නොමළ ගමකින් මරණය ඉල්ලීම

OLD MEN NEVER DIE
පෙබරවාරි 20, 2020
OLD MEN NEVER DIE 
(Piremad'ha Nemimirand)
Direction and screenplay
Reza Jamali
Producers-Reza Jamali/
Salman Abbasi
Nader Mahdilou, Hamdollah Salmi, Neda Haghshenas, 
Country-Iran
Language-Persian
85 mints

නිල් පැහැති කඳුශිඛර නිරන්තරයෙන් මිහිදුමෙන් වැසී ඇත. ඒ තරම් චමත්කාරජනක දසුනක් ලොව කොතැනහෝ දැක ගත නොහැකි තරම්ය. ඇත්තටම එය දෙවියන් විසින් මවන ලද සුන්දර පාරාදීසයකි. නගරයේ දුහුවිලි වලින් හෙම්බත් නොවුණ මේ පළාත සොබා සුන්දරත්වය කදිමට මතු කරන්නකි. පැහැදිලිවම එම පළාතට රටේ සංවර්ධනය ඇතුළත් වී නැත.

මේ කඳු නිම්නයේ පිහිටි කුඩා ගම්මානයකි. ගම කෙළවර අවමංගල්‍යයක් පවත්වන්නට සූදානම්ය. තව නොබෝ වේලාවකින් දේහය මිහිදන් කෙරෙනු ඇත. මිය ගොස් ඇත්තේ මහල්ලෙකි. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් වසා ඇති ඔහුගේ දේහය තව මොහොතකින් මිහිදන් කෙරෙනු ඇත. නාස් පුඩුවල පුළුන් කෑලි ඔබා තිබිණ. පෙනුමෙන් ඔවුන් ඉස්ලාම් භක්තිකයන් බව පෙනෙයි.

එගමේම වැඩිහිටියකුයැයි සිතිය හැක්කෙක් අවමංගල සභාව අමතයි.

‘අවුරුදු හතළිස් පහකට අපේ ගමේ සිදුවූ එකම මරණය මේකයි. අපි බොහොම කාලයක් බලා ඉඳපු දෙයක්.“

සභාව අමතන්නා එසේ පවසත්ම එහි වටා සිටින මිනිසුන්ගේ මුහුණේ ඇඳෙන්නේ කලබලයකි.

අවසන් කටයුතු සඳහා සූදානම්ව තිබෙන මෘත දේහය ඇසි පිය ගසන්නට පටන් ගෙනය. නාස් පුඩුවල ගසා ඇති පුළුන් කෑලි විසි වී යයි.

‘මොකද යකුනේ මේ කරන්නේ ‘

මෘත දේහය බෙරිහන්දෙන්නට පටන් ගනියි. හතර වට සිටියෝ මෘත දේහයේ බැමි ලිහන්නේ සිදු වූ වරදට සමාව ගන්නාසේය.

මේ ගමේ ජීවත්වීම අරුමයක් නොවේ. ගමට අහිමි එකම කාරණය මරණය පමණකි. අනික් සියලු ව්‍යසනයන් ද දුක්ඛ දෝමනස්සයන් ද පොදු කාරණයන්ය.

අවුරුදු හතළිස් පහකින් මෙපිට මේ ගම්මානයේ මරණයක් සිදුව නොමැත. ජීවිතය අරුමයක් නොවුණ කල මරණයක් අරුමයක්ව ඇත්තේය.

මෙලෙස ඇරඹෙන අපූරු හාස්‍යෝත්පාදක චිත්‍රපටය ඉරාන චිත්‍රපටයකි. ඕල්ඩ් මෙන් නෙවර් ඩයි එහි ඉංග්‍රීසි නාමයයි.

