නිජබිමක අතරමං වූ මිනිස්සු

ජනවාරි 23, 2020

ලෝකය කොතෙක් විශාලවුව ද මිනිසුන් අත් විඳීන සමාජ කම්පනයන් එකිනෙකා හා බද්ධ කිරීමට සිනමාව හා සම කළ හැකි මාධ්‍යයක් නැති තරම්යැයි මට හැඟෙන්නේ මා බයිස්කෝප් පිස්සෙක් නිසාදැයි කිසිතන්නට මම උත්සාහ නොකරමි. එහෙත් මෙයට වසර විස්සකට පමණ පෙර මසිත කම්පනයකට පත් කළ පුවතකට තරමක් සමාන අත්දැකීමක් තවත් නාඳුනන රටක සිනමාකරු‍වෙකු විසින් අප වෙත ඉදිරිපත් කරන කල අප තුළ ඇතිවන හැඟීම කෙබඳුදැයි විස්තර කරන්නට මම අපොහොසත්මි.

දිනමිණ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්ති වාර්තාවක් කෙතරම් මා සිත එකල කම්පනයට පත් කළා ද කිවහොත් එම පුවත පාදක කර ගෙන මම තිරනාටකයක් රචනා කළෙමි. කොළඹ මහා රෝහලේ දී මළ දරුවකුගේ දේහය සිය නිවසට ගෙන යා නොහැකි තරම් දිළිඳු වූ මාපියෝ පණ ඇති දරුවකු සේ දේහය ඔතා බදුල්ලට ආසන්න සිය ගමට දේහය ගෙන ගිය පුවතකි එය. මා එම පුවත ඇසුරු කොට තිර රචනය කළේ එකිනෙකා විරසක වූ ගැහැනුන් දෙදෙනෙකු මළ දරුවකු ගේ දේහය රාත්‍රි තැපැල් දුම්රියෙන් අනුරාධපුරයට ගෙන ගිය ආකාරයටය. චිත්‍රපටය පිළිබඳ සම්පූර්ණ සැලසුම් කළ ද නිෂ්පාදකගේ වාසනාවට චිත්‍රපටය වැඩ ආරම්භ කරන්නට මට ඉඩ ලැබුණේ නැත. කෙසේ වෙතත් මේ අත්දැකීම වෙනත් ආකාරයකට මට දකින්ට ලැබුණේ යුක්රේන චිත්‍රපටයක් වූ ඩධථඥඹචපඤ (ඡ්ඍට්ඡ්) නැරඹූ පසුවය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ නරිමාන් අලිව් නම් තරුණ සිනමාකරුවාය. (ව්චපඪථචද ඒතඪඥම) 1992 වසරේ උපත ලද ඔහු විසි හත් හැවිරදිය. ඔහු විසින් මෙයට පෙර ක්‍රිමියානු ත්‍රිත්වය නමින් කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය කරන ලදී. ඒ රිටර්න් විත් සන්රයිස් (2013) ලව් යූ (2014) හා විතවුට් යූ (2016) යන චිත්‍රපට ත්‍රිත්වයයි. හෝම්වර්ඩ් මෙවර කාන් සිනමා උලෙළේ අන් සර්ට්න් රිගාර්ඩ් අංශයේ තිර ගත කළ අතර ඇකඩමි සම්මාන උලෙළේ හොඳම අන්තර්ජාතික චිත්‍රපට සම්මානය සඳහා යුක්රේන නියෝජනය විය. චිත්‍රපටයේ ප්‍රධාන භාෂාව ටාටර් භාෂාවයි. එය යුක්රේනයේ තුර්කි සම්භවයක් සහිත පැරැණි ක්‍රිමියාවට අයත් ජනතාව වහරන භාෂාවකි.

චිත්‍රපටය ආරම්භ වනුයේ මෘත ශරීරාගාරයකය. තාත්තා මුස්තාෆා බාල පුතු අලීම් සමග එහි බලා සිටිනුයේ ඔවුනගේ වැඩිමහල් පුත්‍රයා නැතහොත් වැඩිමහල් සොහොයුරා වූ නාසිමි ගේ දේහය යුක්රේනයේ අගනුවර වන කිවි නගරයේ රෝහල් මෘත ශරීරාගාරයෙන් ලැබෙන තුරුය. සොහොයුරාගේ දේහය දකින අලීම්ට එය ඉවැසිය නොහැකිය. ඔහුට එය පිළිකුල්ය. එහෙත් මිය ගිය ද සිය වැඩිමහල් පුතු තාත්තාට දරුවෙකි. පුතු යුද්ධයට ගොස් ඇත්තේ ස්වෙච්ඡාවෙන්ය. ඒ යුක්රේනය වෙනුවෙනි. වැඩිමහල් පුතුගේ වෙඩි වැදුණු ඉදිමුණ ශරීරය දකින තාත්තාගේ මුහුණ හැඟිම් විරහිතය. පුතකු පිළිබඳ සෙනෙහෙ තම ඇට මිදුළු කරා ගොස් පියකුගේ හදවත තුළ කිඳා බසින්නේය. පවුලේ සිරිත පරිදි සිය පුතුගේ දේහය තම මව්බිම නැතහොත් තම ඥාති වර්ගයාගේ සොහොන් බිම වෙත ගෙන යෑම තාත්තාගේ එකම අපේක්ෂාවය. ඔවුහු පැරැණි සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් වූ යුක්රේනයේ වෙසෙන තුර්කි සම්භවයක් ඇති ටාටර් මුස්ලිම්වරුන්ය. ඔවුන් වෙසෙනුයේ ක්‍රිමියාවේය.

