මායා රැජින යළිත්

නොවැම්බර් 7, 2019

MALEFICENT

Mistress Of  Evil

ස්ලීපිං බියුටි වෝල්ට් ඩිස්නි සමාගමේ 16 වැනි කාටුන් චිත්‍රපටය ලෙස තිරයට ආවේ 1959 වසෙර්ය. ඒ වන විට වෝල්ට් ඩිස්නි ජීවත්ව සිටියේය. මැල්එෆිෂන්ට් නම් චරිතය එහි නපුරු චරිතය වූවාය. මේ චරිතය ගොඩ නගමින් ඩිස්නි සමාගම මැල්එෆිෂන්ට් නමින් චිත්‍රපටයක් තිරයට ගෙනාවේ 2014 වසෙර්ය. ඒ රොබට් ස්ට්‍රොම්බර්ග් ගේ අධ්‍යක්ෂණයක් හැටියටය. එවර මැල්එෆිෂන්ට් ලෙස චරිත මැවුවේ ඇන්ජලීනා ජොලිය. එය ඇන්ජලිනා ගේ චිත්‍රපටයක් එදා මෙදා උපයන ලද ඉහලම ආදායම වන ඩොලර් මිලියන 758ක ආදායමක් ඉපැයීමට සමත් විය. එමෙන්ම චිත්‍රපටයේ වඩාත් අවධානයට යොමුවූයේ ඇගේ රංගනය මෙන්ම එහි නිර්මාණය කළ ඇදුම් නිර්මාණයන්ය. එහි දෙවැන්න මැල්එෆිෂන්ට් : මිස්ට්‍රස් ඔෆ් ඊවිල් නමින් පසුගිය සතියේ තිරයට ආයේය. එය වෝල්ට් ඩිස්නි සමාගමේ නවතම නිෂ්පාදනයයි.මෙවර එය අධ්‍යක්ෂණය කරනුයේ ජෝකිම් රොනිං විසින්ය. ලින්ඩා වූල්වර්ටන්, මිකා ෆිට්ෂර්මන්, හා නෝආ හාප්ස්ටර් එහි තිරනාටකය රචනා කර ඇත්තීය. මෙවර ද මේ නපුරු ගැහැනිය වනුයේ ඇන්ජලිනා ජොලීය. එපමණක් නොව එහි ඇය සම නිෂ්පාදිකාවද වන්නීය. 2014 වසරේ චිත්‍රපටය තිර ගත කොට මසක් ගත වූ තැන එහි දෙවැන්න පිළිබඳ ඩිස්නි සිය ප්‍රවෘත්තිය හෙළි කළ අතර 2016 වසරේ අප්‍රේල් මාසයේ දී ඇන්ජලින් ජොලී දෙවැනි චිත්‍රපටය සදහා ගිවිසුම් අත්සන් කළාය. ඒ වන විට පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්: ඩෙඩ් මෑන් ටෙල් නෝ ටේල්ස් චිත්‍රපටයේ සම අධ්‍යක්ෂ ජෝකිම් කැඳවූ ඩිස්නි බලධාරිහු අලුත් චිත්‍රපටය ඔහුට බාර දුන්හ.

චිත්‍රපටය මෙවර ඇරඹෙනුයේ ස්ටෙෆාන් රජුගේ මරණයෙන් පස් වසක් ගත වූ තැනය. එයින් පසු රාජධානිය පාලනය කරනුයේ අවුරෝරාය. ඇගේ ආරක්ෂකයා මිත්තනිය වූ මැල්එෆිෂන්ට්ය. අසල්වැසි රාජ්‍යයේ පිලිප් කුමරු ඇය පිළිබඳ ඇත්තේ අවිශ්වාසයකි.

මිථ්‍යාව පිරි සුරංගනා කතාවන් අසන්නට ලොව පුරා මිනිසුන්ගේ නොසංසිඳෙන ඇල්ම ජනප්‍රිය සිනමාවේ දී සංසිදුනු ලැබේ . වර්තමාන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ හොලිවුඩ් දැවැන්ත සිනමාව සිනමාහල් යළි ආකුමණය කරනුයේ මෙම ආසාව සංතෘප්ත කිරීමේ වගකීම පවරා ගනිමිනි. මැල්එෆිෂන්ට් මේ ශෛලිය හොදින් අල්ලා ගත් චිත්‍රපටයකි. සතියක් ඇතුළත ඩොලර් මිලියන 299 ක ආදායමක් උපදන්නට එය සමත්ව ඇත. ඕනෑවට වඩා කෘතිම දර්ශන වැඩි චිත්‍රපටයක් ලෙස විචාරකයන්ගේ අවලාද එයට මුසුව ඇති වග අමතක නොකළ යුතුය. චිත්‍රපටයේ රූප ගත කිරීම් 2018 වසරේ මැයි මස 18 වැනි දින ආරම්භ වූයේ ලන්ඩනයේ සුප්‍රකට පයින්වුඩ් චිත්‍රාගාරයේය. සෑම බොන්ඩ් චිත්‍රපටයක්ම තැනෙන්නේ මෙම පයින්වුඩ් ච්‍ත්‍රාගාරයේය.

2019 ඩිස්නි සමාගමේ සාර්ථකම වසරකි. ඩම්බෝ, ඇලඩින්. ටෝයි ස්ටෝරි 4, ද ලයන් කිං. යන මේ වනවිට තිර ගත කළ සියලු චිත්‍රපට ලොව පුර නොසිතු විරූ ආදායමක් උපයා දෙන්නට සමත්විය. ෆ්‍රෝසන් 2 නොවැම්බර් 22 වැනි දින ද ස්ටාර් වෝස් : ද රයිස් ඔෆ් ස්කයිවෝකර් දෙසැම්බර් 20 වැනි දින ද තිර ගතවීමට නියමිතය. මේ චිත්‍රපට දෙකම ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බවට පත්ව තිබේ. එමෙන්ම නොවැම්බර් 12 වැනි දින තිර ගත වන ලේඩ් ඇන්ඩ් ද ට්‍රෑම්ප් සිනමාහල් වලින් බැහැරව අන්තර් ජාල තිර ගත කරවීමක් වනු ඇත. ඒ 1955 වසරේ තැනුණු චිත්‍රපටයේ ම ප්‍රතිනිර්මාණයක් වෙයි. ඩිස්නි සමාගම අලුත් චිත්‍රපට තැනීමට අමතරව පැරණි චිත්‍රපට ප්‍රති නිර්මාණයේ යෙදෙයි. ඒ අතරවාරයේ විශිෂ්ට වාර්තා චිත්‍රපට කිහිපයක් ද වසරකට වරක් හෝ ගෙන එයි. පෙන්ගුවින්ස් මෙන්ම ලබන සතියේ තිරයට එන ඩොල්ෆින් රීෆ් බ්ලූ ද එබදු වාර්තා චිත්‍රපට විය.

මැල්එෆිෂන්ට් ඩිස්නි සිනමා ආශ්චර්යයේ තවත් පියවරකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.