අපූර්ව සිනමා නිර්මාණයක්

නොවැම්බර් 21, 2019

BaLa

තට්ටය පෑදීම වයසට යන්නට පෙර වුව සිදුවිය හැකිය. සමහර විට උඳුගොව්වන් කෑමත් මෙයට හේතුවෙයි. තට්ටය පෑදීම පුවතක් කොට ඉන්දියානු රුපියල් කෝටි 25 ක් වැය කොට චිත්‍රපටයක් තනා සති තුනක් ඉක්මවන්නට මත්තෙන් එය කෝටි සියය ඉක්මවා ආදායම් වාර්තා තැබුවේය. එහි ප්‍රධාන නළුවා අයුෂ්මාන් කුරානාය. පසුගිය අවුරුද්දේ ඛාන් ත්‍රිත්වයට පවා අභියෝග කරන අන්දමේ චිත්‍රපට රැසක රඟපෑ කුරානාගේ නවතම චිත්‍රපටය වූ බාලා තත්ත්වය ද එලෙසමය. කුරානා තවමත් අපේ රටේ හින්දි සිනමා තාරක්වන්ට ආගන්තුකය. විකී ඩොනර්, අන්ධාදූන්, බධායි හෝ , ආටිකල් 15 වැනි ඔහු රඟපෑ චිත්‍රපට කිහිපය මේ තිස් පස් හැවිරිදි නළුවා ඉහළම තරුවක් කර හමාරය.

අමීර්, නෝ වන් කිල්ඩ් ජෙසීකා, ගෝ ගොආ ගෝන්, වැනි අපූරු සිනමා නිර්මාණ තැනූ අමර් කෞෂික් නිර්මාණය කළ නවතම සිනමා නිර්මාණය වූ බාලා චිත්‍රපටයට පාදක වනුයේ උත්තර් ප්‍රදේශයේ ජීවත් වන බාලා නම් තරුණයකු වටා ගෙතෙන මේ චිත්‍රපටය විටෙක හාස්‍යයෙන් පිරුණ ද එය සාමාජිය ගැටලුවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. අයුෂ්මාන් සමග භූමි පෙද්නෙකාර්, යාමි ගෞතම් ,ජාවෙඩ් ජෆ්රි, ආදී විශිෂ්ට චරිතාංග නළු නිළියන් රැසක් චරිත මවන බාලා චිත්‍රපටයේ බාලා ලෙස රඟන බාල්මුකුන්ද් ශුක්ලා හෙවත් බාලා මුහුණ පාන්නේත් බොහෝ තරුණයන් මුහුණ දෙන ගැටළුවකටයි. ඒ අකාලයේ තට්ටය පෑදීමයි. ඒ මදිවාට ඔහුගේ රැකියාවත් රුව වඩන ආලේපන අලෙවියයි. ඒ අතරවාරයේ තට්ට හිස වසා ගන්නට පාවිච්චි කරන බොරු කොණ්ඩය නිසා ඔහුට සුන්දර ගැහැනු ළමයෙකු වූ පාරි මුණ ගැසෙයි. ඔහු ඇත්ත කියා යවන පණිවිඩය ලැබෙන්නේ ලතිකාටය. ලතිකා ඒ වන විටත් විවාහ යෝජනා ලබන එහෙත් පැහැය නිසා ඒ සියල්ල බිඳ වැටෙන යුවතියකි. තට්ටය ගැන නොදන්නා පාරි ඔහු හා විවාහයට කැමැති වෙයි. ඔහුගේ කැමැත්ත සහිත පණ්විඩය ලැබෙන්නේ ලතිකාටය.

මේ චිත්‍රපටය තිර ගත වූයේ තවත් හින්ද් චිත්‍රපටයක් වූ උජ්දා චාමන් චිත්‍රපටය සමඟය. ගැටලුව වූයේ උජ්දා චාමන් චිත්‍රපටයේ ඇත්තේ ද තට්ටය පෑදුණ තරුණයෙකු ගේ විවාහය පිලිබඳ හාස්‍යොත්පාදක කතාවකි. එබැවින් උජ්දා චාමන් හිමිකම් නීතිය යටතේ බාලාට විරුද්ධව නඩු පැවරුවේය. උජ්දා චාමන් ඔන්ඩු මෝට්ටය කතේ නම් කන්නඩ චිත්‍රපටයේ ප්‍රතිනිෂ්පාදන චිත්‍රපටයයි.එහෙත් බාලා නිකම්ම නිකම් කොමඩි චිත්‍රපට ගණයේ සලකන්නට විචාරකයෝ පෙලඹුණේ නැත. එය ඉතා වැදගත් හා අංග සම්පූර්ණ නිර්මාණශීලි සහ නව ආකල්පයක් සහිත චිත්‍රපටයක් ලෙස ඔවුහු දකිති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.