හිම මෙන් පිරිසිදු ඔබෙි ආදරයේ

FROZEN II
නොවැම්බර් 21, 2019

2013 වසරේ ලෝකයේ වඩාත්ම ආදරයට පාත්‍ර වූ චිත්‍රපටය කවරෙක්දැයි ඇසූ කල එයට හොඳම පිළිතුර ෆ්‍රෝසන් චිත්‍රපටයයි. වෝල්ට් ඩිස්නි සමාගම නිෂ්පාදනය කළ එම චිත්‍රපටය හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ ද ස්නෝ ක්වීන් කතාන්දරය ඇසුරු කොට තැනුණකි. එය නරඹා එයට වසඟ නොවුණු කිසිවකු හෝ ඇත්දැයි සොයා ගත නොහැකි තරම්ය. ඒ වසරේ හොඳම ඇනිමේටඩ් චිත්‍රපටය ලෙස ඇකඩමි හා අමෙරිකානු විචාරක සම්මානයට ද එය පාත්‍ර විය. ෆ්‍රෝසන් බ්ලූ රේ අලෙවිය ලොව ඉහළම බ්ලූ රේ අලෙවිය ලෙස වාර්තා තබා ඇත්තේය. වසර පහකට පසු වෝල්ට් ඩිස්නි සුපුරුදු පරිදි එහි දෙවැන්නක් ද නිර්මාණය කරයි. ඒ ෆ්‍රෝසන් 2 නමින්ය. එය අධ්‍යක්ෂණය කරණුයේ ද එහි මුල් චිත්‍රපටය තැනූ ක්‍රිස් බක් සහ ජෙනීෆර් ලී දෙපොළයි.

ෆ්‍රෝසන් මුල් චිත්‍රපටය කෙතරම් සාර්ථක වුව ද එහි දෙවැන්නක් ගැන වෝල්ට් ඩිස්නි සමාගමේ ලොක්කා එනම් ප්‍රධාන විධායක නිලධාරි බොබ් අයිගර් වත් සිතුවේ නැත. එහෙත් මුල් චිත්‍රපටය නිපද වූ පීටර් ඩෙල් වෙචෝ සිය අධ්‍යක්ෂවරුන් සමග අලුත් කතාවකට මුල පුරමින් උන්නේය. ඒ 2014 මැයි මාසයේ දවසකය. ඩිස්නි සමාගමේ ප්‍රධාන නිර්මාණ නිලධාරී ජෝන් ලැසස්ටර් (ටෝයි ස්ටෝරි, අ බග්ස් ලයිෆ්, කාර්ස් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේද ඔහුය.) කතාව ඇත්ත බව සනාථ කළේය. එය සම්පූර්ණයෙන්ම අලුත් වැඩක් ඔහු සනාථ කළේය. ඩිස්නි සමාගමේ 2015 වසරේ කොටස් හිමියන්ගේ හමුවේ දී එය නිල මට්ටමෙන්ම හෙළිදරව් කළේය. සාමාන්‍යෙයන් හොලිවුඩ් චිත්‍රපට එක රැයින් හදා එළියට දාන්නේ නැත. කොහොමටත් අචච්ර හොඳට ෆ්‍රෝසන් හදා එහි දෙවැන්න අනා ගන්නට ඩිස්නිට අවශ්‍ය නොවිණ. එබැවින් ඔවුහු වසර ගණනාවක්ම එයට සැලසුම් කළහ.

මුල් චිත්‍රපටයේ ද තිර නාටකය රචනා කළ ජෙනිෆර් ලී යළි තිරනාටකය රචනා කළ අතර එයට අවසානයේ ඇලිසන් ෂ්‍රොඩර් අනතුරුව හවුල් වූවාය. චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය නොවැම්බර් 7 වැනි දින පවත්වන ලද්දේ ඩොල්බි තියටර් ශාලාවේය. එහි යූටියුබ් වෙත මුදාහල ට්‍රේලර් පටය එතෙක් මෙතෙක් ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ චිත්‍රපට අතරින් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේය.

මේ කතාවේ හැටියට හිම රුජන වූ එල්සා ත් ඇගේ සොයුරිය ඇනා සහ හිත මිතුරන් පිරිස එල්සා ගේ ඉන්ද්‍රජාලික බලය සොයා යති. එල්සාට ඇති බලය එක කුස උපන් ඇනාට නැති වන්නාවූ හේතුව කුමක් ද? මෙවර ෆ්‍රෝසන් කතාවේ එම අබිරහස හෙළි කරන්නේය. එයටත් වඩා එල්සා ගේ පැරණි හිතවතුන් සමග යන ගමන විනෝදාත්මකය. එහෙත් ඒ සමග ඇයට ඇගේ රාජධානිය රැක ගැනීමේ වගකීම ද පැවරී ඇත්තේය.

මේ වන විටත් සියලු විචාරකයන් ෆ්‍රෝසන් ගැන දක්වා ඇත්තේ ඉහළ ප්‍රතිචාරයන්ය. ඒ එය ඇත්තටම ලස්සන චිත්‍රපටයක් හැටියටය. මේ ඩිස්නි සමාගමේ 58 වැනි ඇනිමේටඩ් චිත්‍රපටයයි. මෙවර ඔවුනගේ සම්ප්‍රදායික ලකුණ හිම පිරි සීත සෘතුවක ආකාරයට පරිවර්තනය කොට ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.