තාත්තා සහ ත්‍රස්තවාදියා

MARIGHELLA
පෙබරවාරි 6, 2020
MARIGHELLA
Directed by- Wagner Moura
Screenplay- Felipe Braga/Wagner Moura
Produced by-Andrea Barata Ribeiro/Bel Berlinck/Wagner Moura
Seu Jorge,Adriana Esteves,Bruno Gagliasso,Humberto Carrao

වසර 1964 යි. බ්‍රසීලයේ නගරයක් වූ සැල්වදෝරයයි. පිහිණුම් තටාකයක විනෝදයෙන් ගත කරන පියෙකු සහ පුතෙකි. පුතුට අවුරුදු එකලොහකි. ගිලෙන්නට නොදෙමින් පුතුට රැකවල් සපයන තාත්තා පුතුට කතාවක් කියන්නේය. ඒ තව දුරටත් වෙනදා මෙන් ඔහු ළඟ සිටින්නට තාත්තාට නොහැකි විත්තියයි. එහෙත් තාත්තා පොරොන්දුවක් දෙන්නේය. ඒ පුතුගේ පහළොස් වැනි උපන් දිනය දා කෙසේ හෝ ඔහු දකින්නට එන බවටය. තාත්තා එසේ සැඟව සිටින්නේ පුතාගේත් ආරක්ෂාවටය. තාත්තා කැරලිකාරයකුවීම නිසා පුතා පාසලේ ඉහල ධනවතුන්ගේ දරුවන්ගේ උදහසට හේතුවෙයි. පාසලේ ගුරුවරු අතර ද ආණ්ඩුවේ ඔත්තුකාරයන් බොහොමයකි. 

මේ තාත්තා ගැන කියන්නේ නම් ඔහු කළු ජාතිකයෙකි. ලේඛකයෙකි. කවියෙකි.දේශකයෙකි. මාක්ස් ලෙනින්වාදී විප්ලවවාදියෙකි. කෙනෙකුට ඔහු කැරලිකරුවෙකි. එමෙන්ම ත්‍රස්තවාදියෙකි. ඔහු විසින්රචනා කරනු ලබන කවි ප්‍රකාශයට පත් කරන්නට ජීවත්ව සිටින සමයේ පවා උපකාර කරනුයේ ප්‍රංශයේ මහා කවි ශීන් පෝල් සාත්‍රේ විසින්ය. විප්ලවවාදියාගේ අරමුණ තම පුතුට යහපත් දේශයක් එනම් බ්‍රසීලයක් ගොඩ නැංවීමය.

මේ තාත්තා, කැරලිකරුවා, විප්ලවවාදියා කාලෝස් මරිගේලාය. 1911 වසරේ දෙසැම්බර් මස 5 වැනි දින බ්‍රසීලයේ සැල්වදෝරයේ උපත ලබනු ඔහු 57 හැවිරිදි වියේ දී එනම් 1969 වසරේ නොවැම්බර් මස 4 වැනි දින සාඕ පාවොලෝ නගරයේ දී දරුණු වදහිංසාවලින් පසු ඝාතනය කරනු ලැබිණ. ඔහු ත්‍රස්තවාදියකු බවට පරිවර්තනය කරනුයේ බ්‍රසීල මිලිටරි ඒකාධිපති පාලනයයි. සැබෑ මාක්ස්වාදියකු වූ ඔහු එබඳු පරිපාලනයක දී යටි බිමිගත දේශපාලනය ඇදහුවේය. ඔවුන්ට පූර්වාදර්ශයක් වන චේ ගුවේරා ඝාතනය වනුයේ එයට දෙවසරකට පෙර එනම් 1967 වසරේ දී බොලිවියාවේ දීය.

