රචනා කරන ලද්දේ සලීම් ඛාන් සමගය. ෂෝලේ, ඩොන‍් -මුල් නිර්මාණය වැනි චිත්‍රපට තිරරචනා හැඳීන්වූයේ ජාවේඩ් -සලීම් තිර රචනා හැටියටය. සල්මන් ඛාන් සලීම්ගේ පුත්‍රෙයකි) ෂාරුක් ඛාන් යොදා ගනිමින් ඩොන් නැවත නිර්මාණය කර සිනමාවට පිවිසි ෆර්හාන් ජනප්‍රිය සිනමාකරුවකු විය. පසුව සිනමා නළුවකු වන ඔහු වර්තමානයේ විශිෂ්ට රංගන ශිල්පියකු ලෙස පතළය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ රූප ගත කිරීම් ආරම්භ කළ ද ස්කයි ඉස් පින්ක් සියලු වැඩ කටයුතු මෙම මාර්තු වන විට සම්පූර්ණ කරන්නට චිත්‍රපටයේ නිෂ්පාදක රොනී ස්ක්‍රිව්වාලා සමත්විය. ඉන්දියානු සිනමාවට නව ප්‍රබෝධයක් ගෙන දෙමින් යූටීවී සිනමා සමාගම් ආරම්භ කරන ලද රොනී පසුව එය ඉන්දියානු ඩිස්නි සමාගමට විකුණා දැමූ අතර ඔහුගේ නවතම සිනමා සමාගම වන ආර්.එස්.වී.පී පික්චර්ස් මගින් නිපදවන මුල්ම චිත්‍රපටය ලෙස තෝරා ගත්තේ ද ස්කයි ඊස් පින්ක් චිත්‍රපටයයි. එය මුම්බායි, ලන්ඩන් ,දිල්ලි, හා අන්දමන් දූපත් වලද රූප ගත කිරීම්වල යෙදිණ. ගුල්සාර් විසින් රචනා කරන ලද ප්‍රිතම් විසින් සංගීතවත් කරන ලද ගීතය රූප ගත කරන ලද්දේ මුම්බායි හිදීය. ද ස්කයි ඉස් පින්ක් තරමක් දිගු චිත්‍රපටයකි. එහි බරපතළ විව්වේචනය ද මේ නුවුමනා දිග ගැනය. මේ දිගු කාලය ඇතුළත එය මිනිසුන් සිනහ ගස්වන්නටත් අඬවන්නටත් සමත්ය. ඒ එහී නළු නිළියන්ගේ අපූර්ව රංගනය නිසාය. එහි විශිෂ්ටතම රංගනය අයිශා ලෙස රංගනයේ යෙදෙන සයිරා වාසිම්ගේ රංගනයයි. දාංගල්. සීක්‍රට් සුපර්ස්ටාර් වැනි චිත්‍රපට කිහිපයක අති විශිෂ්ට රංගනයක යෙදුන සයිරා ද ස්කයි ඊස් පින්ක් චිත්‍රපටයෙන් පසු රංගනයෙන් සමුගත්තේ 19 හැවිරිදි වියේ දීය. පෞද්ගලික හේතුමතයැයි සදහන් කළ ද ඉන්දියානු සිනමාවට මහත් බලාපොරොත්තු තබා ගත හැකිව තිබුණු මේ කාශ්මීර යුවතිය සිනමාව අත හැරියේ ඉස්ලාම් අන්තවාදින්ගේ මරණ තර්ජනය නිසා බව කිසිවකුට හෝ රහසක් නොවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.