Charlie's Angels

නොවැම්බර් 14, 2019

80 දශකයේ මෙරටට ටෙලිවිෂනය පැමිණි විට එතෙක් අපට සිටි සිනමා වීරයන් වෙනස්ව ගියේය. ටෙලිවිෂනය අපට අලුත් වීරයන් සොයා දුන්නේය. සික්ස් මිලියන් ඩොලර් මෑන්, බයනික් වුමන්, ඉන්ක්‍රෙඩිබල් හල්ක්, නයිට් රයිඩර්, ස්ටාර් ට්‍රෙක් ,ස්ටාර්ස්කි ඇන්ඩ් හච් ,මෙන්ම කාන්තා චරිත තුනක් වටා ගෙතුණ චාලීස් ඒන්ජල්ස් ද ඒ අතර ප්‍රමුඛ විය. අපි එයට වසඟ වෙද්දී සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ට චරිතාංග හා සටන් නළුවකු වූ රොබින් ප්‍රනාන්දු ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තබා කපන්නා සේ ටෙලිවිෂනයේ වීරයන් සිංහල සිනමාවට ගෙනාවේය. ඒ චාලීස් ඒන්ජල්ස් ඇසුරෙන් සුර දූතියෝ නමින් සිංහල චිත්‍රපටයක් නිර්මාණය කරමින්ය .

රෝසි සේනානායක, විශාඛා සිරිවර්ධන. සහ අකුශ්ලා චෙල්ලයියා රොබින් ගේ සුරදූතියෝ වූහ. පුදුමය නම් හොලිවුඩ් සිනමාකරුවන් චාලීස් ඒන්ජල්ස් සිනමාවට ගෙනාවේ ලංකාවට පසුවය. ඒ 2000 වසෙර්ය. චාලිස් ඒන්ජල්ස් ටෙලිවිෂන වෘත්තාන්තය මුල් වරට දිග හැරුණේ 1976 වසෙර්ය. ඒ අමෙරිකානු ඒ.බී.සී. නාලිකා නිෂ්පාදනයක් හැටියටය. එහි නිෂ්පාදක වූයේ ඒරන් ස්පෙලිංග්ය. රචකයන් වූයේ අයිවන් ගොෆ් සහ බෙන් රොබට්ස්ය. අදටත් චාලීස් ඒන්ජල්ස් නිර්මාණ හිමිකාරත්වය දරනුයේ ඔවුන් දෙදෙනාය. දැන් මේ දෙදෙනාම ජීවතුන් අතර නැත. 2011 වසරේ යළිත් චාලීස් ඒන්ජල්ස් කතා මාලාවක් ආරම්භ කළ ද එය විකාශය වූයේ කොටස් 7 ක් පමණකි.චාලීස් ඒන්ජල්ස් මුල්ම සිනමා කෘතිය 2000 වසරේ එළි දුටුවේ මැක් ජී ගේ අධ්‍යක්ෂණයක් හැටියටය. ඩ්‍රිව් බැරිමෝ, කැමරන් ඩයස්, හා ලුසී ලූ චාලිගේ සුර දූතියන් වූ අතර 2003 වසරේ තිර ගත වූ චාලීස් ඒන්ජල්ස් ෆුල් ත්‍රොට්ල් චිත්‍රපටයේ ද ඔවුහු ප්‍රධාන චරිත මැවූහ. අති සාර්ථකත්වයට

පත් වූවත් එහි අලුත් චිත්‍රපටයක් තැනුණේ තවත් වසර දහසයකට පසු මේ වසෙර්ය. මෙවර ක්‍රිස්ටින් ස්ටුවර්ට්, නයෝමි ස්කොට්, එලා බැලින්ස්කා එහි සුරදූතියෝ වෙති. මෙවර චාලීස් ඒන්ජල්ස් අධ්‍යක්ෂණය සම්මානනීය නිළි එලිසබෙත් බෑන්ක්ස් ගෙනි. ඇය ද මෙහි චරිත නිරූපණයක යෙදෙන්නීය. චාලීස් ඒන්ජල්ස් සඳහා එක් වන සුරූපිනියන් තිදෙනාගේ නම් කාලයෙන් කාලයට වෙනස් වෙයි. මෙවර එහි වියදම ඩොලර් මිලියන 45කි.

Add new comment