ඉරානයෙන් දුටු අපූරු මානව වාර්තාව

son-mother
දෙසැම්බර් 12, 2019

 

චිත්‍රපටය සොයා ගන්නේ නම් මෙන්න විස්තරය

 

FILS MERE

(son-mother)
director - writor /
mahnaz mohammadi
producer-
kaveh farnam/farzad pak/mohammad rasoulof
raha khodayari,mahan nasiri,reza behboodi, maryam boubani europe media nest/filminiran Running time -102 mts

ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ දී මා දුටු විශිෂ්ට සිනමා කෘතින් අතරින් කිහිපයක් පිළිබඳ ලියන්නට අදහස් කළෙමි. ඒ ඔබ සමග මා දුටු චමත්කාරය විඳ ගන්නටය. මේ චිත්‍රපට අන්තර්ජාලය හරහා ඔබට නැරඹිය හැකියැයි විශ්වාස කරමි. ඒ සඳහා මුල පුරන්නේ ඉරාන සිනමා කෘතියකිනි. පසුගිය කාලයේ නිපද වන ලද බොහෝ ඉරාන චිත්‍රපට මඳක් නරඹද්දී ම අතහැර දමන්නට පුරුදුවූයෙමි. එයට හේතුව මුල් යුගයේ අබ්බාස් කියරොස්තාමි, මෝෂෙන් මකමල්බාෆ්, වැනි ඉරාන සිනමකරුවන් සතු ව තිබූ සිනමාවේ අවංක කම වෙනුවට බොහෝ සිනමාකරුවන් ගේ නිර්මාණ ව්‍යාජ නිර්මාණ බවට පත් කර ගැනීමය.

ඔවුන් දේශිය වශයෙන් පීඩාවන්ට පත් වන්නට වන්නට ඔවුන් ගෙන් සමහරු වුවමනාවෙන් විදෙස් ආකර්ෂණය ලබා ගැනීමට සිනමා නිර්මාණ බිහි කළහ. එමෙන්ම ඇතැම් චිත්‍රපට සඳහා ආයෝජනය කරන ලද්දේ යුරෝපයේ වෙනත් රටවල සමාගම් මගින්ය. කෙසේ වෙතත් මේ හරහා ඉරාන සිනමාව ගැන හැමවිටම ලෝක අවධානය පාත්‍රවීමේ අඩුවක් නොවිණ. එහෙත් ව්‍යාජ නිර්මාණ නිසා හැත්තෑව දශකයේ පිබිදුණ ඉන්දියානු නවරැල්ලේ සිනමාවට සිදුවූ වින්නැහිය ඉරානයට නොවිය යුතුය.

ප්‍රබල ඉරාන සිනමාකාරියක වන මහ්නාස් මොහමඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද සන්- මදර් (ඉර්‍ණව්-ර්ර්‍ණඊඩ්ඡ්අ) චිත්‍රපටය මෙවර නරඹන්නට ලැබුණු චිත්‍රපට අතර විශේෂ අත්දැකීමක් විය. 1975 වසරේ ජනවාරි පළමු වැනි දා උපත ලද මහ්නාස් සිනමාකාරියක මෙන්ම ඉරානයේ ස්ත්‍රි අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිණියක වේ. ඒ වෙනුවෙන් ඈ කිහිප වාරයක්ම සිරගත කරනු ලැබුවාය. වරක කාන් සිනමා උලෙළට ඇයට ආරාධනා කරන ලදුව වුද ඉරාන බලධාරින් ඇයට රටින් පිටවන්නට අවසර නොදුනු කල ඇය විසින් ලියන ලද ලිපිය සුප්‍රකට සිනමාකරු කොස්තා ගවරාස් විසින් උලෙළේ දී කියවනු ලැබීය. එහි ඇය තමා ඉරානයේ දී ස්ත්‍රියක හා සිනමාකාරියක වීමේ පාපයෙන් බරපතළ අපරාධකාරියක් ලෙස හඳුන්වන බව පෙන්වා දුන්නාය. ඇයගේ මුල්ම චිත්‍රපටය වුමන් විතවුට් ෂැඩෝස් නම් විය. එය ඉරානයේ නිවෙස් අහිමි කාන්තාවන් පසුබිම් කළ චිත්‍රපටයකි.

