පැරීසියේදී සැඟවුණු යුදෙව් හැඳුනුම්පත

SYNONYMES
දෙසැම්බර් 26, 2019

DIRECTOR-NADAV LAPID

WRITTEN BY- HAIM LAPID/NADAV LAPID

PRODUCERS-SAID BEN SAID,MICHAEL MERKT

TOM MERCIER,QUENTIN DOLMAIRE, LOUISE CHEVILLOTTE

2019/123 MINUTES/ISRAEL-FRANCE

LANGUAGES-HEBREW/FRENCH

මද වැස්ස. කිසිවකු පසුපසින් ලුහු බඳීන රූප රාමු. කඩිමුඩියේ දිව යන පුද්ගලයකු පසුපස හඹා යන රූප රාමු අපව කුතුහලයෙන් පුරවයි. මේ පුද්ලයා එකවරම හැරෙනුයේ සුවිසල් ගොඩනැගිල්ලකටය. එය ඔහුට හුරු ගොඩනැගිල්ලක් නොවේ. ඔහු කර මත ඇති ගමන් මල්ල අපට පෙනෙනුයේ එතැනදීය. ගොඩනැගිල්ලේ ඇතුළත කිසිවකු නැත. එය හිස් කළ එකකි. සුවිසල් ගොඩනැගිල්ලක ඔහු රිංගා ගන්නා මහල සහමුලින්ම හිස්ය. එහි කඩා වැදෙන තරුණයා කාමරය හැම තැනම පරීක්ෂා කරයි. කිසිවකු නැත. පසෙක වූ නාන කාමරය ඔහු ඇස ගැසෙයි. දැන් හොඳීන් නාගත යුතුය. එබැවින් ඔහු සියලු ඇඳුම් ගලවා නිරුවත් වී නාන කාමරයට වැද එහි නාන ඔරුවේ වැතිර සිත්සේ නාගනියි. කඩවසම් ප්‍රාංශු දේහධාරි ඔහුගේ නග්න සිරුරේ සියලු හැඩතල සිනමා කැමරාවට හසුවෙයි. ඔහුගේ නග්න සිරුර සුන්නත් කළ එකෙක් බැව් හැඟවෙයි. එයින් ඔහු යුරෝපියකු නොවන වග අපට පසක් කරවයි. හොඳීන් නා ගැනීමෙන් පසු ඔහු යළි තමා ඇඳුම් උනා තැබූ ගමන් මල්ල ඇති තැනට පැමිණෙයි. සියල්ල උඩු යටිකුරු වන්නේ නිතැතිනි. ඇඳුම් මල්ල ඇතුළු සියල්ල අතුරුදන්ය. ශිෂ්ට සම්පන්න ලෝකයේ සියල්ල අහිමි වන ඔහු කලබලයට පත්ව ගොඩනැගිල්ලේ එහා මෙහා දුව යන්නට පටන් ගනියි. අපට එකවරම මතුවන හාස්‍ය වළකා ගත නොහැකිය. එහෙත් ඒ මොහොතකට පමණකි. දැඩි සීතලෙන් වෙව්ලන ඔහු යළි නාන කාමරයට වැද තමා විසින්ම උණුසුම් වන්නට උත්සාහ කරයි. එහෙත් එය නිරර්ථක වෑයමකි.

1990 වසරේ දී ස්වර්ණ සංඛ සිනමා පදනම මගින් සංවිධානය කරන ලද ප්‍රංශ සිනමා උලෙළකට ඇතුළත්ව තිබී සම්පූර්ණයෙන් තහනම් කරන ලද ශෝන් ක්ලෝඩ් සස්ෆෙල්ඩ් අධ්‍යක්ෂණය කරන ලද ලා පසරෙල්ලි චිත්‍රපටයේ මුල් රූප රාමු පෙළ සිහියට නැඟේ. එහි ප්‍රධාන චරිතය ශාන් ජීවත්වනුයේ මහල් නිවාසයකය. ඔහුට තෑගි පාර්සලයක් ලැබෙනුයේ නාන කාමරයේ දිය නාමින් සිටියදීය. තුවායක් ඇඳ ගෙන ගෙයින් පිටතට එන ඔහු පාර්සලය ලබා ගෙන ගේ ඇතුළට යන්නේ පාර්සල්කරු ආපසු පිටත්ව ගිය පසුය. පාර්සලය රැගෙන එද්දී තුවාය කඩා වැටෙයි. තුවාය අඳීමින් පාර්සලය ගෙන යා නොහැකි නිසා ඔහු කරන්නේ තුවාය ගලවා ගෙතුළට විසී කිරිමයි. කරුමෙට මෙන් ඒ සමඟ තම නිවසේ දොර වැසෙයි. එය ඇතුළතින් විවෘත කළ යුතු දොරකි. මේ අතරවාරයේ සෝපානය දිගේ කිසිවකු තම ඉහළ මාලයට එනු දකින ශාන් කලබල වී හැම අත දුවයන්නේ පිස්සෙකු මෙනි. නරඹන සියලු දෙනා හාස්‍යයෙන් ඉපිල යති. එහෙත් සියල්ලම තුෂ්නිම්භූත වනුයේ එක වරමය. නිරුවත් ශාන් දකින කුඩා දරුවකු බිය පත්ව උඩුමහලින් බිමට ඇද වැටෙයි. එයින් වසර විසි නවයකට පසු නරඹන ඊශ්‍රායල හා ප්‍රංශ හවුල් නිෂ්පාදනයක් වූ සිනොනිම්ස් චිත්‍රපටයේ යෝවාව් නම් ඊශ්‍රායල ජාතික තරුණයා මුහුණ දෙන්නේ එයට වඩා වෙනස් අත්දැකීමකටය. නිරුවතින් සීතලෙන් ගල් ගැසී සිහිසුන් ව සිටින ඔහුගේ සිරුර ළඟට පැමිණෙන තරුණ යුවලකි. එමිල් හා කැරොලින් නම් නාඹර යෞවනය උතුරා යන මේ දෙදෙනා නිරුවත් වානරයාගේ සිරුර දෙස මුල් වරට බලා සිටින්නේ විස්මයෙනි. අනතුරුව ඔවුහු යෝවාව් සිය නිවස ඇති මහලට ගෙන යති. උණසුම් ඇඳුම් ද අවශ්‍ය රැකවරණය ද සහිතව යෝවාව් ප්‍රකෘති තත්වයට පත්වෙයි.