බ්‍රසීලයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදි පාලනය ඉවත් කොට කුමන්ත්‍රණයක් මඟින් හමුදා පාලනයක් ගොඩ නඟනුයේ 1964 වසරේ අප්‍රේල් මස පළමුවැනිදාය. මිලිටරි පාලනය ගොඩ නඟනුයේ අමෙරිකානු ආශිර්වාදය මැදය. මේ වකවානුවේ දකුණු අමෙරිකාවේ බොහෝ රටවල් වාමාංශික නැඹුරුවක් ගනිද්දී ඒවා කොමියුනිස්ට් බිල්ලාගෙන් බේරා ගැනීමේ “පරම පවිත්‍ර චේතනාවෙන් “අමෙරිකාව එම රටවල පාලනයට අත ගැසීම පුරුද්දක් කර ගෙන තිබිණ. එයට වසර කිහිපයකට පෙර සිදු වූ කියුබා විප්ලවයෙන් පසු ලතින් අමෙරිකාවේ රටවල හමුදා නැඟී සිටීම්වල දී එයට උදව් කළේ වොෂින්ටන් පාලනය බව නොරහසකි. බ්‍රසීලයේ මිලිටරි පාලනය සෙසු ලතින් අමෙරිකානු රටවලට වඩා වැඩි කලක් එනම් අවුරුදු විස්සක්ම අල්ලා ගෙන සිටින්නට එරට පාලකයෝ සමත්වූහ. එම පාලනය අවසන්වූයේ 1985 වසරේ මාර්තු 15 වැනි දාය. ඒ කාලය ඇතුළත අති විශාල සංඛ්‍යාවක් දරුණු වද හිංසා වලට ලක්වූහ. නැතිනම් අතුරුදන් කළහ. මේ මිලිටරි පාලනයට එරෙහිව කැරළි ගැසුවන්ද එමටය. ඒ අතර කාලෝස් මරිගේලා පුරෝගාමියෙක් වෙයි. කොටින්ම ඔහු එයට එරෙහි වන්නේ මිලිටරි පාලනය ආරම්භයේය. වැග්නර් මෝරා නිර්මාණය කරන ලද කුලුඳුල් චිත්‍රපටයට පාදක වනුයේ කාලෝස් මරිගේලා ගේ ජීවන අන්දරයේ අවසන් වසර පහයි. (මාරිගේලා පිළිබඳ මෙයට පෙර වාර්තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වී ඇත.)

1976 වසරේ ජූනි මස 27 වැනි දින උපත ලද වැග්නර් පුවත්පත් කලාවේදියකු, සංගීතඥයකු හා අතිශය ජනප්‍රිය සිනමා නළුවකු ලෙස බ්‍රසීලයේ පතළව සිටියි.

සිනමාකරු වඩා අවධානය යොමු කරනුයේ කාලෝස් ගේ චරිතය ගොඩ නැඟීමට වුව ඒ හා සමානව ඔහු පසුපස ලුහු බඳීන පොලිස් නිලධාරියා වූ ලුසියෝගේ ගේ චරිතයට ද වැඩි ඉඩකඩක් ලබා දෙයි. කාලෝස් මරිගේලා ආණ්ඩුවට එරෙහිව කෙතරම් ප්‍රචණ්ඩත්වයක් මුදා හරින්නේ ද එතරම් දරුණු ප්‍රචණ්ඩත්වයක් එයට ප්‍රතික්‍රියාවක් ලෙස ලුසියෝ ද ද මුදාහරියි. ඔහු කාලෝස් ග්‍රහණය කර ගැන්මට යොදා ගන්නා ක්‍රමවේදය අතිශය අමානුෂිකය. ලුසියෝ දඩයමෙන් සෑහීමකට පත් වන්නෙකු නොවෙයි. ඔහු එයින් තෘප්තිමත්වන්නෙකු වෙයි.

කාලෝස් ගේ ත්‍රස්තවාදය ආරම්භ වනුයේ දුම්රියක වූ හමුදා ආයුධ මංකොල්ලකෑමෙනි. එය ඉතා සැලසුම් සහගත මංකොල්ලයක් වෙයි. එයින් පසු ඔවුන් කිසිදු පැකිළීමකින් තොරව අසල නවතා ඇති මෝටර් රථයක නැගී පලා යාමට තරම් ක්‍රමවත්ය. ඔවුහු සිය සංවිධානය හඳුන්වනුයේ ජාතික විමුක්ති ක්‍රියාවලිය ලෙසය. මේ සදහා කාලෝස්ට සහාය දක්වන සහෝදරවරුන් (ඛ්ර්‍ණර්අඒච්ඡ්) කිහිපදෙනෙකි. වෛද්‍යවරියකගේ දියනියක ඇතුළු ඉහළ පවුල් සාමාජිකයකු මෙන්ම තවත් විවිධ සමාජ තලවල කිහිප දෙනෙක් ද අයත්ය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් ද ඒ අතර වෙති. .

ඔහුගේ විමුක්ති අරගලයට සහාය දෙන ප්‍රබලයකු වනුයේ ට්‍රිබුනා ඩූ සුඩෙස්ටේ පුවත්පතේ කතුවරයා ජොර්ජ්ය. පුවත්පත් වාරණයත් “සහෝදරවරුන්ට“ එරෙහිව නැඟෙන ප්‍රචණ්ඩත්වයත් සමඟ වඩාත් දරුණු තත්ත්වයකට කාලෝස් ප්‍රමුඛ පිරිස සැරසෙයි. එය කෙතරම් ද යත් ඔවුහු අමෙරිකානු රාජ්‍ය නිලධාරියකු ද ඝාතනය කරති. ප්‍රචණ්ඩත්වය හොඳීන් හෝ නරකින් මැඩලීම පොලිසියේ අරමුණ බවට පත්වෙයි.

