ලක්ෂ්මි අගර්වාල්ගේ සත්‍ය ජීවිත කතාව...

ජනවාරි 16, 2020

 

CHHAPAAK

 

2005 දී වයස අවුරුදු 15 ක් වු ලක්ෂ්මි ගායිකාවක් වීමට සිහින මැව්වාය. ඇගේ සිහිනය සුවිසල්ය. එබැවින් ඇය ඒ සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළාය. එසේ තිබියදී 32 හැවිදිරි පුද්ගලයෙක් ඇයව ලුහුබඳීමින් ඇයට විවාහ යෝජනාවක් ගෙනා ආ අතර ඇය එකහෙළා එම යෝජනාව ප්‍රතික්ෂේප කළාය. ප්‍රතික්ෂේපය දරාගත නොහැකි ඔහු මාස ගණනාවක් ඇයට හිරිහැර කිරීමෙන් අනතුරුව එක් දිනෙක ලක්ෂ්මි දිල්ලියේ ඛාන් වෙළඳපොළට යමින් සිටියදී ඔහු විසින් ඇයට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන ලදී. අනතුරුව දිවි ගලවා ගැනීමට ඇය කළ සටන සහ සටනින් පසු ඇතිවූ අරගලය, ඒ අරගල තුළින් දිවි ගලවා ගත් ඇය සිය ගණනක් දෙනාගේ ජීවිතවලට ඉදිරියට යෑමට කළ දායකත්වය මෙම චිත්‍රපටයට අනුව විස්තර කරයි. 2020 වර්ෂයේ ජනවාරි 10 දින ඉන්දියාවේදී තිරගතවීමට නියමිත CHHAPAAK  ඇසිඩ් ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ලක්ෂ්මි අගර්වාල්ගේ ජීවිතය මත පදනම් වේ.

මෙය සත්‍ය සිදුවීමක් වීම විශේෂත්වයකි. CHHAPAAK  පූර්ව ප්‍රචාරක වීඩියෝව ඉන්දීය සිනමා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කර ඇත. එය කාන්තාවක් එතරම් බලවත් විය හැකිදැයි ප්‍රේක්ෂකයින් කල්පනා කිරීමට පොළඹවයි. ඇගේ නිර්භීත සටනින් පසු,ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳ කතාව මෙම චිත්‍රපටයෙන් විස්තර කෙරේ.

චිත්‍රපටයේ ඇති මේ දෙබස ඇගේ ආත්ම ශක්තිය පිළිබඳ දෝංකාරයකි. “ඔවුන් මගේ මුහුණ කැළැල් කර ඇත. එහෙත් ඒ මගේ ආත්මය නොවේ”. සුරූපි දීපිකා පදුකෝන් “පත්මාවත්” සිනමාපටයෙන් පසුව ප්‍රේක්ෂකයින් හමුවන මුල්ම චිත්‍රපටය වන්නේ ද මෙයයි.ඇය මේ පිළිබද අදහස් දක්වා තිබුණේ මෙසේය.“චපාක් කියන්නේ මගේ හීනයක්. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න මම සූදානම් වෙලයි හිටියේ”. දීපිකාගේ රංගනය ගැන චිත්‍රපටියේ අධ්‍යක්ෂක මේග්නා ගුල්සාර් මාධ්‍ය ඉදිරියේ අදහස් ප්‍රකාශ කර තිබුණි.“චිත්‍රපටයේ තිරරචනය ලියන කොට මගේ හිතේ මාලතී විදිහට මැවුණේ දීපිකාව. ඇය එයට අපූරුවට ගැළපුණා. චිත්‍රපටයේ අවසානයේ මට දැනුණේ ලොකු සැහැල්ලුවක්. ඇගේ වැඩ වැඩ කොටස ඇය ඕනෑවටත් වඩා හොඳට කරලා තිබුණා. ඉතිරිය ප්‍රේක්ෂකයින්ට බාරයි. මෙය අනිවාර්යනේම සාර්ථක චිත්‍රපටයක් වන බවට මට විශ්වාසයක් තියෙනවා චිත්‍රපටයේ රූගත කිරීම් කරන කාලසීමාව තුළ දීපිකා වෙන කිසිම නිර්මාණයක් බාර ගත්තේ නෑ. ඒ තරමට මේ චිත්‍රපටය වෙනුවෙන් ඇය කැප වුණා. විශේෂයෙන්ම ලක්ෂ්මි එක්ක වැඩි කාලයක් ගත කරමින්.”.චිත්‍රයටයේ ප්‍රධාන රංගන දායකත්වය වන දීපිකා පදුකෝන් “මාලතී” චරිතයට පණපොවන අතර වික්‍රාන්ත් මාසෙයි සෙසු ප්‍රධාන රංගන දායකත්වය වේ.

වික්‍රාන්ත් “අමෝල්” ගේ චරිතයට රංගනයෙන් දායක වේ. සිනමාපටය නිෂ්පාදනය, ෆොක්ස් ස්ටාර් ස්ටූඩියෝ, දීපිකා පදුකෝන්,මේග්නා ගුල්සාර් සහ ගෝවින්ද සිං සින්දු වන අතර තිර රචනය, අටිකා චොහාන් සමග මේග්නා ගුල්සාර් විසිනි. සංගීත අධ්‍යක්ෂණය, ශංකර් ඒෂාන් ලෝයි වන අතර ගීත සදහා පද රචනයට ගුල්සාර් දායක වී ඇත. සංස්කරණය නිතික් බයින් විසින් වන අතර බෙදාහැරීම “ෆොක්ස් ස්ටාර්” වේ. චිත්‍රපටය රූගත කිරීම් 2019 මාර්තු සිට ජුනි දක්වා නව දිල්ලියේදී සහ මුම්බායිවල සිදුවිය. විචාරකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර මේ සිනමාපටය සඳහා ලැබුණි. 86% ක ශ්‍රේණිගත කිරීමක් දැනටමත් ලබාගෙන ඇති CHHAPAAK  ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගනිමින් තිරගත වනු ඇති බවට විශ්වාසය තැබිය හැකිය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.