ලොව විශිෂ්ටතම සිනමා උලෙළක් ලෙස සැලකෙන බර්ලින් අන්තර් ජාතික සිනමා උලෙළේ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන රන්වලහා (ඨධතඤඥද ඡඥචප) සම්මානයෙන් 2019 වසරේ පිදුම් ලද චිත්‍රපටය වූ සිනොනිම්ස් අධ්‍යක්ෂණය කරන ලද්දේ ඊශ්‍රායල් සිනමාකරුවකු වන නාදව් ලැපිඩ් විසින්ය. 1975 වසරේ දී ඊශ්‍රාලයේ ටෙල් අවිව් නගරයේ උපත ලද නාදව් එහි විශ්ව විද්‍යාලයෙන් දර්ශනය හදාරා පසුව පැරීසියට ගියේ හමුදා සේවය සඳහාය. ඔහ යළි පෙරළා මව්බිමට පැමිණ ජෙරුසෙලමේ සෑම් ස්පිගල් සිනමා හා ටෙලිවිෂන පාසලෙන් සිනමාව සම්බන්ධව උපාධියක් හැදෑරුවේය. ( බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි, ලෝරන්ස් ඔෆ් ඇරබියා , ඔන් ද වෝටර්ෆ්‍රන්ට් වැනි චිත්‍රපට නිපද වූ හොලිවුඩ් නිෂ්පාදක යුදෙව් ජාතික සෑම් ස්පිගල් නමින් විවෘත වූ සිනමා පාසලකි) ඔහුගේ මුල්ම චිත්‍රපටය පොලිස්මන් ලෝකානෝ සිනමා උලෙළේ විශේෂ ජූරි සම්මානයෙන් පිදුම් ලද්දේය. ඔහුගේ දෙවැනි වෘත්තාන්තය වූ ද කින්ඩර්ගාට්න් ටීචර් 2014 වසරේ කාන් උලෙළේ මෙන්ම ජාත්‍යන්තර සිනමා විචාරක සතියේ දී බුහුමනට පාත්‍රවිය. ඔහුගේ නවතම චිත්‍රපටය වන සිනොනිම්ස් එක් අතකින් තරුණ සිනමාකරුවාගේ ජීවන අන්දරයේම කොටසක් කියාපෑමක් බඳුය. කලකට ඉහත පැරීසියේ ජීවත් වන නාදව් ලැපිඩ් විශ්වාස කරනුයේ තමා වැරදීමකින් ඊශ්‍රාලයේ උපත ලද්දෙකු හැටියටය.

සිනොනිම්ස් චිත්‍රපටයේ යෝවාව් පැරීසියට පැමිණෙන්නේ තඹ දොයිතුවකුත් අතේ නැතිවය. ඔහු සතුව ඇති එකම වස්තුව කුඩා ප්‍රංශ ශබ්දකෝෂය පමණකි. ඔහු සිය ප්‍රධාන චරිතය සඳහා තෝරා ගන්නා නළු ටොම් මර්සියර් ජූඩෝ ක්‍රීඩකයකු මෙන්ම නර්තන ශිල්පයකු ද වෙයි. එය ඔහුගේ ප්‍රථම රංගනයයි. යළි පණ ගැහෙන යෝවාව් ගෙන් අලුතින් මිතුරුවන එමිල් හා කැරොලින් අසන්නේ පැරිසියේ කුමක් කරන්නේ ද යන්නයි. ඔහුගේ පිළිතුර මා දන්නේ නැත. මම ප්‍රංශ ජාතිකයෙක්. තම ජාතික අනන්‍යතාව සඟවාලන ඔහු විස්තර කරයි.