යුක්රේනය පැරැණි සෝවියට් දේශයෙන් බිඳී වෙන්ව ගියේ ජිවිත දහස් ගණනාවකින් වන්දි ගණනාවක් ගෙවීමෙන් පසුවය. මුස්තාෆා ගේ වැඩිමල් පුතු නාසිම් මේ යුද්ධයෙන් මිය ගිය කෙනෙකි. යුක්රේනයේ සිට සිය නිජබිම් යන්නට අකමැති බාල පුත් අලීම් තාත්තා සමග ගමනට සහභාගි වන්නේ තරමක් අකමැත්තෙනි. ඔහු අගනුවර අධ්‍යාපනය හදාරන්නෙකි. සිය සොහොයුරාගේ දේහය ගමට ගෙන යෑමේ වගකීමට මුස්තාෆා බාල පුතු හවුල් කර ගනුයේ බලහත්කාරයෙනි. මේ පිය පුතු දෙදෙනා එකිනෙකට නොපෑහෙන විත්තිය අපට දැනෙන්නේ ආරම්භයේමය. දැඩි නීති කාරයකු වූ තාත්තා ත් අලුතින් සිතන පරම්පරාවේ පුතෙකුත් එකිනෙකට පෑහෙන්නේ නැත.

මුස්තාෆා සිය වැඩිමහල් පුතුගේ දේහය රෝහලෙන් බාර ගනු ලබන්නේ රුසියානු වෛද්‍යවරයාට පගාවක් දීමෙන් පසුවය. එයින් පසු ඔහු ගේ වෑයම සිය පුතුගේ දේහය යළි ගමට ගෙන යෑමය. එය පහසු කාර්යක් නොවේ. එක් පැත්තකින් ආපස්සට අදින බාල පුතුය. අනිත් පසින් කොයිවේලේ ලෙඩ දමා නතර වේදැයි සිතිය හැකි රථයයි. නාසිම්ගේ දේහය ගෙනයනුයේ එහිය. අලීම් තම අධ්‍යාපන ආයතනය පියාට පෙන්වන ලබන නමුත් මුස්තාෆාට එය එතරම් වැදගත් නොවෙයි. ඔහුගේ එකම අරමුණ වැඩිමහල් පුතුගේ දේහය සිය පැරණි නෑයන් ළඟට ගෙන යෑමය. මේ යන මඟ ඔහුට නුහුරුය. ඒ මදිවාට හෘද රෝගියකු වූ බැවින් එය ද ඔහුට කරදර කරයි. නසීම්ගේ යුක්රේනියානු භාර්යාව වන කතෝලික ඔලෙස්යා පුත්ගේ අවමඟුලට පැමිණෙතැයි යන්න පියාගේ අමනාපයට හේතුවෙයි. මේ සියලු කරදරවලට ඔලෙස්යාත් හේතුවක්යැයි මුස්තාෆාගේ කල්පනාවය.

රථය අබලන් බැවින් එය අලුත්වැඩියා කර ගෙන පාරට දැමිය යුතු බැව් අතරමග රිය නවතන පොලීසිය පවසයි. සොයා ගන්නා ගරාජයේ හිමිකරුගේ යොවුන් මිණිබිරිය සමග අලීම් නාන්නට යන මග තවත් අකරතැබ්බයක් වනුයේ එහි සිටින තරුණයන් පිරිසක් සමග අරගලයකට පැටලීම නිසාය. ප්‍රතිඵලය මුදල් පසුම්බිය නැතිවීමය. රථය අලුත් වැඩියා කළ ගාස්තුව නොගෙවා යන්නට කාර්මිකයා ඉඩ නොදෙයි. මේ සියලු ගැටුම් ඔස්සේ තාත්තාත් බාල පුතාත් අතර අලුත් සම්බන්ධතාවක් ගොඩ නගන්නට සිනමාකරු සමත්වෙයි.