ඇය මුල්වරට අත් අඩංගුවට පත් වන්නේ 2007 වසෙර්ය. ඇයගේ නිවස ඇතුළු බොහෝ ලිපි ලේඛන නිරන්තරයෙන් ඉරාන බුද්ධි අංශයන්ගේ විමර්ෂණයට ලක් වෙයි. ඇය ද නිරන්තරයෙන් සම්ප්‍රදායික මතවාද සමග ගැටෙන්නීය. 2014 වසරේ දී ඇය අත් අඩංගුවට පත් වූයේ ඉරාන පාලනයට එරෙහිව ප්‍රචාරයේ යෙදීමේ වරදටය. මෙවර ඇය ගේ දඬුවම අවුරුදු පහකි. එයට පෙර වතාවක ඇය මෙන්ම සුප්‍රකට සිනමා කරු ජපාර් ෆනාහි ද අත්අඩංගුවට පත්විය.

ඇයගේ නවතම සිනමා නිර්මාණය වන සන්-මදර් චිත්‍රපටය නරඹන්නට පූර්වයෙන් මා තුළ තිබුණේ ඉරාන පාලනයත් සමග නිරන්තරයෙන් සටන් වදින මේ ගැහැනිය ගේ චිත්‍රපටය නිකම්ම සටන් පාඨයක් වනු ඇත යන හැඟිමය. එහෙත් සන්- මදර් චිත්‍රපටය එබන්දක් නොවිණ. එය ඉරාන ගැහැනිය පිළිබඳ කියන කතාවක් වුව බොහෝ විට සමස්ත ලෝකයේ ම ගැහැණුන් අත් විඳීන ඉරණමක එක් පැතිකඩක් පමණකි. චිත්‍රපටය විකාශය වනුයේ පරිච්ඡේද දෙකක් හැටියටය. මුල් කොටසේ චිත්‍රපටය හඹා යනුයේ මවගේ ජීවිතය දෙසය. දෙවැනි කොටස පුතුගේ ජීවිතය දෙසය.

ලෙයිලා දෙදරු වැන්දඹු මවකි. ඇය කර්මාන්ත ශාලාවක සේවය කරන්නේ විවිධ දුක් ගැහැට මැදය. ඇයගේ දියණිය අත දැරියක වන අතර පුතු අමීර් දොළොස් හැවිරිදිය. ඇය උපයන මුදල ජීවත් වන්නට ප්‍රමාණවත් නොවෙයි. කුඩා දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයක යොදවා රැකියාවට එන විට ඇයට ප්‍රමාද වෙයි. වැඩපොළේ විවිධ දුෂ්කරතාවන්ට ද ඇයට මුහුණ දෙන්නට සිදුවෙයි.

මේ අතරවාරයේ කර්මාන්ත ශාලාවේ සේවක ප්‍රවාහනයේ යෙදෙන රියැදුරෙකු වූ කාසිම් ඇයට විවාහ යෝජනාවක් ගෙන එයි. කාසිම් ද බිරිය මළ පුරුෂයෙකි. මුලින් අකමැති වන ඇය පසුව යෝජනාවට කැමැත්ත පළ කරයි. ඒ වැඩිහිටි කාන්තාවකගේ අදහස් හා උපදෙස් පරිදිය. කිසිවකුගේ රැකවරණය ඇයට අවශ්‍යව ඇත්තේය. එහෙත් කාසිම් අමීර් බාර ගන්නට අකමැතිය. ඒ කාසිම් ටද අමීර්ගේ වයසේම දියණියක සිටින බැවින්ය. එකම විසඳුම අමීර් ටික කලකට වෙනත් තැනක නතර කරලීමය. ටික කාලය යනු මසක් විය හැකිය. දෙමසක් විය හැකිය. අවසානයේ වැඩිහිටි කාන්තාවගේ උපදෙස් පරිදි ටික කලකට අමීර් නතර කරන්නට සිදුවනුයේ ගොළු බිහිරි පාසලක නේවාසික සිසුවෙකු හැටියටය. කාසිම් හා ලෙයිලා විවාහ වෙති. අමීර් ගොළු බිහිරි පාසලේ එබඳු දරුවකු ලෙස නේවාසිකව හැදී වැඩෙයි.

