හවුස්ෆුල් ආයෙත් හවුස්ෆුල්

Housefull 4
ඔක්තෝබර් 31, 2019

අවුරුදු හය සියයක් යනු සුළුපටු කාලයක් නොවෙයි. 1419 වසරේ ඉන්දියාවේ සීතාම්ගාර් නගරයේ ජීවත්වූ ජෝඩු තුනක් තවත් වසර හයසියකට පසු එනම් 2019 වසරේ දී ලන්ඩනයේ දී නැවත හමුවීමත් සමග සිදු වන අලකලංචි රොත්තකට මුහුණ පාන්නට සිදුවනු නොඅනුමානය. .පැරණි එදිරිවාදකම්,හිතවත්කම් පමණක් නොව පැරණි සිරිත් විරිත් ද වර්තමානයේ මොන ජාතියේ ජංජාල වලට හේතුවනු ඇතිද ? ඇති නෑදෑකම් නැති කර ලන්නටත් නැති නෑදෑකම් ඇති කරලන්නටත් එය හේතුවනු නොඅනුමානය. එයට උත්තරය ඇත්තේ ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම වියදමක් දැරූ විකට චිත්‍රපටය සමඟය. වියදම ඉන්දියානු රුපියල් කෝටි 75 කි. ඒ හවුස්ෆුල් 4ය. තිර ගතවීම ආරම්භ කරන ලද්දේ පසුගිය සිකුරාදාය.

බොහොම ඉස්සර සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කළ සිනමා ශාලාවන්ගේ දිනපතාම එල්ලන පුවරුවක් වූයේ හවුස්ෆුල් ය. දැන් සිනමා ශාලාවන්ගේ එබඳු පුවරුවක් දුම් අල්ලනටවත් ඇත්දැයි හිතාගන්නට නොහැක. වර්තමානයේ දී පවා දෙමළ චිත්‍රපට පෙන්වන ශාලා නිතරම තවමත් එයින් වැඩ ගනිති. හවුස්ෆුල් නමින් මෙතෙක් තිර ගත කළ චිත්‍රපට ත්‍රිත්වයම සිනමා ශාලා ඉදිරියේ හවුස්ෆුල් පුවරුව සවි කරන්නට සමත්විය. හවුස්ෆුල් චිත්‍රපට මාලාව මුල්වරට එළිදුටුවේ 2010 වසරේ දීය. එහි නිෂ්පාදකවරයා සජිද් නදියද්වාලාය. ඉන්දියානු සිනමාවේ පාරම්පාරික අයිතියක් ඇති සජිද් නදියද්වාලා ගේ නිෂ්පාදන සමාගම නදියද්වාලා ග්‍රෑන්ඩ්සන් සමාගමයි. ඔුගේ මුත්තනුවන් වූ ඒ.කේ.නදියද්වාලා ටාජ්මහල් ඇතුළු පැරණි හින්දි චිත්‍රපට රැසක නිෂ්පාදක විය. සජිද් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසියේ 1992 වසරේ දී සල්මි කු හුකුමාත් නිෂ්පාදනය කරමිනි.

වක්ත් හමාරා හායි, ජීත්, ජුද්වා , හර් දිල් ජෝප්‍යාර් කරේගා, මුජ්සේ සාදි කරෝගී, ජාන් ඊ මාන්, හේ බේබි, කම්භක්ත් ඉෂ්ක්, හීරෝපනති, පැන්ටම්,තමාෂා,ඩිෂුම්, රැංගූන්, ජුද්වා -2,භාගී, ඔහුගේ ජනප්‍රිය නිෂ්පාදන අතර වෙයි. කික් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ද ඔහු විසින්ය. හවුස්ෆුල් හින්දි හාසෝ‍යීත්පාදක චිත්‍රපට අතරින් එම වසරේ ඉහළම ආදායම් ඉපැයීමට සමත්විය. මේ චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන ලද්දේ සජිද් ඛාන් විසින්ය. තෙවැන්න , දෙවැන්නේ සිට එහි තිරනාටක රචකයන් වූ සජිඩ් සම්ජි, සහ ෆර්හාඩ් සම්ජි දෙදෙනා විසින් සම අධ්‍යක්ෂණය කරන ලද අතර මෙවර එහි සිව්වැන්න අධ්‍යක්ෂණය කරනු ලබනුයේ ෆර්හාඩ් සම්ජි විසින්ය.