කැරොලින් ගෙන් ලැබෙන රන්වන් පැහැ කබාය හැඳ ඔහු පැරීසියේ සැරිසරන්නේ ශබ්දකෝෂය ඇතිවය. ඔහු ප්‍රංශ ජාතික ගීය ගයන්නට උත්සාහ කරයි. ඇඳ සිටින ඇඳුම ඔහුට තරම් නොවෙතත් ඔහුගේ හැසිරීම නොරට දී නම්බු එපා යන සිංහල කියමන සිහිපත් කරන්නකි. ඔහු අතැති ශබ්ද කෝෂයෙන් සොයා ගන්නේ ඊශ්‍රාලයේ වහරන හීබෘ භාෂාව හා ප්‍රංශයේ ප්‍රංශ භාෂාවේ ඇති සමාන පද මඟින්ය. එහෙත් ඔහුට යළි ඊශ්‍රායලය අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය අලුත් ජීවිතයකි. ඔහුගේ සිරුර දෙස බලන්නට කැමැති ගැහැනුන් පමණක් නොවේ. වරක් සරාගී චිත්‍රපට නිෂ්පාදකයෙක් ඔහුට පවසන්නේ අරාබි යුවතියක සමග නිල් චිත්‍රපටයක රඟපාන්නටය. එහි ඇති උත්ප්‍රාසය කවරෙක්ද? එකිනෙකා මරා ගන්නා දෙරටක මිනිසුන් වෙනත් රටක දී එකිනෙකාට අලෙවි වන්නේ ද?

විටෙක ඔහු එමිල් ගෙන් සිහිනයෙන් මෙන් අසන්නේ මේ මරණයද ? යන්නයි. ඒ වන විට ඔහු බොහෝ අත්දැකීම් ලබා ඇත. ළමා වියේ දී ඇසූ ග්‍රීක පුරාවෘත්තාන්තයන්ගේ නැතහොත් හෝමර් ගේ ඉලියඩ් හා ඔඩිසි කතාවල ආ ට්‍රෝයි පුර වීරයා හෙක්ටර් ඔහුට සිහිපත් වෙයි. යුදයේ දී හෙක්ටර්ට වූ දේ කියන්නට කුඩා කල මව්පියන් කැමැති වී නැත. සිහිනයෙන් මෙන් දකින හෙක්ටර් ගේ සිරුර. එය ඊශ්‍රායලයේ ද නැතහොත් ලෝකයේ කවර හෝ දිග්භාගයේ ද අප දන්නේ නැත. එය බිහිසුණු සිහිනයක් ද යන්නත් නිනව් නැත. ලෝකය උඩු යටිකුරු වී බලන ඔහුගේ විලාසය හා ඔහුගේ දෘෂ්ටි කෝණය අප මනස කියවන්නේය. අප දකිනුයේ නොත්‍රදාමයේ මහ පල්ලියයි. විටෙක සංකේතාමකව මෙන්ම විටෙක කියවා ගත නොහැකි යටිපෙළ අරුතක් ද සහිත ව සිනමාකරු ගෙන එන්නේ ඔහුගේම අත්දැකීම් සමූහයකි. එහි ඇත්තේ තම අනන්‍යතාව සඟවාලන සරණාගතයකු පිළිබඳ ආත්ම කථනයකි. එහෙත් අතීතයෙන් පලා යන්නට ඔහුට නොහැකිය. ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධය පළ කරන ජනතාව අතර ඔහුගේ විරෝධතාව මෙන්ම පක්ෂපාතිත්වය ද එකවර පළවෙයි. වැස්ස සමග එහි කඩා වදින්නන් ගලවා ගන්නේ ඔහුය. ඔහුට හමුවන පැරැණි සගයා යාරෙන් යුදෙව් ජාතික ඊශ්‍රායල වැසියකුයැයි කියන්නට ඔහු කිසිවිටෙකත් මැළි නොවෙයි. ඒ අතරවාරයේ පැරීසිය ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බේරා ගැන්මේ සිහිනයකින් පසුවන ඔහු ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ බලාපොරොත්තු වෙයි. අතරමඟ සිනමා කෘතියට කඩා වදින යාරෙන් යෝවාව් ට වඩා හාත්පසින් වෙනස්ය. එකෙක් ස්වකීය හැදුනුම්පත සඟවා ගන්නට වැර දරද්දී අනෙකා හැඳුනුම්පත අහිමිවනු දැක්මෙහි රිසියෙකි . පැරීසියේ කිසිවකු නොදන්නා මේ අන්‍ය ජාතිකයා ස්වකීය අනන්‍යතාව ගොඩ නැගිය යුත්තේ කෙලෙසද? මේ සිහිනයක් ද, සැබෑවක් ද, නිරන්තරයෙන් දකින හිස් අවකාශය සහිත දැවැන්ත ගොඩනැගිලි මැද මේ ඉලන්දාරියාගේ ඉරණම කවරේ ද ? සිනමාකරු විසින් අප ගෙන යනුයේ පිළිතුරක් නැති ගැටලුවකට ද?

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.