යුක්රේනයේ දේශ සීමාවේ වෙසෙන සිය ඥාතියකු වූ වාස්යා ගේ නිවහනට යෑමට ඔවුහු සමත්වෙති. මේ චිත්‍රපටය පුරා විවිධ ජන කොටස් ද විවිධ භාෂාවන් ද දැක ගත හැක්කේය. සමහරවිට ඔවුනගේ සිරිත් විරිත් එකිනෙකට වෙනස්ය. එහෙත් සිනමාකරු මේ සියලු කාරණා මැද මිය ගිය පුතෙක් හා ජිවත් වන පුතෙක් සමග පියාගේ ඇති ආදරණීය සම්බන්ධතාව ගොඩ නංවයි. එමෙන්ම මේ පියා පැරැණි සෝවියට් දේශයේ පාලනය යටතේ හැදුණු පියෙකු වන අතර පුත් අලීම් එම පාලන තන්ත්‍රය ගැන දන්නේ නැත. මේ යුද්ධය ද ඔවුන්ට අදාළ නැත. ක්‍රිමියාව යනු අපේ ජෙරුසෙලමයි යනුවෙන් මුස්තාෆා ලවා කියවන සිනමාකරු ඒ හරහා යුක්රේනයේ දී පවා තමන් වෙන් වුණ ජන කොඨිඨාසයක් බැව් හඟවන්නට සමත් වෙයි.

සිනමාකරු සිය නිර්මාණයේ චරිත අතර ඇති පරස්පරය ඉස්මතු කරනුයේ පරම්පරා අරගලයකින් නොවේ. එහි එන සාමාජිය හා සංස්කෘතික බැඳීම් අතර ද ඇති වෙනස් කම් සියල්ල සිනමාකරුගේ විමර්ෂණයට ලක්වෙයි. ඔහුගේ නෑයා වාස්යා සිටිනුයේ ඔවුන්ගේ මුල් ගම්මානවලට නුදුරිනි. එහෙත් මුස්තාෆා ගේ වෑයම එයින් නරතර නොවේ. අලීම් තරණය කළ යුතු ගංගාවෙන් එතෙර යෑම පහසුවක් නොවේ. ඔහුට ගෙන යන්නට සිදුවනුයේ සිය මිය ගිය සොහොයුරා පමණක් නොව ඒ වන තෙක් වැර වෑයමෙන් පණ නළ රඳවා ගත් තාත්තාගෙ මෘත දේහයත් ඔහු ගෙන යා යුතුව ඇත.

මාර්ග සිනමාවක් නැතහොත් රෝඩ් මූවි චිත්‍රපටයක් යනු ඉතා වැර වෑයමෙන් ගොඩ නැගිය යුතු චිත්‍රපට සම්ප්‍රදායක් වනුයේ මේ සිනමා නිර්මාණ විවිධ චරිත හා සිදුවීම් ඔස්සේ ගොඩ නැගිය යුතු බැවින්ය. එමෙන්ම එය රූපමය චාරිකාවකි. නැතහොත් චරිත අතර අරගලය හුදු සම්ප්‍රදායික සිදුවීම් මාලාවක් පමණක් වනු ඇත. පැරැණි සෝවියට් පාලනය යටතේ ක්‍රිමියානු ටාටර් මුස්ලිම්වරු සමූල ඝාතනයට ලක් වූ අතර ඉතිරි පිරිස රටේ එක් තැනක හුදකලා වූහ. වර්තමාන යුක්රේනයේ ද සිටින මේ කුඩා ජන කොට්ඨාසයට වරප්‍රසාද හිමිවන්නේ නැත එහෙත් ඔවුහු සිය රට වෙනුවෙන් සටන් වැද සිටිති. එසේනම් නාසිම් කොහේවත් නැති යුද්ධයකට පැටලෙන්නේ සිය කතෝලික පෙම්වතිය නිසා ද යන ගැටලුව සිනමාකරු උපද්දවයි. එහෙත් මුස්තාෆාට පිරිමි දරුවන් දෙදෙනාම දරුවන්ය. නරිමාන් අලෙව් විශිෂ්ට සිනමාකරුවකු බවට පත්වනුයේ සිනමා කෘතිය ඇතුළත පරම්පරාගත ගැටුම පමණක් නොව යුක්රේන දේශපාලනය ද කිසිවකුට නොබිදිය හැකි මානව සම්බන්ධතාවන් ද එකවර සිය තිරනාටකය හරහා ඉස්මතු කරවීමෙන්ය.විශිෂ්ට රංග කුසලතාවන් මෙන්ම චිත්‍රපටය පුරා ගෙන යන කැමරාකරණය ද සිනමාකරුගේ ආධිපත්‍යය විදහා දක්වන්නකි.

චිත්‍රපටය අවසානයේ බෝට්ටුවක නැගී සිය නිජබිම කරා ඇදෙන අලීම් අවසානයේ යුක්රේනයේ අගනුවරට හැරී යා යුතුද නැතහොත් එහි තම නිජබිමෙහි ජීවත් වනු ඇති ද යන ගැටලුව චිත්‍රපටය අපට ඉතුරු කරයි. එපමණක් නොව මේ නාඳුනන රටක තාත්තා ගැන කිව නොහැකි තරම් ආදරයක් ඉස්මතු වෙයි. ඒ ලොව පුරා තාත්තාලා එක සමාන බැව් සිනමාකරු නොකියා කියන හින්දාය. පුතු සෙනෙහෙ පිතු හද තුළම මිස නැත පුතුන් හද තුළ රඳන්නේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.