 කෙසේ වෙතත් හවුස් ෆුල් යනු නමින් විනා සිදුවීම් මගින් එකිනෙකට යාවන කතාමාලාවක් නොවේ. චිත්‍රපට මාලාවේම අක්ෂේ කුමාර්, රිටේෂ් දේශ්මුඛ් ප්‍රධාන චරිත නිරූපණය කරති. එමෙන්ම චිත්‍රපට හතරටම පොදු වූ චරිත යුගලක් වන බටුක් පාලේ සහ ආක්‍රි පැෂ්ටා පිළිවෙලින් බෝමන් ඉරානි සහ චුන්කි පාණ්ඩේ විසින් නිරූපණය කරනු ලබති. හවුස්ෆුල් මුල් චිත්‍රපටය එයට වසර ගණනාවකට පෙර තිර ගත වූ දෙමළ චිත්‍රපටයක් වන කාදලා කාදලා අනවසරයෙන් කොපි කළ චිත්‍රපටයක්යැයි එකල හෙළිදරවු ව්ය. කෙසේවෙතත් හවුස්ෆුල් මුල් චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 41 ක් වැය කොට කෝටි 165ක් ආදායමක් ලබා ගැන්මට සමත්විය. එහි දීපිකා පඩුකෝන්, ලාරා දත්තා ජියාඛාන්, අර්ජුන් රාම්පාල් සෙසු චරිත සඳහා දායක වූහ. ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් එහි ගීයක දර්ශනයකට පෙනී සිටියාය. හවුස්ෆුල් දෙවැන්න 2012 වසරේ එළි දුටු අතර එය කෝටි 33 ක් වැය කොට කෝටි 202 ක් ඉපැයීමට සමත්විය. එය මට්ටුපෙට්ටි මචන් නම් මලයාලම් චිත්‍රපටය පාදක කොට ගත්තකි. එහි ජෝන් ඒබ්‍රහම්, අසින්,ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්, ශ්‍රෙයා තැල්පතාදේ , මිතුන් චක්‍රබෝර්ති, රිශි කපූර්, රන්ධීර් කපූර්, ජොනී වෝකර් ඇතුළු නළු නිළියන් සෙසු චරිත වලට එක්වූහ. හවුස්ෆුල් චිත්‍රපට මාලාවේ වඩාත් විචාරක අවධානය දිනා ගත් චිත්‍රපටය එයයි. තෙවැන්න තිරයට ආවේ 2016 වසරේ දීය. කෝටි 30 ක්වැය කළ එය ලද ආදායම කෝටි 195 ක්විය. එහි චරිත නිරූපණයට අභිෂේක් භච්චන්, නාගීස් ෆක්රී, ලීසා හේඩ්න්, ජැකී ශ්රෝෆ් ආදින් දායක වූහ.

