කිරිල්ලියෝ බලවතුන් දඩයමේ...

පෙබරවාරි 13, 2020

Birds of Prey

Birds of Prey හෙවත් ගොදුරු පක්ෂීන් ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුනා ගැනෙන්නේ වෙනත් සතුන්, බොහෝ විට තමන්ට වඩා ප්‍රමාණයෙන් විශාල සතුන් ගොඳුරු කර ගනිමින් එම ගොඳුරු තම ආහාරය කර ගන්නා කුරුල්ලන්ය. රාජාලියා, උකුස්සා සහ බකමූණා මේ සත්ත්ව කොට්ඨාසය ගැන කියවෙන විට නිතැතින්ම අප මතකයට නැඟෙන කුරුල්ලන් වේ. බටහිර උප සංස්කෘතිය තුළ ආකර්ෂණීය කාන්තාවන් හැඳීන්වීමටද Birds (කිරිල්ලියන්) යන වචනය යොදා ගැනේ. ඒ අර්ථයෙන් ගත් කල Birds of Prey යන යෙදුම බලවත් පුද්ගලයන් දඩයම් කරන්නා වූ ආකර්ෂණීය කාන්තා එකමුතුවකට ද යොදාගත හැකිය. DC චිත්‍රකතා මාලාවේ Birds of Prey ලෙස හඳුනා ගැනෙන්නේ මෙවන් කාන්තා එකමුතුවකි.

2020 පෙබරවාරි 07 වැනිදා තිරගත වීම ඇරඹි DC Films, Lnckychap Enrertainment  සහ තවත් චිත්‍රපට නිෂ්පාදන ආයතන ද්විත්වයක නිෂ්පාදනයක් වූ Birds of Prey චිත්‍රපටය සුපිරිවීර කාන්තා චරිත පහක් වටා ගෙතී ඇත. මාග්‍රට් රොබී විසින් පණ පොවනු ලබන එහි ප්‍රධාන කාන්තා චරිතය වන හර්ලි ක්වීන් හිටපු මනෝවෛද්‍යවරියක වන අතර DC චිත්‍රකතා චරිතයක් වන ජෝකර්ගේ අපරාධකාරි පෙම්වතියයි. මේරි එලිසබෙත් වින්ස්ටෙඩ් විසින් පණ පොවනු ලබන හන්ට්‍රස්, ජූර්නි ස්මොලට් බෙල් විසින් පණ පොවන බ්ලැක් කැනරි, රෝසි පෙරේස් විසින් පණ පොවන රෙනේ මොන්ටෝයා සහ එලා ජේ බැස්කෝ විසින් පණ පොවන කැසන්ඩ්‍රා කේන් මෙම එකතුවේ සෙසු කාන්තා චරිත වේ. DC Extended Universe  චිත්‍රපට සමූහයේ අට වැනි චිත්‍රපටය වන මෙය, 2016 වසරේ තිරගත කෙරුණු Sucide Squad චිත්‍රපටයේ දිගුවක් මෙන්ම අතුරු කතාවක් ද වේ.ජෝකර් සමඟ වූ සම්බන්ධයෙන් විනාශකාරී ලෙස බිඳුණු හර්ලි ක්වීන් අනාරක්ෂිතව පැනයන අතරතුර මත්කුඩු අපරාධ කල්ලියක නායකයා වන බ්ලැක් මාස්ක් ප්‍රමුඛ නගරයේ සිටින අපරාධකරුවන් රංචුවක ද්වේෂයට ලක් වේ. අනපේක්ෂිත ලෙස ඇයට මිතුරියන් තිදෙනෙකු වන හන්ට්‍රස්, බ්ලැක් කැනරි සහ රෙනේගේ උපකාර ලැබේ. Birds of Prey චිත්‍රපටය ඇරබෙන්නේ මෙලෙසිනි.

Last Night (2013),Dead Pigs (2018) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ වීන අමෙරිකානු අධ්‍යක්ෂවරියක් වන කැතී යැන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටය එහි ප්‍රධාන චරිතයට පණ පොවන මාග්‍රට් රොබී ප්‍රමුඛ තිදෙනෙකුගේ නිෂ්පාදනයකි. වෝනර් බ්‍රදර්ස් විසින් බෙදාහරිනු ලබන මෙම චිත්‍රපටය විනාඩ් 109ක් පුරා දිවෙයි. පෙබරවාරි 09 වැනිදා වන විට මෙහි ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 81 ඉක්මවා තිබුණු අතර චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 84කි. ධ්ර්ච්ඡ 6.8/10ක් ලකුණු ලබා ඇති මෙම චිත්‍රපටය රොට්න් ටොමැටෝස්හි ලකුණු 81%ක් හිමිකර ගෙන සිටියි. එහි ප්‍රමුඛ විචාරය පවසන ආකාරයට මෙම චිත්‍රපටය නවමු කෝණයකින්, නව යහළුවන්ද එක්කර ගනිමින් වේගවත් ක්‍රියාදාම රැසක් ද ගෙනෙමින් විචිත්‍ර ස්වාධීනත්වයක් ඉදිරිපත් කරයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.