විශිෂ්ට සිනමා නිර්මාණයක්

KAITHI
නොවැම්බර් 7, 2019

Karthi

පසුගිය සතියේ තමිල්නාඩුවෙන් තිරයට පිවිස ලංකාව ද කැළඹ වූ බිගිල් තිර ගත වීම ඇරඹුණ දවසේම තවත් දෙමළ චිත්‍රපටයක් වැඩි ශබ්දයකින් තොරව තිර ගතවීම ඇරඹිණ. ඒ කයිති ය. බිගිල් වාර්තා පිට වාර්තා තබද්දී කයිති ඉතා ඉහළින් විචාරක අවධානය දිනා ගන්නේ ආදායම් වාර්තාවන් ද යහපත් අන්දමින් තබා ගනිමිනි. එපමණක් නොව විජේ ගේ මීළඟ චිත්‍රපටය වූ තලපති 64 අධ්‍යක්ෂණය කරනුයේ ද කයිති නිර්මාණය කළ ලෝකේෂ් කනගරාජ් ය. සිනමාකරුවන් හය දෙනෙකු විසින් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපට 7ක් ඇතුළත් අවියුල් චිත්‍රපටයේ එන එක් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිනමාවට පිවිසෙන තරුණයකු වන ලෝකේෂ් ගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වන මානගරම් වාණිජමය වශයෙන් ද අති සාර්ථක විය. ඔහුගේ නවතම චිත්‍රපටය වූ කයිති ක්‍රියාදාම චිත්‍රපටයකි.

බිජෝයි නම් පොලිස් නිළධාරියකු වටා ගෙතෙන මේ චිත්‍රපටයේ ආරම්භයේ ඔහු ඇතුළු කණ්ඩායමක් වෑන් රථයක ගෙනෙනු ලබන මත්ද්‍රව්‍ය තොගයක් වටලනු ලබයි. එය ඉතා ත්‍රාසජනක සිදුවීම් මාලාවකි. මත් ද්‍රව්‍ය පාතාලයේ කැළඹීමකට ලක්වන මේ වැටලීමෙන් පසු එම මත්ද්‍රව්‍ය තොගය පැහැර ගැන්මට මැරයෝ සූදානම් වෙති. ඔවුන්ගේ අරමුණ පොලිස් නිලධාරීන්ගේ සාදයක දී වස පොවා ඝාතනය කොට අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය මුදා ගැන්මය. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින සිරකරුවකුවූ දිලී මේ සැලසුම ට එරෙහිවනුයේ තම දියණිය දැක් ගැනීමේ අභිලාශයෙන් යුතුවය.මේ කොටස චිත්‍රපටයේ කෙතරම් ඉක්මනින් නිර්මාණය වනවා ද යත් එයට ගත වන්නේ මිනිත්තු විස්සකි.

හුදු ත්‍රාසය අබිබවා මනුෂ්‍ය හැඟිම් ඉස්මතු වන පුවත දිග හැරෙනුයේ එයින් පසුවය. දිල්ලි ලෙස කාර්ති ද බිජෝයි ලෙස නරේන් ද එහි චරිත මවති. චිත්‍රපටය විහිද යන්නේ ඔවුන් දෙදෙනා ගේ විශිෂ්ට රංගනය ද ග්‍රහණය කරමින්ය.

ලෝකේෂ් කනගරාජ් මේ චිත්‍රපටය රූප ගත කරන ලද්දේ චෙන්නායි හා එයට කිලෝමීටර් 700කට එපිටින් පිහිටි තිරුනෙල්වේලි ප්‍රෙද්ශයේය. දෙමළ චිත්‍රපටයක් වුව මෙහි ප්‍රධාන කාන්තා චරිතයක් නොමැතිවීම විශේෂයකි .වරින්වර මතුවන් දිලී ගේ දියනිය පමණක් ඉස්මතු වෙයි. ඇය තාත්තා ගැන සිහින මවන්නීය. සත්‍යමු සූරියන්ගේ කැමරාකරණයත් පිලෝමින් රාජ් ගේ සංස්කරණයත් සිනමාකෘතියට ගෙන එනුයේ විශිෂ්ට ආලෝකයකි.

සිනමා කෘතිය නැරඹු සියලු සිනමා විචාරකයෝ ඒ පිළිබඳ ධනාත්මක ප්‍රතිචාර දැක්වීම අගය කළ යුතුය. පුදුමය නම් විජේ රඟපාන බිගිල් සමග තරග වදිමින් කයිති ඉන්දියානු රුපියල් කෝටි දහයක ආදායමක් දින හතරක් ඇතුළත උපයා ගැන්මට සමත් වීමයි. බිගිල් නරඹා “ත්‍රිල්“ වන ප්‍රේක්ෂකයෝ එයට හාත් පසින් වෙනස් ත්‍රාසය හා ජීවිතය මුසු වූ ආස්වාදයක් කයිති හරහා විඳ ගනිති. මිනිස් ජීවිතයේ විවිධ ඉසවු සිනමාකරුගේ ග්‍රහණයට හසු වී ඇති අන්දම හා අංග සම්පූර්ණ නිමාව එහි අගය වඩාත් ඉහළ දමන්නට සමන්විත වෙයි. චරිත අභ්‍යන්තරයේ ඇති සිදුවීම් හා පියෙකුගේ සහ දියනියකගේ මනෝභාවයන් සිනමාකරුගේ විශිෂ්ට තිරනාටකය වරෙක කඳුල ටද වරෙක ත්‍රාසයට ද මුසු කරවන්නේය. එහි එන සියලු චරිත අතිශයෝක්තියෙන් තොරය . එබැවින් එය විරයකු පිලිබඳ නිර්මාණයක් නොවේ. මිනිසකු පිළිබඳ චිත්‍රපටයකි. විශිෂ්ට නළුවකු ලෙස පතළ ශිවකුමාරගෙ බාල පුතු කාර්ති .කයිති සිනමා කෘතියේ විශිෂ්ට රංගනයක යෙදෙන්නේ තමිල්නාඩු තරුණ සිනමාව සම්ප්‍රදායික සිනමාව ඉක්මවා යන්නක් බැව් පසක් කරමිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.