MIDWAY

නොවැම්බර් 14, 2019

දෙවැනි ලෝක මහා සංග්‍රාමය ඉතිහාසය වෙනස් කරලිය හැකිව තිබූ හැරවුම් ලක්ෂය ලෙස යුද විචාරකයන්ගේ මතය වූයේ පර්ල් වරාය ආක්‍රමණයයි. 1941 වසරේ දෙසැම්බර් මස 7 වැනි දින අමෙරිකාවේ හවායි දූපත්වලට අයත් පර්ල් වරායට හිටි අඩියේ කඩා පාත් වූ ජපන් ගුවන් යානා ඉවක් බවක් නැතිව එයට පහර දී එහි නැංගූරම් ලා තිබුණු යුද නැව් රාශියක් ද ගිල්ලා දැමුවේය. ඒ වනතෙක් අමෙරිකාව තමන්ගේ බිස්නස් බලා ගෙන සිටියා විනා අනුන්ගේ යුද්ධයකට මැදිහත්වූයේ නැත. එහෙත් මේ සිදුවීම අඬන්නට සිටි එකාගේ ඇහැට ඇඟිල්ලකින් ඇන්නා හා සමාන විය.

ජපනා ඉල්ලන් කන්නට පටන් ගත්තේ මේ සිදුවීමත් සමගය. කෙසේ හෝ පර්ල් වරායේ සිදුවීම අළලා ඉන් පසු චිත්‍රපට ගණනාවක් නිර්මාණය විය. එය පාදක කොට තැනුණු මුල්ම චිත්‍රපටය පර්ල් වරාය ආක්‍රමණය සිදුවූ උණුසුම ගෙවෙන්නටත් පෙරාතුව තිර ගත වූයේ 1942 වසෙර්ය. ඒ ජෝශප් සැන්ට්ලි අධ්‍යක්ෂණය කරන ලද රිමෙම්බර් පර්ල් හාබර් චිත්‍රපටයයි. ජෝන් ෆෝඩ් ගේ ඩිසෙම්බර් 7 ත්, ෆ්‍රෙඩ් සිනර්මාන්ගේ ෆ්‍රොම් හිය ටු එටනිටි, ඔටෝ ප්‍රිමින්ගර්ගේ ඉන් හාම්ස් වේ , ටෝරා ටෝරා ටෝරා, මෙන්ම මයිකල් බේ අධ්‍යක්ෂණය කළ පර්ල් හාබර් ද මෙම ආක්‍රමණය පාදක කර ගත් චිත්‍රපට අතර වෙයි. දැන් ලොව පුරා තිර ගත වන මිඩ්වේ චිත්‍රපටය ද පාදක කර ගනුයේ එකී පර්ල් වරායේ සිදුවීමය. පර්ල් වරායේ ආක්‍රමණයෙන් පසු ක්‍රියාත්මක වූ අමෙරිකානු නාවික හමුදාව අද්මිරාල් චාල්ස් නිම්ට්ස් ගේ මෙහෙයවීම යටතේ මිඩිවේ මෙහෙයුම ක්‍රියාත්මක කළහ.

ඒ වන විටත් ශාන්තිකර සාගරය ඔස්සේ සිංගප්පූරුව . ඉන්දුනීසියාව ඇතුළු රටවල් ගණනාවක් කෙරෙහි සිය යුද ආක්‍රමණය කරමින් සිටි ජපනාට ආපසු හැරෙන්නට සිදුවූයේ එකී මෙහෙයුමත් සමඟය. එසේ නොවන්නට දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු ලෝක සිතියම හා දේශපාලනය මෙයට වඩා හාත්පසින් වෙනස් වන්නට ඉඩ තිබිණ.මිඩ්වේ චිත්‍රපටය නිර්මාණය කරනුයේ රෝලන්ඩ් එමරිච්ය. එමරිච් ගේ චිත්‍රපට මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. මේ වන විට 63 හැවිරිදි වියේ පසු වූ ජර්මානු ජාතික එමරිච් නිර්මාණය කරන ලද චිත්‍රපට රාශියක්ම මෙරට සිනමා ශාලා වල අති සාර්ථක ලෙස තිරගත විය. ඒ අතර යුනිවර්සල් සෝල්ජර්, ස්ටාර්ගේට්, ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ, ගොඩ්සිලා, ද පේට්‍රට්, ද ඩේ ආෆ්ටර් ටුමාරෝ, 2012 මෙන්ම වයිට් හවුස් ඩවුන් චිත්‍රපට ද වෙයි. මේ චිත්‍රපට බහුතරය අතිශය ජනප්‍රිය සිනමා අත්දැකීම් විය. ඔහු මෙවර තෝරා ගන්නේ මෙතෙක් ඔහුගේ සිනමා නිර්මාණ වලට වඩා වෙනස් අත්දැකීමකි. එය සෙසු චිත්‍රපට මෙන් ප්‍රබන්ධයක් නොවේ.

එබැවින් කෙතරම් සාර්ථක චිත්‍රපට තැනුව ද මිඩිවේ චිත්‍රපටයේ මූලික සැලසුම් අයවැය ඩොලර් මිලියන 125 සඳහා මුදල් වැය කරන්නට කිසිවකු හෝ කැමැතිවූයේ නැත. අවසානයේ එහි වියදම අවම කර ගැනීම සඳහා යුද දර්ශන කිහිපයක් කපා දැමුණු අතර ඩොලර් මිලියන 76ක් සොයා ගැන්මට එමරිච්ට හැකිවිය. තවත් ඩොලර් මිලියන 24ක් සඳහා චීන ආයෝජකයන් කිහිප දෙනෙකු හවුල් වූ හෙයින් මිලියන 100 ක අයවැයෙන් මිඩිවේ නිර්මාණය කරන්නට එමරිච්ට හැකිවිය. කෙසේවෙතත් අමෙරිකානු ප්‍රධාන සමාගම්වලින් බැහැරව ස්වාධින නිෂ්පාදන සමාගමක් මගින් තැනූ වැඩිම වැය ශීර්ෂය සහිත චිත්‍රපටය ලෙස ම්ඩිවේ ඉතිහාස ගත වන්නේය. චිත්‍රපටයේ නළුවරණයෙන් පසු එහි රූප ගත කිරීම් පසුගිය වසරේ සැප්තැම්බර් 5 වැනි දින හවායි අගනුවර වූ හොනලුලු හිදී ආරම්භ වූ අතර කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ දී ද එය රූප ගත කෙරිණ.

සැබෑ යුද චරිත වූ ලුතිනන් රිචඩ් බෙස්ට්, ලුතිනන් කමාන්ඩර් එඩ්වින් ටී.ලේට්න්, ලුතිනන් කමාන්ඩර් වේඩ් මැක්ලස්කි, අද්මිරාල් චෙස්ටර් නිමිට්ස්, වයිස් අද්මිරාල් විලයම් හේල්සි ලෙස පිලිවෙලින් එඩ් ස්ක්‍රේරින්, පැට්‍රික් විල්සන්, ලූක් එවන්ස්, ඒරොන් එකාට්, වූඩි හැරල්සන්, ඩෙනිස් ක්වාඩ් ආදීන් චරිත මවති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.