මේ අතරවාරයේ මහලු ගැහැනිය ගොළු දරුවකු යැයි හඟවා නේවාසිකාගාරයට ඇතුළත් කළ එකම සිසුවා අමීර් පමණක් නොවන බව අපට පසක් කරන්නට සිනමාකාරිය සමත් වෙයි. අමීර් ගොළු වෙස් ගෙන පාසලේ සිටින්නේ තනිව නොවෙයි. ඔහු අනිත් දරුවාගේ උදව්වෙන් වරෙක පාසලෙන් පැන යයි. ඔහු අම්මා වැඩ කළ කම්හ‍ටෙ ගිය ද ඇය මුණ නොගැසෙයි. ඔහුට කාසිම් මුණ ගැසෙයි. කාරුණික මිනිසකු වූ කාසිම් අමීර් බාර නොගන්නා හේතුව පෙන්වා දෙයි. චිත්‍රපටය අවසානයේ දොළොස් හැවිරිදි අමීර් යලි ගොළු දරුවන්ගේ පාසලට ඇතුළත් වෙයි. ඒ අම්මා හා සොහොයුරියගේ අනාගතය වෙනුවෙන්ය. කතා කළ හැකි දරුවෙක් උපේක්ෂා සහගතව නිහැඬියාව වැලඳ ගනියි.

ලෙයිලාගේ චරිතය සියල්ල විඳ දරා ගන්නා අභිමානවත් ගැහැනියක බවට පත් කරද්දී සිනමාකාරිය අමීර් ගොඩ නගනුයේ නිහඬ ව සියල්ල බලා සිටින දරුවකු හැටියටය . ඔහුට මවගේ දුෂ්කර ජීවිතය වටහා ගැන්ම අපහසු නොවෙයි. එබැවින් අම්මා වෙනුවෙන් දරුවාගේ කැප කිරීම අම්මාගේ කැපකිරීම අබිබවා යන බවක් අවසානයේ හැඟෙන්නේ එහෙමය. සිනමාකාරිය එය ගොඩ නඟන්නේ සියුම් වියමනක් හැටියටය.

මේ චිත්‍රපටය ඉරාන ගැහැනිය පිළිබඳ සටන් පාඨයක් නොවිණ. එය සමස්ත ගැහැනුන්ගේ ඉරණමෙන් කොටසක් බැව් අපට ඒත්තු ගන්වන්නට සිනමාකාරිය සමත් වෙයි. අමීර් පිළිබඳ පමණක් නොව ලෙයිලා පිළිබඳව ද අපට ඇති වනුයේ අනුකම්පාවකි. මේ අනුකම්පාව පසුපස ඇය ඉරාන ගැහැනිය ගැන පමණක් නොව සමස්ත ගැහැනුන් ගැන කියාපාන වගක් පළ වෙයි.

සිනමාකාරිය සිය චිත්‍රපටය ගොඩ නගනුයේ ඉතා කුඩා තේමාවක් යටතේය. එහෙත් එය බල සම්පන්නය. විටෙක වාර්තා ස්වරූපයෙන් චරිත හා සිදුවීම් දෙස බලා සිටින්නට යොමු කරන සිනමාකාරිය ඒ හරහා එම ජීවිත විනිවිද දකින්නට උත්සාහ කරන්නීය. මානව සම්බන්ධතාවන්ගේ ඇතැම් හැඟිම් විරහිත අවස්ථා ඇය සිනමාවට නගාලන්නේ ඉතා සංයමයකිනි. කිසිවකු කෙරෙහි වරදක් සිතන්නට හෝ කිසිවකුට හෝ දොස් නගන්නට අවශ්‍ය නැත. මේ මිනිස් වර්ගයාගේම කොටසක් පමණකි. වැන්දඹු තරුණ ගැහැනියක පිලිබඳ මිනිසුන්ගේ පමණක් නොව සමකාලින සමාජයේ ගැහැනුන්ගේ ද ආකල්ප එකමය. එය වඩා ආගමික හා සාමාජිය නීතිරිති මත සිර කර තබන ඉරාන සමාජයේ ද වෙනත් සමාජයක ද දැඩි වෙනසක් නැතැයි යන්න අපට නිකමට සිතෙයි. සන්-මදර් . වඩා දැනෙන සිනමාකෘතියක් වනුයේ එය ලෝකයටම පොදු නිසාය. සිනමාව යනු ජීවිතය දෙස ලෝකය දෙස එබී බලන්නට කදිම කවුළුවකැයි පසක් වෙයි.

සන් මදර් චිත්‍රපටය ඉරාන හා චෙක් ජනරජය අතර සම නිෂ්පාදනයකි.
 

https://www.youtube.com/watch?v=YumbwfNBHew

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.