එය රේසා ජමාලි නම් ඉරාන තරුණ සිනමාකරුගේ කුලුඳුල් චිත්‍රපටයයි. 1978 වසරේ උපන් ඔහු සිනමාකරණය හැදෑරුවෙකි. දීර්ඝ කාලයක් කෙටි සිනමාකරුවෙකු ලෙස ඉරානයේ මෙන්ම අවට රටවල ද නමක් දරා සිටින රේසා සිය මුල්ම දීර්ඝ වෘත්තාන්ත සිනමා නිර්මාණය සදහා පාදක කර ගන්නේ ඔහු විසින්ම එයට වසර ගණනාවකට පෙර තනන ලද කෙටි චිත්‍රපටයකි. මුල් චිත්‍රපටයේ කාලය මිනිත්තු දහයකි. දීර්ඝ චිත්‍රපටය විනාඩි අසූ පහකි.

ගමේ වැඩිහිටියා අස්ලාම්ය. අස්ලාම් තරුණ අවදියේ වෘත්තියෙන් අළුගෝසුවෙක්ව දිවි ගෙවූවෙකි. ඔවුන් ජීවත් වූ ගම්මානය භූමිකම්පාවකට හසුව විනාශ ව ගොසිනි. ඉරානයේ නාය යෑම් භූමිකම්පා සුලබය. අස්ලාම් මේ අලුත් ගම්මානයේ පදිංචියට පැමිණ ඇත්තේ තමා විසින් එල්ලා මරන ලද පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සමගය. ඒ අවුරුදු හතළිස් පහකට එපිටය. මේ පිරිසගේ ආරක්ෂාව සඳහා හමුදා භටයකු ද සිටියි. කිසිවකු නොමළ මේ ගම්මානයේ වැඩිහිටියන්ගේ එකම අරමුණ මරණයේ සුර දෙව්දුවට ඒ ගැන කන්නලව් කිරීමටය. ඔවුන් ගේ ජීවිත ආරක්ෂාව පැවරී ඇත්තේ තරුණ සොල්දාදුවාටය. අස්ලාම් ගේ ඇතැම් තක්කඩි වැඩ නිසා සොල්දාදුවාට හදිසියේ හෝ නිවාඩුවක් දමා තම ගම්රට බලා යන්නට විධියක් නැත. ජීවත්වුණ කාලය වැඩියැයි හැඟෙන හෙයින් ඔවුන් ජීවත්වන්නේ කනස්සල්ලෙනි. ඒ කිසිදු දේකින් අඩුපාඩුවක් නිසා නොවේ. ජීවත්වූවා වැඩියැයි හැඟෙන්නේ මහලුවිය නිසා නොවේ. මහලුවියේ වුව තරුණ ගැහැනියක් විවාහ කර ගැන්මට නොපැකිළ පිරිමින් ද ඒ සඳහා සිය කැමැත්තෙන් එකඟ වන තරුණියෝ ද මේ ගමේ සිටිති. මේ තරුණිය උගත් එකියකි. එහෙත් මරණයක් සිදු නොවන බැවින් ගමේ අවංමගල ව්‍යාපාරිකයා බංකොළොත්ය. සියවසක් ඉක්මවා ජීවත්වීමෙන් පලක් නොවන නිසා අස්ලාම්ගේ අරමුණ සිය දිවි නසා ගැන්මයි. මේ සදහා ඔහු ගමේ සිටින සෙසු මහල්ලන් ද එකඟ කරවා ගනියි. සිය දිවි නසා ගැනීමේ තීරණයත් සමඟ සොල්දාදුවාගේ වගකීම වැඩිවෙයි. මේ පිස්සු යක්කු ටික සිය දිවි නසා ගතහොත් ඔහුගේ වගකීම හරිහැටි ඉෂ්ට නොකළා වෙයි. සිය දිවි නසා ගැන්ම සඳහා නාන තටාකයේ දී වැඩි වේලාවක් දිය යට සිටීම, කන්දකින් මහා ප්‍රපාතයකට පැනීම වැනි විවිධ උපක්‍රම කළ ද අස්ලාම් ට හෝ කිසිවකුට හෝ එය ඉෂ්ට කර ගත නොහැකි නොහැකි වෙයි. අන්තිම මොහොතේ හෝ හාස්කමකින් මෙන් ඔවුන්ගේ ප්‍රයත්නයන් ව්‍යර්ථ වෙයි. ඉඳීන් අස්ලාම් සිතන්නේ තමන් ඇතුළු පිරිස මරණයේ දෙව්දුවට පවා අමතක ව ගිය අපතයන් පිරිසක් හැටියටය.

