රජිනිකාත්ගේ නව ආගමනය

ජනවාරි 9, 2020

DARBAR

පසුගිය වර්ෂයේ තෛපොංගල් දිනයේ තිරගත වූ“ Petta” චිත්‍රපටයට පසු සුපිරි තරු රජිනිකාන්ත් රංගනයෙන් දායක වන ඔහුගේ 167 වැනි චිත්‍රපටය වන “දර්බාර් ” මේ වර්ෂයේ තෛපොංගල් උත්සවයට සමගාමීව ඉන්දියාවේදී තිරගත වීමට නියමිතය. 1992 දී තිරගත වූ එස්. පී මුත්තුරාමන් අධ්‍යක්ෂණය කළ “පාණ්ඩියන්” චිත්‍රපටයේදී රජිනි පොලිස් නිලධාරියෙකුගේ චරිතයට පණපොවනු ලැබීය. ඒ ඔහුගේ අවසාන පොලිස් රංගනයයි. “දර්බාර්” සිනමා පටයේද ඔහු පොලිස් නිලධාරියෙකුගේ භූමිකාව ඔස්සේ ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරනු ලබයි.

ඔහු පොලිස් කොමසාරිස් “ආදිත්‍ය අරුණාචලම්” චරිතයෙන් කරළියට පැමිණෙන්නේ වසර ගණනාවක විරාමයකින් පසුවය. එක් දර්ශනයකදී පොලීසිය වෘත්තියක් නොවන බව ඔහු සිය යටත් නිළධාරීන්ට පවසයි. “අපි ජීවත් වන්නේ ආරක්ෂා කරන්න. සේවය කරන්න. මැරෙන්න.” “දර්බාර්” හි ඔහුගේ වචන තීව්‍ර වන්නේ මෙසේය. 2019 අප්‍රේල් 9 වැනි දින මෙහි පළමු පෝස්ටරය නිකුත් වූ අතර එහි දක්වා තිබුණේ, “ඔබ හොඳ හෝ නරක හෝ වැරදි බව තීරණය කරනුයේ ඔබ විසින්මය” යනුවෙනි. කෙසේ වෙතත් මේ සිනමා පටය උත්කර්ෂවත් පොලිස් කතාවක් වනු ඇති බවට සිනමා විචාරකයන් සහ ඉන්දීය මාධ්‍ය විශ්වාසය පළ කරයි. හෙට සිට වැනි දින තිරගත වන දර්බාර් ඉන්දියාවේ මෙන්ම ලෝකය පුරා සිනමා ශාලා ආක්‍රමණය කිරීමට නියමිතය.

එදිනම තිරගත වන අජේ දේව්ගන්ගේ “තන්හාජි” සිනමා පටය සමඟ ද ජනවාරි 10 වැනි දින තිරගත වන සුපිරි නිළි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වන, මේග්නා ගුල්සාර්ගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වන “චපාක්” චිත්‍රපටය සමඟ ද “දර්බාර්” බොක්ස් ඔෆිස් ගැටුමකට මුහුණ දෙනු ඇත. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය, “සර්කාර්”, “ගජිනි” ආදී අති සාර්ථක චිත්‍රපට රාශියක් නිර්මාණය කළ ඒ.ආර් මුරුගදාස් විසිනි. “දර්බාර්” නිෂ්පාදනය අලිරාජා සුබස්කරන්ය. සුපිරි තරු රජිනිකාන්ත් සුපිරි නිළි නයනතාරා සමඟ හැඩගැන්වෙන දර්බාර්හි සෙසු රංගන දායකත්වය නිවේතා තෝමස්, සුනිල් ෂෙට්ටි, යෝගි බාබු, ප්‍රතීක් බබ්කාර් සහ නවාබ් ෂා විසිනි. සිනමා නිර්මාණය සන්තෝෂ් සිවන් වන අතර සිනමා පටය සප්ත ස්වරයෙන් සංගීතවත් කරනුයේ අනිරුද් රවිචන්ද්‍රර් විසිනි.

 සංස්කරණය ඒ ශ්‍රීකර් ප්‍රසාද් ය. නිෂ්පාදන සමාඟම වන්නේ ලයිකා ප්‍රඩක්ෂන්ය. ඉන්දියානු දෙමළ භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක ප්‍රවර්ගයට අයත් “දර්බාර්” හින්දි, තෙලිගු සහ මලයාලම් භාෂාවලි ද සිනමාලෝලීන් අතට පත්වීමට නියමිතය. චිත්‍රපටයේ රූගතකිරීම් සිදුකොට ඇත්තේ මුම්බායිවලදී ය. කෝටි 218 ක ප්‍රාග්ධනයකින් නිර්මාණය වන මේ සිනමා පටය ඉහළම ආදායම් ලබමින් බ්ලොක්බස්ටර් ලේබලය තමන් සතු කරගනු ඇතැයි විශ්වාසය තැබිය හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.