සිව් වැනි චිත්‍රපටය සදහා නිෂ්පාදක සජිද් නදියද්වාලා සැලසුම කරන ලද්දේ 2017 වසෙර්ය. එය 2019 වසරේ දීපාවලි සමයේ ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹිම ඔහුගේ සැලසුම විය. එහි අධ්‍යක්ෂණය යළි පවරන ලද්දේ සජිද් ඛාන්ටය. සජිද් සහ සජිද් එකතුවෙන් තැනුණු හේ බේබි සිට හැම චිත්‍රපටයක්ම අති සාර්ථකව විණ. අලුත් චිත්‍රපටයේ තිරනාටකය රචනා කරන ලද්දේ පූර්වායෙහි එහි තිරනාටක රචනා කළ එමෙන්ම තෙවුන් අධ්‍යක්ෂනය කරන ලද සජිද්- ෆර්හාද් දෙදෙනාටය. එහෙත් චිත්‍රපටය සදහා සියල්ල සැලසුම් කළ ද සජිද් ඛාන් මී ටූ අපචාර සම්බන්ධව චෝදනා ලද්දේය. (මී ටූ අපචාර සිද්ධිය නම් තමන්ගේ කෙෂත්‍රෙය් දී ලිංගික අපචාරවලට ගොදුරුවූණ කාන්තාවන් ඒ පිළිබඳ හෙළිදරව් කිරීමයි. අමෙරිකාවෙන් ඇරඹුණ මේ රැල්ල ඉන්දියාටවටත් පිවිසි අතර එය බොහෝ ශේස්ත්‍රයන්හි කැලඹීමකට ලක්විය.) නිළියන්වූ මන්දානා කරීම්, සැලොනි චොප්රා, රැචෙල් වයිට් ,සිම්රන් සූරි සහ පුවත්පත් කලාවේදිනියක වූ ඛේමා උපාද්ධ්‍යා සජිද් ඛාන් සම්බන්ධව චෝදනා කරන ලදී. මේ සමග ආක්ෂේ කුමාර් සජිද් අදාල චෝදනාවලින් නිදහස් වන තුරු තමන් එම චිත්‍රපටයේ රඟ නොපාන බව ප්‍රකාශයට පත් කළේය.

එහි ප්‍රතිඵලයක් හැටියට සජිද් ඛාන් සිය චිත්‍රපටයෙන් ඉවත් කරන්නට සජිද් නදියද්වාලා කටයුතු කළේය. ඒ චිත්‍රපටය සඳහා දායක ව සිටින ෆොක්ස් ස්ටාරා සමාගමේ ද මෙහෙයවීම පරිදිය. ඛාන් චිත්‍රපටයෙන් ඉවත්වූයේ චිත්‍රපටය අධ්‍යක්ෂණය එහි .සම තිරනාටක රචකයන්ට පවරමිනි. ඒ අනුව තුන් වැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද දෙදෙනා අතරින් ෆර්හාඩ් සමාජි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය බාර ගත්තේය. චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නට සිටි නානා පතේකාර් ද මී ටූ අපචාර රැල්ලට ගොදුරුවිය. ඔහුට එම චෝදනාව එල්ල කරන ලද්දේ නිළි තනු ශ්‍රී දත්තා විසින්ය. නානා පතේකාර් රඟපාන්නට සිටි චරිතය එහෙම්ම පිටින් ඉවත් කර නැවත තිර නාටකය ලියැවිණ. මෙවර බොබී ඩියොල්, කීර්ති සැනොන්, කීර්ති තර්බන්ධා, පූජා හෙජ්, රානා ඩග්ගුබායි, නවසුද්දීන් සිද්දික්, රංගනයෙන් අලුතින් හවුල්ව සිටිති. විකට නළු ජොනී ලිවර් මෙන්ම ඔහුගේ දියණිය ජැමී ලීවර් ද චරිත නිරූපණය කරති. ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් එකතු නොවන එකම හවුස් ෆුල් චිත්‍රපටය ද මේ චිත්‍රපටයයි.

කෙසේ වෙතත් මුල් දිනයේ ඉන්දියුනු රුපියල් කෝටි 30 කට වැඩි ආදායමක් හවුස්ෆුල් 4 ලබා ගත්ත ද එයට ලැබෙ ප්‍රතිචාර එතරම් අගය කළ යුතු මට්ටමක නැත. අධ්‍යක්ෂණයේ ඇති අඩු ලුහුඩකම් එහිලා වැඩියෙන් සදහන්වෙති. ඒ මුල් හවුස්ෆුල් චිත්‍රපට හා සැසඳීමෙන්ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.