ඔවුන්ට ජීවිතයේ වටිනාකමක් ඇතිවනුයේ එගම වැසියකු ගේ දියණියක විසින් ප්‍රසූත කළ දරුවා මරණාසන්නවීමත් සමඟය. සිනමා කෘතිය එකවර වෙනස් වනුයේ එතැනින්ය. ජීවිතය කෙතරම් වැදගත් එකක්ද ? දරුවා මරණයෙන් බේරා ගැන්ම ඔවුන්ගේ අරමුණ බවට පත්වෙයි. මරණයේ දෙව්දුවට එහි නොඑන්නයැයි ඔවුහු එවර ප්‍රාර්ථනා කරති. සිනමා කෘතිය පුරා ස්වකීය උත්ප්‍රාසය පවත්වා ගෙන යන්නට සිනමාකරු දක්වන සමත්කම විශිෂ්ට එකකි. අස්ලාම් අවුරුදු සියයක් ගෙවන තැන ජීවිත ආසාව අත්හරිනු ලැබුව ද වසර ගණනාවකට පෙර ඔහු රැකියාව ලෙස කරනුයේ අළුගෝසු වෘත්තියයි. සුන්දර පළාතද හොඳ පරිසරය ද පිරිසුදු ජලය හා වාතය ද ගම සියලු විපත්වලින් ආරක්ෂා කොට ඇතිසේය. සිනමා කෘතිය පුරා පරිසරය එහි ජීව ගුණය බවට පත් කර ගන්නට සිනමාකරු සමත්වෙයි. මේ තරම් සුන්දර පරිසරයක වෙසෙන ඔවුහු බැලූ බැල්මට කිසිදු අඩුපාඩුවක් නැත්තෝය. එහෙත් ජිවිතයේ ඒකාකාරි බව ඔවුන්ගේ ජිවිතාශාව හමාර කර ඇත. ජීවත්වීමට අප සොයන පරිසරය ඔවුන් හුදකලා මිනිසුන් බවට පත් කර සිටියි. මරණය හා ජීවිතය අතර දෝලනය කරන ජීවිත සිනමාකරුගේ සහාසික උපහාසයට හසුවෙයි. ජීවිතය රැක ගැන්මට අලුත් පළාතකට එන මිනිසුන්ට කාලය විසින් ජීවිතය එපා කරවනු ලබයි. මහා උත්ප්‍රාසයක් මෙන්ම වැදගත් සිනමාකරුවකුගේ ලකුණක් වන අපටම අප ගැන සොයා බලන්නට මේ සිනමාකෘතිය මඟ පාදයි. චිත්‍රපටය සඳහා රේසා ජමාලි තෝරා ගන්නා නළු නිළියෝ බහුතරය වැඩිමහල්ලෝ වුව ද ඔවුහු වෘත්තිය නළු නිළියෝ නොවෙති. සිනමාකෘතිය නරඹද්දී එහි පරිසරය හා චරිත ගොඩනැංවීමේ දී ඉරානයේ අභාවප්‍රාප්ත මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමි සිහිපත්වීම වැළැක්විය නොහැකි කාරණයක් වෙයි. එයින් රේසා ජමාලි , කියරොස්තාමි කෙනෙකුයැයි වරදවා වටහා ගත යුතු නැත. ඔහු තෝරා ගන්නා වස්තු විෂයය බැලූබැල්මට අල්ප එකකි. ඔහු ගෙන එන සිනමා කෘතියේ යටිපෙළ ඉතා ගැඹුරුය.

උත්ප්‍රාසය සඳහා සිනමාකරු තෝරා ගන්නේ ජීවිතයේ අගිස්සට ගිය මහල්ලන්ය. සුන්දර පරිසරයයි. අවශ්‍ය හා අනවශ්‍ය ජීවිතයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.