විප්ලවය පිළිබඳ සිහින මවන කාලෝස් ඇල්ජීරියාව, කියුබාව හා වියට්නාමයේ අරගල ගැන අසා එමගින් පන්නරය ලබයි. මේ අතරවාරයේ ඔහු තුළ පවුලට ඇති ලැදියාව ද සිනමාකරු විද්‍යාමාන කරයි. එහෙත් කාලෝස් ඇතුළත දරුණු මිනිසකු ද ජීවත්වන බව සිනමාකරු කියන්නට මැළි නොවෙයි. ඇතැම් විප්ලවවාදින්ගේ අති ශීඝ්‍රගාමි කටයුතු නිසා ඉතා පහසුවෙන් දිවි ගලවා ගැනීමේ අවස්ථාවන් මඟ හැරීයයි. සෑම ත්‍රස්තවාදි මුහුණුවරක්ම ඉතා සියුම් රැවටීමකින් විනාශ කළ හැකි බව නොරහසකි. කාලෝස් තම පුතුට ආදරය කරන මිනිසෙකි. එබැවින් ඔහු පුතුගේ පහළොස් වැනි උපන් දිනය දා ඔහු හමුවට යන්නේ ජීවිතය පරදුවට තබා ගෙනය. කාලෝස් වටකිරීම සඳහා ලුසියෝ විසින් උපයෝගි කර ගනු ලබන එක් උපක්‍රමයක් වනුයේ කාලෝස් ගේ එම ‘දුර්වලතාව“ හඳුනා ගැන්මය. 

සැබෑ චරිත ඇසුරු කර ගෙන සිනමා කෘති නිර්මාණය සිනමා ඉතිහාසය පුරා පැතිර ගිය කරුණකි. අපේ රටේ ද වරින්වර සැබෑ චරිත සිනමාවට ගොඩ නැංවීමට ගත් උත්සාහයන් ඇත. එහි දී සිනමාකරුවකුගේ පර්යේෂණය ඉතා වැදගත්වේ. මරිගේලා තුළ සමකාලින දේශපාලනය ඉස්මතු කිරීමේ දී පර්යේෂණයකට වඩා ත්‍රාසයත් හොරා පොලිස් සෙල්ලමටත් වැඩි ඉඩක් දෙනු ලැබේ. මේ නිසාම කාලොස් හා ලුසියෝ අතර අරගලයක් සිනමාකෘතිය පුරා විහිද යයි. සිනමා කෘතිය අවසාන වනුයේ කාලෝස් පමණක් නොව ඔවුන් අතරින් ධනවත් වෛද්‍ය ශිෂ්‍යාව හැර අන් සියල්ල ඝාතනය වීමෙනි. යුවතිය පමණක් සියලු විස්තර සමඟ අසල්වැසි ඉක්වදෝරයට පළා යන්නට සමත් වන්නීය. ඇතැම් විප්ලව කෙළවර වනුයේ නිකරුණේ වටිනා ජීවිත අහිමිවීමෙන් පමණකි. ඒ ඉක්මන විනා සැලසුම් නොමැති හෙයින්ය. කාලෝස් මරිගෙලා ගැන වුව එසේ සිතීම ද වැරැද්දක් නොවේ. විප්ලවවාදියකු පිළිබද කළ බ්‍රසීල සිනමා සිත්තමක් වුව සිනමා කෘතියක් ලෙස මරිගෙලා නැරැඹිය යුතුය. එය චරිත ගොඩ නැංවීමේ දී හා සිදුවීම් හා මානුෂිය සබඳතා ඉස්මතු කරවීමේ දී දක්වන විශිෂ්ටත්වයට ගෞරවයක් හැටියටය. එපමණක් නොව මේ අත්දැකීම තිස් වසරකට එපිට එනම් අසූව දශකයේ අග භාගයේ මෙරට ජීවත් වූ පිරිසට කිසිසේත්ම ආගන්තුක වන්නේද නැත.

කෙසේ වෙතත් සැබෑ කාලෝස් මරිගලේ චිත්‍රපටයේ මෙන් කළු ජාතිකයකු නොවේ. ඔහු ඉතාලි ජාතිකයකුට දාව සුඩාන සම්භවයක් සහිත බ්‍රසීල කළු ජාතික කාන්තාවකගෙන් උපන්නෙකි . එහෙත් චිත්‍රපටයේ මේ චරිතය රඟපානුයේ කළු ජාතික සියු ජෝර්ජ්ය. ඔහු මෙරට ජනප්‍රිය චිත්‍රපට අතර වූ සිටි ඔෆ් ගෝඩ් , පේලේ වැනි චිත්‍රපට රාශියක රඟපෑවේය. මේ සියල්ලට වඩා චිත්‍රපටය පුරාම අමෙරිකානු දේශපාලනය පිලිබඳ තියුණු විවේචනයක යෙදෙන සිනමාකරු වර්තමානයේ ජීවත්වනුයේ ද අමෙරිකාවේ වීම වඩා උත්ප්‍රාසජනක කරුණක් වෙයි

Add new comment